Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්!

national police commission sri lanka

අ.පො.ස උසස් පෙළ පෙනී සිටිමට නියමිත සිසුවෙකු ගොකරැල්ල පොලීසිය විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය යොදා සාවද්‍ය නඩු පැවරීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත.

තෙළඹුගල්ල, දොඩම්ගස්ලන්ද පදිංචි කංචන ප්‍රදීප් ධර්මතිලක (19) නමැති අයව ගොකරැල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක, වික්‍රමසිංහ, ගුණරත්න යන නිලධාරීන් විසින් 2020-10-10 වෙනි දින නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ ඔහු තම නිවසේ සිට මිතුරෙකුගේ නිවසට යන අතර තුරදීය.

නිවසට මීටර් 500ක පමණ දුරින් සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඔහු හදිසියේම නවතා පහර දෙමින් ගංජා ඉල්ලා ඇති අතර එහිදී ඔහුගේ ඥාතීන් එම ස්ථානයට ගොස් විමසිමේදී ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පවසා ඇත්තේ තමුන් ගොකරැල්ල පොලීසියෙන් බවත්, ගංජා කෑල්ලක් තිබු නිසා ඔහු අත්අඩංගුවට ගත් බවත්ය. ඥාතීන් එය පිළිනොගනමින් ඒසේ අත්අඩංගුවට ගත් ගංජා පෙන්වන ලෙස අදාල නිලධාරීන්ගේ ඉල්ලා සිටියත් පොලීසිය කිසිවක් ඉදිරිපත් කර තිබුණේ නැත.

නමුත් පසුව මෙම කංචන සන්තයේ තිබී යැයි පවසා පොලිස් නිලධාරීන් හෙරොයින් ප්‍රමාණයක් පෙන්වා ඇත. පසු දින මෙම සිසුවා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ගංජා නොව, හෙරෝයින් මිලිග්‍රෑම් 2280ක්  ලඟ තබා ගැනීමේ චෝදනාවන් යටතේය.

එසේම මත්කුඩු යතුරු පැදියකින් ප්‍රවාහනය කිරීම සහ පොලිස් නිලධාරියෙකු වෙත සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාත් ඔහුට එල්ල කර තිබේ. මෙම අසත්‍ය චෝදනා හේතුවෙන් ඇප ලබා ගැනීමට නොහැකිව මාස 4කට වැඩි කාලයක් මෙම සිසුවා පසුවන්නේ කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේය.

මේ අතර මෙම සිසුවාගේ මව වන යමුනා කුමාරි මහත්මිය විසින් මේ සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කළාය.

මෙහිදී ජාතික පොලිස් කොමිෂන් සභාවේ වයඹ පළාත් අධ්‍යක්ෂක කාර්යාලය වෙත  කළ පැමිණිල්ල අනුව ගොකරැල්ල පොලීසිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇත. එහිදී මෙම පැමිණිල්ලට අදාලව 2020-012-09 සහකාර පොලිස් අධිකාරී 111 වෙතින්  විමර්ශනයක් කර 12-31 ට ප්‍රථම වාර්තාවක් කැඳවා ඇත. නමුත් එම වාර්තාව නෙලද හෙයින් නැවත 2021-01-07 පළමු සිහි කැඳවීමද 2021-02-09 දෙවැනි සිහි කැඳවීමද යොමු කර ඇත.

මේ අතර කුරුනෑගල දිස්ත්‍රික් 111 විසින් 2021-01-24 දිනට අදාලව වාර්තාවක් වයඹ පොලිස් කොමිසම වෙත ලබා දී ඇත. ඔහු කියා ඇත්තේ පැමිණිලිකාරිය පොලිස්පති සහන මැදිරිය වෙතද පැමිණිල්ලක් කර තිබු හෙයින් ඒ් සම්බන්ධව විමර්ශනයක් පවත්වා ඇත. එහිදී සියලු කරුණු විමර්ශකයින්ගේ අවධානයට යොමු කර, නිරික්ෂණයට ලක් කර ඇති බවත් එහිදි පෙනී ගොස් ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදි ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා විසින් සෙනඟ රැස්ව සිටි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගත්තේ ගංජා නිසා බව කීවත් පසුව ඔවුන් විසිර ගිය පසු තනිවම සැකකරු පරික්ෂා කිරිම, එහිදි හෙරොයින් හමුවීම, මොහුට පෙර වැරදි නොමැති වීම, දින 02 කින් උසස් පෙල  විභාගයට මුහුණ දීම, 54 වගන්තියෙන් අධිකරණයට ඉදිරිපත් කිරිම යන ආදි කරුණු නිසා මෙම වැටලීම් රාජකාරීය විනිවිදව සිදු නොවු බැවින් පැමිණිලිකාරිය මෙසේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවය.

එසේම පිරිස විසිර යාමෙන් පසු කංචන සතුව තිබි සොයා ගත්තේ හෙරොයින් බව වැටලීම් කළ නිලධාරින් තිදෙනා හැර අත්අඩංගුවේ සිටි කංචනවත්, දීලීප  නුවන්වත් දැන නොසිටීම හා කංචන විභාගයට මුහුණ දීමට සිටින බව එම අවස්ථාවේදී පැමිණිලිකාරිය කියා සිටියත් මෙම නිලධාරින් ඉහළ කිසිඳු නිලධාරියෙකුගෙන් උපදෙස් පතා නොතිබීම යන කරුණු මෙහිදි නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් නිර්දේශ කර ඇත්තේ මෙම වැටලීම සිදු කළ ප්‍රධාන පොලිස් පරික්ෂක රත්නායක ඇතුලු නිලධාරීන් තම වැටලීම් රාජකාරිය විනිවිදභාවයකින් තොරව සිදුකිරිමෙන් හා අත්අඩංගුවට ගත් කංචනගේ ජිවිතයේ වැදගත් කඩඉම් විභාගයක් සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදැක්වීමෙන්, අපකීර්තීදායක හැසිරීම, මහජනයාගෙන් කෙනෙකුට අවිනීත අන්දමින් හෝ පීඩාකාරී අන්දමින් හැසිරීම යන වැරදි සිදු කර ඇති බැවින් ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායකට අවවාද පත්‍රයක්ද, වැටලීමට සහාය වූ අනෙක් නිලධාරීන් දෙදෙනා විනය ශාලාවට ගෙන්වා අසාදු සටහන බැගින් ලබා දීමටය.

නමුත් මෙම සිසුවාගේ ජිවිතයේ වැදගත් කඩඉමක් අහිමි කිරීම, පොලිස් නිලධාරීන් ප්‍රසිද්ධියේ ගංජා යැයි පවසා පසුව හෙරොයින් වලට නඩු පැවරීම පිලිබඳ මෙහිදී ප්‍රමාණවත් නිර්දේශයක් සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් ලැබී නොමැති වීම නිසා ජාතික‌ පොලිස් කොමිසමේ පළාත් අධ්‍යක්ෂකවරයා විසින් ඒ පිලිබඳ විමර්ශන ගොනුව ජාතික පොලිස් කොමිෂමේ සභාපති, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත යොමු කර ඇත.

එහිදී පොලිසිය සිදු කළ විමර්ශන වලදි දුර්වලතා / අඩුපාඩු කිහිපයක් ඇති බවට නිරික්ෂණය වී ඇති  බැවින් මේ පිලිබඳ යළි කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන්  විමසීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත. ඒ අතර ගංජා හෙරොයින් වූයේ කෙසේද යන්න අවධානයට ලක් කර ඇත.

-ශානි-

උපුටා ගැනීම – www.aithiya.lk

Translate »
Scroll to Top