Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

ගොකරැල්ල පොලිසියේ නීති විරෝධී හැසිරීම තවත් ඉදිරියට

ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කීප දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳ පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සිදුවිය. එනම් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙකුට හෙරොයින් සන්තකයේ තබා ගත්තා යැයි චෝදනා එල්ල කරමින් ඔහුගේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට තිබූ අයිතිය අහිමි කරමින් ඔහු නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා බන්ධනාගාර ගතකිරීමේ සිද්ධියයි. මෙම සිද්ධිය සිදුවන්නේ පසුගිය වර්ෂයේ එනම් 2020 ඔක්තෝබර් 10 දින වුවත් මෙය මාධ්‍යයේ කතාබහට ලක්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මැදිහත් වීමත් සමගය. සිද්ධියට මුහුණ දුන් කාංචන ප්‍රගීත් ධර්මතිලක නම් අපොස උසස් පෙළ හදාරන ශිෂ්‍යයා මේ වන විටත් දුම්බර රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙයි. එම ශිෂ්‍යයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත්වන කුරුණෑගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වෙත සහ ජාතික පොලිස් කොමිසන් සභාව වෙත ලිඛිතව පැමිණිලි කිරීම් සිදු කරයි.

එම පැමිණිල්ලට අදාළ ජාතික පොලිස් කොම්ෂන් සභාව හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහිදී මෙම පොලිස් නිලධාරියාධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත් වීම් සිදු කර ඇති ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසන් සභාව අදාල නිලධාරීන් සම්බන්ධයෙන් අසාදු සටහන් ඉදිරිපත් කිරීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ දී පසුගිය මාර්තු 12 වන දින මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරනු අතර ඒ සඳහා පැමිණිලි පාර්ශවය වශයෙන් අදාළ සිසුවාගේ මව වන යමුනා කුමාරි යන අය සහ වගඋත්තරකාර පාර්ශවය වන ගොකරැල්ල පොලිස් ස්ථානයේ වග කියයුතු බලධාරීන් කැඳවා දෙපාර්ශවයෙන් වාචික කරුණු විමසීමක් සිදු කර තිබේ. එහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයහි මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කරනු ලබන ලාල් මෙන්ඩිස් මහතා මෙම නීතිවිරෝධී සිදුවීම සහ ඉන් සිදුව ඇති අසාධාරණය පිළිබඳ කරුණු දැක්වීම සිදු කරන ලදී. දෙපාර්ශ්වයෙන් ම ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මානව හිමිකම් කොමිසමේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය නියෝග කොට ඇත්තේ දින දා හතරක් (14ක්) ඇතුළත සිද්ධියට අදාළ දෙපාර්ශවය කරුණු ඇතුළත් ලිඛිත වාර්තාවක් දෙපාර්ශ්වය විසින්ම මෙම කොමිෂන් සභා කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

එසේම මෙම සිද්ධිය හේතුවෙන් අගතියට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටින කාංචන ප්‍රගීත් සිසුවාට ඇප මත මුදාහ හැරීම සඳහා අදාල මහාධිකරණය වෙත ඇප ඇයැදුම්පත් මේ වන විට ඉදිරිපත් කර ඇති අතර එම අයදුම්පත් අප්‍රේල් මස පළමුවන දින දී මහාධිකරණය ඉදිරියේ කැඳවීම්ට නියමිතව පවතී. මේ ආකාරයෙන් ස්වාධීන කොමිෂන් සභා ඉදිරියේ සහ අධිකරණය ඉදිරියේ මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතින අතරවාරයදී මෙම සිද්ධියේ සාක්ෂිකරුවන් වෙත ගොකරැල්ල පොලිසියෙන් තර්ජන ගර්ජන එල්ල වීම ආරම්භ වී ඇති බව පසුගිය මාර්තු 15 දින කුරුණෑගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත වාර්තා වී තිබේ. ඒ මෙම සිදුවීම් ඇසින්දුටු සාක්ෂිකරුවකු වන දොඩංගස්ලන්ද ප්‍රදේශ්යේ පදිංචි දිලීප නුවන් රාජපක්ෂ යන අයව ගොකරැල්ල පොලිස් ස්ථාන නිලධාරීන් විසින් ව්‍යාජ චෝදනා එල්ලකරමින් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවට කරුණු වාර්තා වීමත් සමගයි. මෙම සිදුවීම් සම්බන්ධයෙන්යෙන් කුරුණෑගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයහි මැදිහත්වීම යටතේ මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සහ ජාතික පොලිස් කොමිසන් සභාව වෙත පැමිණිලි කිරීමට කටයුතු කරමින් පවතින අතර ගොකරැල්ල පොලිසියේ මෙම සමස්ත නීති විරෝධී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදාළ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයහි නීති ආධාර සහ නීතිමය මඟපෙන්වීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිතව පවතී.

Translate »
Scroll to Top