Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

යක්කලමුල්ල පොලීසිය පොට පටලවාගෙන මහ මඟ සිටි අයෙකුට දෙයි!…

ගාල්ල, යක්කලමුල්ල පොලිසීය විසින් සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පහර දී පසුව වැරදීමක් වූ බව පවසමින් ඔහුව මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසටම හා පොලිස්පතිවරයා වෙත  පැමිණිල්ලක් කර ඇත.

මෙසේ අගතියට පත්ව ඇත්තේ ගාල්ල, නාකියාදෙනිය, අළුත්වත්ත, රෝහල පාර, පදිංචි කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර නම් අයෙකි.

මොහු ඉකුත් මැයි මාසෙ 09 වනදා රාත්‍රී 09.00ත් 09.30 අතර කාලයේ යක්කලමුල්ල හන්දියේ පිහිටි දිමුතු පාමසිය වෙත ‍ගොස් ඇත්තේ ඖෂධ වගයක් මිලදී ගැනීමටය. එහිදී පාමසියට මීටර් 30 ක් 40ක් නුදූරින් පිහිටි යක්කලමුල්ල හන්දිය පැත්තෙන් රතිඤ්ඤා පත්තුවෙන ශබ්දයක් ඇසීම නිසා මේ කොරෝනා අස්සේ කවුද රතිඤ්ඤා පත්තු කරන්නේ කියමින් පාමසියේ හිමිකරු සමඟ මොහුත් පාමසියෙන් එළියට බැස විපරම් කර ඇත.

එහිදී ඔවුන් දැක ඇත්තේ විදූලි ආලෝකය තුලින් හන්දියෙ ප්‍රතිමාව අසල රතිඤ්ඤා පත්තු වන ආකාරයය. පසුව පාමසියේ හිමිකරු යළි පාමසිය තුලට ගියද සිසිර එම ස්ථානයේ නතර වී බලාගෙන සිට ඇත. යක්කලමුල්ල පොලීසිය පිහිටියේ මේ අසලයමය. මෙහිදි  නිළ ඇදූමින් සැරසි එක් පොලිස් නිළධාරියකු සහ සිවිල් ඇදූමින් සැරසී සිටි පොලිස් නිළධාරින් දහයකට අධීක සංඛ්‍යාවක් රතිඤ්ඤා පත්තුවන ස්ථානයට පැමිණ, පාරේ ගිය පාපැදි කරුවකු නතරකර ඔහුට අතින් පයින් ගසනු සිසිර දැක ඇත.

පසුව සිවිල් ඇදූමින් සිටි එක පොලිස් නිළධාරියකු සිසිර  දෙසට අත දිගුකර මොනවදෝ කියමින් ඔහු සිටි ස්ථානයට පැමිණ, උඹනේ රතිඤ්ඤා පත්තුකරේ කියා ඔහුව අල්ලාගෙන පහර දීමට පටන් ගෙන ඇත.

ඒ අවස්ථාවේ පාමසියේ හිමිකරු පැමිණ කියා ඇත්තේ මොහු තමන්ගේ පාරිභොගිකයෙකු බවත් බෙහෙත් වගයක් ගෙන යාමට පැමිණි බවත්ය. නමුත් පොලිස් නිලධාරීන් ඊට  සවන් දී නැත. මූ තමයි සර් ගියාට සතුටින් රතිඤ්ඤ පත්තුකරේ කියා කියමින් පහර දෙමින් යාබද පිහිටි පොලීසියට රැගෙන ගොස් ඇත.

එහිදීද ඔහුට අතින් පයින් පහර දී කුඩුවට දමා ඇත. රාත්‍රී 09.45 ට 10.00 ට විතර සිසිර සේවය කරන කොමිනිකේෂන් එකේ හිමිකරු සහ සේවකයකු පැමිණ ඔහු සමග කථාකරන්න අවස්ථාව  ඉල්ලා ඇතත් පොලිස් නිළධාරින් විසින් ඔවුන්ට ද  බැනවැදී පලවා හැර ඇත.  එදින  රාත්‍රී10.30 ට විතර දිමුතු පාමසියෙ හිමිකරු වු දිමුතු මහතා CCTV දර්ශන ජංගම දූරකථනයකට රැගෙන වැඩ බලන පොලිස් ස්ථානාධීපතිවරයා වෙත පෙන්වා සිසිර නිර්දෝෂ බව කියමින් නිදහස් කරනා ලෙසට ඉල්ලීමක් කර ඇත.

එම පොලිස් නිළධාරින් අදාල කැමරා පරීක්ෂාකර බලා 05 .10 වනදා උදේ 10.00 ට විතර මොහුව නිදහස්කර ඇත්තේ පොඩි වැරදීමක් වුන බව පවසමිනි.

පොලිසියෙන් පිටව ගිය සිසිර කරාපිටිය රෝහලේ දින දෙකක් නේවාසික ප්‍රතිකාර ලැබුයේ පොලිස් පහර දීම් බරපතල වු බැවිනි.

මේ පිළිබදව විධිමත් කඩිනම් අපක්ෂපාතී සාධාරණ පරික්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කර දෙන ලෙස සිසිර අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Translate »
Scroll to Top