Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

කොස්ගොඩ තාරකටත් පොලිසීයෙන් අවම බලය!

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පොලීසියේ අවම බලය යොදා ඝාතනය කර පැය 24 ක් යාමට මත්තෙන් අද (13) අළුයමද තවත් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත.

ධර්ම කීර්තී තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක මේ මිය ගොස් ඇත. 34 වියේ පසු වන මෙම පුද්ගලයා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් විසින් විමර්ශන කටයුත්තක් වෙනුවෙන් මොහුව මීරිගම, රේන්දේපොල ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ ගිනි අවි වලින් බලය පාවිච්චි කිරීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. මෙහිදී තුවාල ලැබු කොස්ගොඩ තාරක මීරිගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

එසේම මෙහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්ද තුවාල ලබා ඔහුව වතුපිටවිල රෝහලට ඇතුලත් කර ඇතැයි පැවසේ.

පොලිස් වාර්තා වලට අනුව කොස්ගොඩ තාරක මනුෂ්‍ය ඝාතන 07 ක්, කොල්ලකෑම් 21 ක් සම්බන්ධ පුද්ගලයෙකි. 2018 වසරේදී මාතර නිලේකා ජුවලරිය කොල්ලකෑවේද මොහුගේ කණ්ඩායමක් විසිනි. මොහු දිගු කාලයක් බූස්ස බන්ධනාගාරයේ සිට ඇප මත සිටියදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අත්අඩංගුවට පත්ව තිබුණි.

ඉකුත් වසරේ ජුනි මාසයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ගෝනා කෝවිලේ රාජාද මිය යන්නේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අතිනි.

පොලිසීයට පැවරී ඇත්තේ පාතාලය මර්දනය කිරීමටය. එසේ කියා කොරෝනා වසංගතයෙන් මෙරට ජනතාව පීඩා විඳිමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වන පුද්ගලයින් පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම මිලේච්ඡ සහගතය. මේ දිනවල ජනතාවගේ වැඩි අවධානයක් මේ ඝාතන වලට යොමු නොවීම පොලිසිය වාසියට ගනිමින් ඇත.

එසේම පොලිස් අත්අඩංගුවේ සිටි නිරායුධ සැකකරුවෙකු නිසා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලැබීමද ගැටළු සහගතය. මෙයත් මාකඳුරේ මධුෂ්ගේ ඝාතනයේ තිර පිටපතේම කොටසක් විය හැකිය.

-ශානි-

Translate »
Scroll to Top