Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

වෘත්තිය සමිතියක් පිහිටුවීම නිසා සේවකයින් එළියට

atg

වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් වෘත්තීය සමිති 22ක් ඉල්ලීමක් කර ඇත.

එක්සත් කම්කරු සම්මේලනයට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක සංගමය විසින් 2021 අගෝස්තු 20 වැනි  දින වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ  වෘත්තීය සමිති ශාඛාවක් පිහිටවා  තිබුනි.

වාණිජ හා කාර්මික සේවක සංගමය, මෙම ශාඛා සංගමය පිහිටුවීම පිළිබඳව සමාගමට දැනුම් දුන් විගස සමාගම විසින් දින 4 ක කාලයක් තුළදී සංගමයේ සාමාජිකයන් 16 දෙනෙකු සේවයෙන් පහ කර ඇත.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල වෙත ලිපියක් යොමු කරමින් වෘත්තිය සමිති නායකයන් සිහිපත් කර දී ඇත්තේ  2021 අගෝස්තු 24 වැනි  දින පැවති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේ දී අමාත්‍යවරයා  මේ කාරණය මතු කළ විට, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සහ අන්තර් සමාගම් සේවක සංගමයේ නියෝජිතයන්, ඒටීජී සමාගම වසර ගණනාවක සිට ක්‍රියාත්මක කරන මේ හා සමාන වෘත්තීය සමිති බිඳ දැමීමේ හා අසාධාරණ කම්කරු පරිචයන් පිළිබ‍ඳව  අවධානයට යොමු කළ බවයි.

වතුපිටිවල ඒටීජී සමාගමේ මෙම වෘත්තීය සමිති බිඳ දැමීමේ සිදුවීම සිදුවී මේ වන විට  මාසයක් ගත වී ඇතත්  එම සමාගමට එරෙහිව අසාධාරණ කම්කරු පරිචයන් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව මේ දක්වා කටයුතු කර නැති බවට  වෘත්තිය සමිති නායකයන් චෝදනා කරයි.

කම්කරු අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපිය මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ වතුපිටිවල ඒටීජී සමාගම මෙබඳු බරපතල නීති විරෝධී කටයුත්තක් සිදු කළද කිසිවකුගේ බලපෑමකින් හෝ බාධාවකින් තොරව එහි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යන බවයි.

එසේ වුවද වෘත්තීය සමිතියකට සම්බන්ධ වීම හේතුවෙන් සේවයෙන් පහ කළ සේවකයන් 16 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල අය රැකියාව නොමැති බැවින් අද කොවිඩ් වසංගතය මධ්‍යයේ ආහාර හා ඖෂධ ඇතුළු එදිනෙදා අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලට අවශ්‍ය වියදම් පියවා ගැනීමට පොරබදමින් සිටින බව එහි වැඩි දුරටත් සදහන්ය.

“කම්කරු නඩු ක්‍රියා මාර්‍ග දිග්ගැස්සෙන විට ඉවත් කරන ලද සේවකයින් සුළු විසඳුමක් සඳහා එකඟවන බව නිදහස් වෙළඳ කලාප කර්මාන්ත ශාලා හිමියන් හොඳින් දනිති. වසර ගණනාවක් තිස්සේ පැවති දිග්ගැස්සුනු නඩු විභාගවලින් පසුව සේවයෙන් පහ කරන ලද සේවකයින් තම ගැටළුව නිරාකරණය කර ගන්නා විට, නව සේවකයින් වෘත්තීය සමිතියට බැඳීමෙන් තම රැකියා අවදානමට ලක් කර ගැනීමට අකමැති වන නිසා වෘත්තීය සමිතිය කර්මාන්තශාලාව තුළ තවදුරටත් ක්‍රියාත්මක නොවේ.

අසාධාරණ කම්කරු පරිචයන්ට එරෙහිව නීති පැනවීම සඳහා 1999 දී කාර්මික ආරවුල් පනත සංශෝධනය කළද නීතිය ක්‍රියාත්මක කිරීම මන්දගාමී හා අකාර්යක්ෂමය. එම නිසා පොත්වල නීති තිබුනත්, තමන් වෘත්තීය සමිති පිහිටුවීමට උත්සාහ කරන විට සේවකයින්ට රැකවරණයක් නොමැති හෙයින් වෘත්තීය සමිති බිඳ දැමීමට හාම්පුතුන්ට හැකි වී තිබේ.”

පසුගිය අවුරුදු 21 තුළ සිදු වූ අසාධාරණ කම්කරු පරිචයන් සම්බන්ධ වැරදි ගැන මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු කර ඇති නඩු සංඛ්‍යාවෙන් එය සනාථ වන බවයි වෘත්තිය සමිති නායකයන් පවසයි.

එවැනි පසුබිමක් තුළ  වෘත්තීය සමිති නායකත්වය සිය ලිපිය මගින්  අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ  මෙම කරුණට මැදිහත් වී ඉවත් කළ සේවකයන් නැවත සේවයේ පිහිටුවන බවට සහතික වන ලෙසයි. ශ්‍රී ලංකා රජයේ අවසරය සහ කැමැත්ත නොමැතිව කිසිදු සමාගමකට නිදහස් වෙළඳ කලාප තුළ අඛණ්ඩව කටයුතු කළ නොහැකි බව පවසන වෘත්තිය සමිති නායකයන් අවධාරණය කරන්නේ මේ වන විට  ලංකාවේ කම්කරු නීති වෘත්තීය සමිති බිඳ දැමීම වැළැක්වීමට තරම් ශක්තිමත් නොවිය හැකි නමුත් අමාත්‍ය කාර්යාලය නීති සංශෝධනය කිරීම් සම්බන්ධව සක්‍රීයව කටයුතු කරමින් සිටින බැවින් සේවකයින්ගේ අයිතිවාසිකම් සහ රැකියාවල ආරක්‍ෂාව සහතික කළ හැකි බවයි.

“මේ සඳහා රජයේ මැදිහත් වීමක් නොමැති විට, ජාත්‍යන්තර ආයතන මත විශ්වාසය තැබීමට කම්කරුවන්ට හා සේවක සංවිධාන වලට සිදු වේ.” එම නිසා, කම්කරුවන්ගේ අයිතිවාසිකම් විශේෂයෙන්ම සංවිධානය කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමට රජයට හැකියාව පවතින බවට කම්කරුවන්ගේ හා වෘත්තීය සමිතිවල විශ්වාසය ශක්තිමත් කිරීම ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම කම්කරු නීති උල්ලංඝනය කිරීමේ ගැටලුවට මැදිහත් වී පියවර ගන්නා ලෙස වෘත්තිය සමිති නායකයෝ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගෙන් ඉල්ලා තිබේ.

ඔවුන් තව දුරටත් රජයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් මැදිහත් වී වතුපිටිවල ඒටීජී සමාගම එහි සේවකයින් 16 දෙනෙකු සම්බන්ධයෙන් ගත් නීති විරෝධී ක්‍රියා මාර්‍ගය ගැන ප්‍රශ්න කරන ලෙසටය.

ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩී ඩබ්ලිව් සුබසිංහ කම්කරු අමාත්‍යවරයාට යොමු කළ ලිපියට ලංකා බැංකු සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වතු සේවා සංගමය, ලංකා වෙළඳ කර්මාන්ත සහ පොදු සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය,  ශ්‍රී ලංකා වෙළඳ නාවිකයන්ගේ සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, තැපැල් සහ විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය, ඇඟළුම් සහ රෙදිපිළි සේවක සංගමය, ලංකා ගුරු සංගමය, ජාතික වෘත්තීය සමිති පෙරමුණ,  ජාතික සේවක සංගමය, තොරතුරු සහ විදුලි සංදේශ සියළු සේවක සංගමය, ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය, ස්වාධීන වරාය සේවක සංගමය,  රක්ෂණ සේවක සංගමය,  ලංකා කම්කරු සම්මේලනය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ප්‍රොටෙක්ට් සංගමය, ඩාබිඳු සාමුහික සංගමය,  ස්ටෑන්ඩ්අප් සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය යන වෘත්තිය සමිති අත්සන් තබා ඇත.

Translate »
Scroll to Top