ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි!

 - March 6th, 2021 - 

ජාතික පොලිස් කොමිසන් සභාවේ පළාත් අධ්‍යක්ෂකවරුන් 05 කු පහුගිය සතියේ සේවයෙන් ඉවත් වන බවට  ලිඛිතව ජාතික පොලිස් කොමිසන් සභාවට දන්වා තිබුණේය. ඔවුන් ඊට  හේතු ලෙස පවසා ඇත්තේ පොලිස් කොමිසමේ වත්මන් සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ක්‍රියාකලාපයන් නිසා කළකිරිමට පත්ව ඇති බවය.

මෙහිදී සේවයෙන් ඉවත් වන බවට ලිපි ලබා දී තිබුණේ සබරගමු පළාතේ දයානන්ද කොළඹගම,  ඌව පළාතේ  ටි.එම්. ඩබ්ලිව් තෙන්නකෝන්, මධ්‍යම පළාතේ කරුණාරත්න කැකුලන්දර,  දකුණු පළාතේ පී .එස්. ගුණවර්ධන, වයඹ පළාතේ ඩබ්ලිව්. එම්. ජයවර්ධන යන හිටපු ජ්‍යෙෂ්ඨ  පරිපාලන නිලධාරින් පස් දෙනෙකි.

ජාතික පොලිස් කොමිසන් සභාව

ජාතික පොලිස් කොමිසන් සභාව පිහිටුවා දැන් වසර 20 ක් පමණය. මෙහි සභාපතිවරුන් ලෙස පත් වුයේ මෙතෙක් කලක් සිවිල් නිලධාරීන්ය. නමුත් ප්‍රථමවරට නව සභාපතිවරයා ලෙස පත් වුයේ හිටපු පොලිස්පතිවරයෙකි. සභාපතිවරයා සමඟ කොමිසමේ සාමාජිකයින් හත් දෙනෙක් සිටියි. වත්මන් කොමිසමේ සාමාජිකයින් 05 ක් නීතිඥවරුන් වන අතර 02 ක් අධ්‍යාපන විශේෂඥයින්ය. එමෙන්ම පළාත් නවයක ජාතික  පොලිස් කොමිසමේ ශාඛා කාර්යාලද  පිහිටා ඇත.

මේ වත්මන් සභාපතිවරයා කවුද?

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  6 වන සභාපතිවරයා වන්නේ  හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාය. ඔහු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 29 වෙනි පොලිස්පතිවරයා ලෙස 2004 ඔක්තෝම්බර් 01දා සිට 2006 ඔක්තෝම්බර් 11 දා දක්වා කටයුතු කළේය. 119 හදිසි පොලිස් ඇමතුම් අංකය මහජනතාවට හඳුන්වා දුන්නේද මොහුය.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වැඩ බාර ගනු ලැබුයේ 2020 දෙසැම්බර් 10 වන දිය.  ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජාතික පොලිස් කොමිෂන් සභාවේදීය.

මේ පළාත් කාර්යාල වල සිටි  පළාත් අධ්‍යක්ෂකවරුන්  05 කු හදිසියේම ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් අප අයිතිය වෙබ් අඩවිය වත්මන් පොලිස් කොමිසමේ සභාපති, හිටුපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියෙමු.

මේ දිග හැරෙන්නේ ඔහුත් සමඟ කළ සාකච්ඡාවකි.

01 ) සභාපතිතුමනි, මේ පළාත් අධ්‍යක්ෂකවරුන් 05 කු එකවරම සේවයෙන් ඉවත් වීමේ ලිපි ලබා දී තිබෙන්නේ ඔබත් සමඟ වැඩ කිරීමට නොහැකි බව පවසමින්. මොකද්ද මේ ?

නිලධාරීන් 05 ක් ලිඛිතව මට දන්වලා තියෙනවා සේවයෙන් ඉවත් වෙන බවට.  මේ නිලධාරින් සිව් දෙනෙකුගේ සේවා කාලය මේ අප්‍රේල් මස 22 න් අවසන් වීමට නියමිතයි. අනෙක් නිලධාරියාගේ සේවා කාලය මැයි 15 දා අවසන් වීමට නියමිතව තිබියදී තමයි මොවුන් ඉල්ලා අස්වෙලා තියෙන්නේ. මොවුන්ට සේවා දිගුවක් ලබා දීමට පොලිස් කොමිසම තීරණය නොකරන බව ඔවුන් දැන සිටියා. ඒ නිසා අස් වුණා.

02) නමුත් මොවුන් ඉවත් වෙන්නේ ඔබට චෝදනා කරමින්?

පොලිස් කොමිසමේ පළමු වතාවට හිටපු පොලිස්පතිවරයෙක් සභාපතිවරයෙක් වුනේ. මම වැඩ බාරගත් දා සිට මට නිරීක්ෂණය වූ දෙයක් තමයි මේ නිලධාරීන් පොලිස් කොමිසමට ලැබෙන පැමිණිල්ල වාර්තාවක් ලෙස සකසා අදාල පොලිස් කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට යවනවා ඒ් ගැන වාර්තාවක් ඉල්ලලා. නමුත් කවදාවත් එහෙම වාර්තාවකට ප්‍රතිචාර පොලිසියකින් ලැබෙන්නේ නැහැ. 2018/2019 පොලිස් ස්ථාන වලට යවපු ලිපි වලට ප්‍රතිචාර ලැබිලා තිබුණේ නැහැ. දැනුයි ඒ්වායේ උත්තර එන්නේ.අපිට මෙහෙම පැමිණිලි විමර්ශනය කරන්න බැහැ. සමහර පැමිණිලි අවුරුදු දෙකක් විතර ප්‍රමාද වුණ ඒ්වා.

මේ නිලධාරින් ජාතික පොලිස් කොමිසමේ පළාත් පැමිණිලි නිලධාරින් ලෙස පත් වුණාට ඔවුන් පොලිසිය සමඟ කටයුතු කරන ආකාරය, පැමිණිල්ලක් විමර්ශනය කරන ආකාරය, පවතින නීති රීති ගැන අවබෝධයකින් නෙමේ කටයුතු කරලා තිබුණේ. මේ කිසිම නිලධාරියෙක් පොලිස්පතිවරයා සමඟ සබන්ඳතා පවත්වා තිබුණේ නැහැ.

මම යෝජනා කර සිටියා මේ නිලධාරීන්ට පැමිණිල්ලක් විමර්ශනය  කරන ආකාරය, පැමිණිලිකරුට සහනයක් වන ආකාරයට කොහොමද කටයුතු කරන්නේ කියන එක ගැන පුහුණුවක් ලබා දෙන්න. වැඩ ඉගෙන ගන්න කාලයක් ලබා දෙන්න. අනෙක් නිලධාරින් කැමති වුවත් මේ නිලධාරීන් ඊට කැමැත්තක් දැක්වුයේ නැහැ.

ඔවුන් ජ්‍යෙෂ්ඨ පරිපාලන තනතුරු වල සිටි උගත් නිලධාරීන්. ඒ්ත් පොලිසිය කියන්නේ වෙනම සංස්කෘතියක්. ඒ පිලිබඳ වැටහීමක් මොවුන්ට තිබුණේ නැහැ. පුහුණුවට වුණත් ඔවුන් අකමැත්තක් දක්වන්න ඇත්තේ ඔවුන් උගත් නිලධාරීන් නිසා විය හැකියි.

මම සභාපතිවරයා ලෙස පත් වුණාට පස්සේ මේ නිලධාරීන් හමුවෙන්න ඒ පළාත් වලට ගියා. තාමත් යනවා.  ඒ වගේම මේ නිලධාරීන් සියලු දෙනා මම කොලඹට කැඳෙව්වා. ජනවාරි 22 ත් කැඳවලා සාකච්ඡා කළා. එහිදී මම මේ නිලධාරීන්ගේ පහසුකම් ගැනත් කථා කළා. දැනට පළාතකට ඉන්නේ විමර්ශන නිලධාරීන් දෙදෙනයි. මම ඒක තුන් දෙනෙක් දක්වා වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට හොඳ කාර්යාලයක් නැතිනම් එහෙම තැනක් සුදානම් කරන්න පවා සාකච්ඡා කළා.

03) මේ පළාත් අධ්‍යක්ෂකවරු සම්බන්ධයෙන් ඔබට පැමිණිලි ලැබිලා තියෙනවද?

ඔව්. මේ ඉවත් වු පුද්ගලයින් පස් දෙනා අතර ඒක් පුද්ගලයෙක් ගැන මට පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධව ජාතික පොලිස් කොමිසන් සභාවෙන් විමර්ශනයක් කරනවට අමතරව අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන ඒකකයටත් යොමු කරලා තියෙන්නේ.

ඒ වගේම මේ පළාත් අධ්‍යක්ෂකවරුන්ගේ කිසිඳු නිවාඩු ලේඛනයක් නැහැ. ඔවුන් හිතූ හිතූ වෙලාවට නිවාඩු අරන්. ඔවුන් ප්‍රධනම දේ විදිහට සලකලා තිබුණේ නිදහස. ඔවුන් එවන ලියවිල්ලට මෙහෙන් ගෙවීම් කරලා තියෙනවා. වෙන විමසීමක් කරලා තිබුණේ නැහැ. මම දැන් කියලා තියෙන්නේ අනිවාර්යෙන් නිවාඩු ලේඛනයක් පවත්වාගෙන යා යුතුයි කියලා. සමහරු ඒකට කැමති නැහැ. ඒ නිසා ඔවුන් දැන් කොමිසමේ ගැටුම් ඇති කරන්න හදන්නේ. මේ නිලධාරීන් පැමිණිල්ලක්, කට උත්තරයක් හරියට ලියා ගන්න දන්නේ නැහැ. ඒත් ඔවුන් මාසේ‌ට රුපියල් 60,000 ක වැටුපක් ගන්නවා. මොකද්ද ඒත් මෙච්චර කාලයක් කරලා තියෙන්නේ.

04) ඔබ මොනවද පොලිස් කොමිසමේ ඇති කළ යුතු බවට යෝජනා කරන දේවල්?

පැමිණිලිකරුවෙක් කොමිසමට ඇවිත් පැමිණිල්ලක් කළහම අපි ඔහුට ප්‍රශ්නාවලියක් දිය යුතුයි. ඒ වගේම ඔහුගේ පැමිණිල්ලට අදාලව ප්‍රශ්නාවලියක් අදාල පොලිසියටත් ලබා දිය යුතුයි. මෙහිදී අප පැමිණිලිකරු අතෘප්තියට පක් වීමට හේතුව සොයා බැලිය යුතුයි. ඒ සඳහායි අපි ඔවුන්ට ප්‍රශ්නාවලියක් යොමු කරන්නේ.

බොහෝ විට පොලිසියට එරෙහි ලැබෙන මහජන පැමිණිලි 80% ක්ම ලැබෙන්නේ කරුණු තුනක් මත. ඒ පොලිසිය පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියා කිරිමට ප්‍රමාද වීම, පැමිණිලි එම නිලධාරින්ගේ අභිමතය පරිදි විසඳීම හා පක්ෂග්‍රාහී වීම මත යන කරුණු තුන. ඒ නිසා ලැබෙන පැමිණිල්ල අප මේ කුමන වර්ගයට අයත් එකක්ද කියා අප වටහා ගත යුතුයි. එයටයි ප්‍රශ්නාවලියක් පැමිණිලිකරුට ලබා දෙන්නේ.

05) ජාතික පොලිස් කොමිසමේ පළාත් අධ්‍යක්ෂකවරු මොනවගේ විය යුතුයි කියලාද ඔබ හිතන්නේ?

සම්පුර්ණයෙන්ම නීතිය ගැන අවබෝධයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම මේ සඳහා සුදුසු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නීතිඥයින්, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරු වැනි විමර්ශන ක්‍රියාවලියක් ගැන අවබෝධයක් ඇති අය.

06) මේ වනකොට ජාතික පොලිස් කොමිසමේ ඇති අඩුපාඩුවක් ලෙස ඔබ දකින්නේ මොනවද?

වසර 20 ක් පුරා මේ පොලිස් කොමිසම භාවිතා කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ බලතල. නමුත් අපිට යම් මහජන පැමිණිල්ලක් විමර්ශනය කිරිමේදි ඇතැම් විට සහාය කණ්ඩායම් කැඳවන්න වෙනවා. පොලිසියකින් විමසු විට පිලිතුරු ලැබුනේ නැතිනම් / කොමිසමේ පෙනී සිටියේ නැතිනම් අපිට ඊට එරෙහිව ක්‍රියාත්මක වන්න බලය අවශ්‍යයයි. ඇතැම් ලියකියවිලි සොයා ගන්න අවශ්‍යයයි. ඒ නිසා අපි මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරලා පොලිස් කොමිසන් පනතක් ගේන්න කටයුතු සුදානම් කරමින් සිටින්නේ. මේ පනතෙන් බලතල ලැබුණට පසුව අපිට මීට වඩා කාර්යක්ෂම සේවයක් මහජනතාවට ලබා දිය හැකියි.  අපිට මේ පනතක් ගෙනත් පොලිසිය පාලනය කිරිමට නෙමේ අවශ්‍ය , ශක්තිමත් කිරීමයි අවශ්‍ය.

ඒ වගේම මම සභාපතිවරයා ලෙස එද්දී කොමිසමේ මහජන පැමිණිලි කෙටි අංකය වන 1960 පැවතුණෙත් කිසිම පුද්ගලයෙකුගේ අධීක්ෂනයකින් තොරව. ඔවුන් නිදහසේ වැඩ කරගෙන ගිහින්. නමුත් මේ වනකොට මම 1960 ගැන දිනපතා සොයා බලනවා. සමහරවිට ඇතුලෙම නිලධාරින් මේවාට කැමති නැහැ. නමුත් ආයතනයක් වුණහම යම් පාලනයක් තිබිය යුතුයි.

07) දැන් ඔබේ කණ්ඩායමෙන් පිරිසක් ඉවත් වීම මේ ක්‍රියාවලියන්ට බාධාවක් නොවේද?

නැහැ. අපි මේ ඉවත් වු පිරිස වෙනුවෙන් නව පිරිසක් බඳවා ගන්න දැනටමත් මාධ්‍ය වල දැන්වීම් පළ කරන්න කියලා තියෙන්නේ. වසරකට බඳවා ගන්න ඔවුන් අපි මින් ඉදිරියට ගිවිසුමකට යටත් කරනවා. ඒ් පළමු මාස 06 තුල හොඳ කැපවීමකින් වැඩ කළ නොහැකි වුවහොත් ඉවත් කිරිමේ තීරණය මතයි.

08) ජාතික පොලිස් කොමිසම මහජනතාවට ළඟා කරවන්නේ කෙසේද?

මෙයට ප්‍රජා පොලිස් සංකල්පය යොදා ගන්නවා. ජනවාරි මාසයේ සිට කිරිමට නියමිතව තිබුණත් කොවිඩ් නිසා කල් තැබුණා. අපි බිම් මට්ටමට ගොස් පොදු ස්ථානයක ජංගම සේවාවක් පවත්වලා ජනතාවගේ පැමිණිලි විමර්ශනය කිරිමට බලාපොරොත්තු වෙනවා. මෙයට අදාල පළාත් අධ්‍යක්ෂකවරයාත් සහභාගි විය යුතුයි. එය ඔවුන්ට අත්දැකීමක් වෙනවා. ඒ වගේම පැමිණිලි සම්බන්ධයෙන් මම දැනටමත් පුද්ගලිකව සොයා බලමින් සිටිනවා. විමර්ශනයක් ආරම්භ කළ විට ඒ බව අප පැමිණිලිකරුට දන්වා යවනවා. මාර්ග සිතියමක් අනුව අපි මහජනතාවට පොලිසිය සමීප කරවන්න බලාපොරොත්තු වන්නේ.

සාකච්ඡාව – ශානිකා මාධවී

උපුටා ගැනීම – www.aithiya.lk

Advertisement

Videos

Featured Video Play Icon

අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම

Featured Video Play Icon

“සමරිසි අයිතීන්” ලංකාව සහ ලෝකය | LGBT Rights

Facebook Page