“මේ වසංගතය නිසා ඩොලර් බිලියන එකොලහක විදේශ විනිමයක් අහිමිවෙයි කියලා අපි හිතනවා”

 - January 19th, 2021 - 

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විදේශ රැකියා ක්‍ෂත්‍රයේ අළුතින් ඇතිවී තිබෙන ගැටළු මොනවාද ?

මැදපෙරදිග කළාපයේ සේවය කරනු ලබන ශ්‍රමිකයන් විසින් වාර්ෂිකව දළ දේශිය නිශ්පාදිතයට 8% ක දායකත්වයක් හා වෙළඳ ශේෂයෙන් 84% ක ප්‍රමාණයක් නියෝජනය කරනවා. කිසිදු රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක ආයෝජනයකින් තොරව බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය විසින් වාර්ෂිකව ඩොලර් බිලියන 7 වැටුප් ප්‍රමාණයක් හා සේවකයින් පිටත්කර හැරීම් වෙනුවෙන්  ඩොලර් බිලියන 3 ක් වශයෙන් ඩොලර් බිලියන 10 විදේශ විනිමය ප්‍රමාණයක් පසුගිය වසර පහක කාලය පුරාවට මෙරට ආර්ථිකයට ලබාදීලා තිබෙනවා.

මේ වන විට මෙරට ශ්‍රමිකයන් මිලියනයක පමණ පිරිසක් විදේශ රැකියාවක්හි නිරතව සිටිනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් විශේෂයෙන්ම මැදපෙරදිග කළාපයේ සේවයේ නියතු ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම හා නිරෝධානය කිරීම සම්බන්ධයෙන් රජය යම් අපහසුතාවයකට පත්ව ඇති බව පේනවා. මේ ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ඔවුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් රජය මෙතෙක් සාධනීය ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.  අපි අපේ ආයතනය හරහා විදේශ ගතවුණ ශ්‍රමිකයින්ගේ තත්ත්වය නිරන්තරව සොයා බලමින් සිටිනවා. ඒ අනුව මේ වසංගතය එනකොට ගිවිසුම් කාලය අවසන් වු ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අදාල සේවායෝජකයන් සමඟ සාකච්ඡා කරලා ගිවිසුම් අළුත්කර රැකියා සුරක්‍ෂිත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබෙනවා, අනෙක් පැත්තෙන් ශ්‍රමික පවුල්හි සාමාජිකයන් සමඟ සාකච්ඡා කර තත්ත්වය පැහැදිලි කිරීම හේතුවෙන් විදේශ රැකියාවන්හි නිරත වූ පිරිස් අතරින් නැවත මෙරටට පැම්ණීමට  ඉල්ලීම් කරන ලද පිරිස ක්‍රමක් ක්‍රමයෙන් අඩු කිරීමට කටයුතු කළා.

විදේශ ශ්‍රමිකයින්ගෙන් 70% පමණ වන ගෘහසේවික කාන්තාවන්, මේ කොරෝනා වසංගතය නිසා ඔවුන් පත්ව ඇති තත්ත්වය කොහොමද? අපි දිනෙන් දින දකිනවා ඕමානය වගේ රටවල සිටින කාන්තාවන් තමන්ව ගෙන්න ගන්න කියලා උද්ඝෝෂනය කරනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට හෘහසේවිකාවන් අවධානමකට ලක්වී නැහැ. ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය ආරක්‍ෂා කරගන්න අපි කටයුතු කරලා තිබෙනවා. මේ වන විට ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට පවා සේවා යෝජකයින් එකඟ වෙලා තිබෙනවා. නීත්‍යානුකූල පිටත්වීම් සිදුකර ඇති ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරලා තිබෙනවා.

විදේශ සේවා නියෝජිත ආයතන මැදපෙරදිග කළාපයට ගෘහසේවිකාවන් පිටත්කර හැරීමේදී සේවා යෝජකයාගෙන් විශාල මුදලක් ලබා ගෙන මිනිස් ජාවාරමක නිරතවන බවට පසුගිය කාළයේදී විශාල චෝදනාවක් එල්ලවුණා.

මේ වන විට ශ්‍රී ලාංකික කාන්තාවන්ට තමයි මැදපෙරදිග කළාපයේ ඉල්ලුම වැඩිම ඉල්ලුම තියෙන්නේ.  ඉල්ලුමට සරිලන සැපයුම අඩුවීම හේතුවෙන් ගෘහසේවය වෙනුවෙන් පිටත්වන කාන්තාවක් පිටත්වීමට ගිවිසුම් ගත වීමෙන් පසුව සේවා යෝජකයා විසින් ලබා දෙනු ලබන මුදලින් 70% පමණ ප්‍රමාණයක් ඔවුන්ගේ ගැටළු යම් මට්ටමකට විසඳාගැනීමේ අරමුණින් ලබාදෙනවා. මේ නිසා මේ කාන්තාවන්ට සේවය කිරීමේදී නිරවුල් මනසකින් සේවය  කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතිරි 30% න් ගමන් වියදම් හා පුහුණුවීම් වෙනුවෙන් වෙන්කර නියෝජිත අයතනය වසින් 10% පමණ ප්‍රමාණයක් ලබාගැනීම සිදු කරනවා.

නුපුහුණු ශ්‍රමිකයින් වශයෙන් ගෘහ සේවය වැනි ක්ෂේත්‍ර සඳහා පිටත්වන කාන්තාවන් විවිධ අතවරයන්ට හා හිංසනයටන්ට පත්වන බවට වරින් වර වාර්තාවීම් සිදුවන හේතුවෙන් පුහුණු ශ්‍රමිකයින් පිටත් කිරීම සම්බන්ධයෙන් පසුගිය රජයේ අවධානය යොමුවුණා. දැන් එම වැඩපිලිවෙලේ තත්ත්වය කුමක්ද ? 

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගෘහ සේවකයින් හෝ නුපුහුණු ශ්‍රමිකයින් වශයෙන් නොමැතිව පුහුණු ශ්‍රමිකයින් වශයෙන් වඩා ක්‍රමවත් ශ්‍රමික සැපයුමක් ඇති කිරීම සම්බන්ධයෙන් බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය විසින් පැවති සෑම රජයක් වෙතම යෝජනාවන් ඉදිරිපත් කළා. නමුත් කිසිදු රජයක් සාධනීය පියවරයක් අරගත්තේ නැහැ. යම් ශ්‍රමිකයකුට සේවා ස්ථානයේදී ඇතිවන ගැටළු සම්බන්ධයෙන් නීත්‍යානුකූල මැදිහත්වීම එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ නිළධාරීන්ගේ සහයෝගය ඇතුව ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒත් කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට තානාපති කාර්යාල කීපයක නිළධාරීන් මෙරටට ගෙන්වීමට කටයුතු කිරීම හේතුවෙන්  ශ්‍රමිකයින් දැඩි අපහසුතාවයන්ට පත්වෙලා ඉන්නවා.  මේක අද විශාල ගැටලුවක් බවට පත්වෙලා තිබෙනවා. රජය තානාපති සේවයට දේශපාලන පත්වීම් නොකර නිසි පුද්ගලයින් පත් කරනවා නම් මේ ගැටලු බොහෝ ප්‍රමානයක් අවම කරගන්න අපිට පුලුවන්.

ආසියානු කළාපයේ වැඩිම ගෘහසේවිකා ඉල්ලුම ශ්‍රී ලංකාවට. මේ හේතුව නිසා වාර්ෂිකව ලක්ෂ දෙකක් පමණ ශ්‍රමිකයින් පිරිසක්  පිටත් වෙනවා. නමුත් 2020 වර්ෂය වෙනුවෙන් මේවනවිට ලක්ෂ එකහමාරක පමණ ප්‍රමාණයක් පමණයි පිටත්වෙලා තිබෙන්නේ. කොරෝනා වසංගතය සමනය වූ පසු නැවත මෙරටට පැමිණිමට එක්ලක්ෂ පනස්දහසක පමණ ශ්‍රමිකයින් පිරිසක් සිටීම හේතුවෙන් ඉදිරියේදී  මෙරටට ඩොලර් බිලියන එකොලහක් පමණ විදේශ විනිමය ප්‍රමාණයක් අහිමිවෙයි කියලා අපි හිතනවා. කේසේ වෙතත් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීම තුලින් මෙය වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා. රජය ඒ ගැන සිතිය යුතුයි. ලබන පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ 2022 කටාර් රාජ්‍යයේ, මේ හේතුවෙන් එරට වැඩිවන ශ්‍රමික ඉල්ලුම නිසා ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට පමණ රැකියා  අවස්ථා ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. රජය මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටිය යුතුයි.

කේ. සංජීව

Advertisement

Videos

Featured Video Play Icon

කඩාවැටෙන සමාජයේ කලාකරුවාගේ භූමිකාව

Featured Video Play Icon

දේශපාලකයින් පුම්බන වන්දිභට්ට කලාකරුවෝ | Dilip Rohana

Facebook Page