Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

මහර රැඳවියන් මියගියේ වෙඩි තැබීමෙන් බව තහවුරු වෙයි.


මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02 දිනය.

ඊට පසු දිනම  (03) ඔහු පාර්ලිමේන්තුවේදි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.  ඒ මහර ගැටුමෙන් කිසිදු රැඳවියෙකු වෙඩි වැදී මරණයට පත්ව නැති බවත් මිය ගොස් ඇත්තේ එකිනෙකා විසින් ගහගත් නිසා බවය

දෙසැම්බර් (03) දා ර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා විසින් මහර සිදුවීම ගැන කියූ කතාවකට නව බන්ධනාගාර කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිතුරු ලබා දෙමිනි.

එහිදී මහර බන්ධනාගාරයේ සිදුවීම ගැන පවසමින් අමාත්‍යවරයා කියා සිටියේ “ගරු මන්ත්‍රීතුමා, ඊයේ මම මහර බන්ධනාගාරයට ගියා. ඒක ඇතුළේ වෙලා තියෙන සිද්ධිය ගැන දැනට CID එකෙන් පරික්ෂණයක් කරගෙන යනවා. මේකේ බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරකින් කිසිම කෙනෙක් මැරිලා නැහැ. ඒ මැරිලා ඉන්න සියලු දෙනා මැරිලා තියෙන්නේ ඇතුළේ කට්ටිය ගහගෙන.. වෙඩි පහරවල් තියලා තියෙනවා, ඒත් වෙඩි පහරකින් මැරිලා නැහැ කවුරුවත්…මරණ පරික්ෂණවලින් ඒවා හෙළිවෙලා තියෙනවා…” ලෙසින් පවසා තිබුණි.

ඔහුගේ මෙම ප්‍රකාශය සමාජයේ බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් විය. මන්ද ඒ වනවිටත් කිසිදු මෘතදේහයක පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු නොකර තිබු බැවිනි.

කෙසේ නමුදු අමාත්‍යවරයාගේ ප්‍රකාශයට දැන් නීතියෙන්, විද්‍යාත්මකව පිළිතුරක් ලබා දී ඇත. ඒ මිය ගිය රැඳවියන් 11 නා අතරින් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ මේ වන විට පවත්වා අවසන් වීම නිසාය.

මෙම මෘත දේහ ආදාහනය කිරීමට රජය සුදානම් වු අවස්ථාවේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඊට විරෝධය පළ කර වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ මෙය අපරාධයක් බැවින් මෘත ශරිර ආදාහනය කලොත් අපරාධකරුවන්ට සත්‍යයෙන් වසන් වී පලා යාමට හැකි බවත් වහාම මේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ පවත්වා මරණයට හේතු සොයා ගන්නා ලෙසත්ය.

ඒ අනුව අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කරන ලදි. ඒ අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරින් සිව් දෙනෙක් හා රජයේ රස පරීක්ෂක නියෝජනය කරමින් ගිනි අවි පිලිබඳ විශේෂඥයෙක් ඇතුලත් විය.

මේ පංච පුද්ගල විශේෂඥ මණ්ඩලය ඊයේ (16) දින වත්තල අධිකරණය වෙත මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ මෘතදේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ සිදුකර කරුණු වාර්තා කර සිටියහ.

එහි සඳහන්ව ඇත්තේ මෙම රැඳවියන් සිව් දෙනොම මිය ගොස් ඇත්තේ ගිනි අවි වලින් සිරුරට සිදු වු තුවාල නිසා බවය.

මේ අතර මෙම මෘතදේහ භූමිදානය සඳහා ඥාතීන්ට භාර දෙන ලෙස පැමිණිකරුවන් ඉල්ලා සිටියත් නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනි සිටි රජයේ අධිනිතීඥ නිරාශා ජයරත්න මෙනෙවිය හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එයට විරෝධය පළ කර ඇත.

දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගනිමින් වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා නියෝග කර ඇත්තේ අප්‍රේල් 11 දා සෞඛ්‍ය අමාත්‍යවරිය නිකුත් කර ඇති කොවිඩ් ආදාහන සම්බන්ධ ගැසට් නිවේදනය අනුව මෙම මෘ දේහ ආදාහනය කරන ලෙසය.

Translate »
Scroll to Top