“ශ්‍රී ලංකාවේ තවමත් වධහිංසා කෙරෙනවා” යුරෝපා සංගමය
  
Share |   


දේශීය හා විදේශීය මානව හිමිකම් සංවිධාන මෙන්ම විසින් දිගටම පල කරන ලද බිය තහවුරු කරන යුරෝපා සංගමය වර්තමාන ආණ්ඩුවේ පාලනය යටතේත් වධ හිංසා පැමිණවීම් සිදුවන බව ප්‍රකාශ කරයි.

වධ හිංසාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් ඇතැයි ආණ්ඩුවත් පිළිගෙන තිබෙන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් කොළඹදී ප්‍රකාශ කර සිටියේ රට තුල මානව හිමිකම් උල්ලංඝන නිසා හත් අවුරුද්දකට ඉහතදී අත් හිටුවන ලද GSP+ වරණීය බදු සහනය මේ සතිය අග පටන් යලිත් ප්‍රදානය කරන බව මාධ්‍යවේදීන්ට දැනුම් දෙමිනි.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩල ප්‍රධානියා එහිදී කියා සිටි පරිදි තවත් බරපතල ප්‍රශ්න කිහිපයක්ම විසඳී නෑ.

“වධ හිංසාව සම්බන්ධ සිදුවීම් බොහොමයක් සිදුවෙන බව අපි දන්නවා. බලහත්කාරයෙන් දරුවන් විවාහ කරවන බව අපි දන්නවා. ශ්‍රී ලංකා සමාජයේ ඇතැම් කොටස් වලට එරෙහිව ක්‍රියාත්මක වන නීති තිබෙන බව අපි දන්නවා,” යි තානාපති තුං ලායි මාර්ග් උදාහරණ කීපයක් ගෙන හැර පෑවේය.

යුරෝපා සංගමයේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මාම්ස්ට්‍රොම් නිවේදනයක් මගින් රජයෙන් ඉල්ලා තිබුනේ මෙම පුරුදු වහාම අත් හිටුවන ලෙසයි.

ආරක්ෂක අංශ සාමාජිකයන් වේවා, වෙනත් කවර අයකු හෝ වේවා වධ හිංසා පමුණුවන්නේ නම් රජය ඊට එරෙහිව පියවර ගනු ඇති බවට ද යුරෝපා සංගම් නියෝජිතයෝ අපේක්ෂාව පල කළහ.

ආණ්ඩුවේ මිශ්‍ර පණිවිඩ

ඒ සමගම, යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව පියවර නොගන්නා බවට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් කරන ප්‍රකාශ කෙරේද මාධ්‍යවේදීන් විසින්  යුරෝපා සංගම් නියෝජිතයන්ගේ අවධානය යොමු කරන ලදී.

යුද්ධයේදී සිදුවූ අපරාධ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන රජය “මිශ්‍ර පණිවිඩ” යවන බවට චෝදනා කළ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ දේශපාලන අංශයේ ප්‍රධානී පෝල් ගොඩ්ෆ්‍රී මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවයි.

මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂාවෙන් යුරෝපා සංගමය GSP+ බදු සහනය ලබාදුන් බවයි යුරෝපා සංගමය පවසන්නේ.

මානව හිමිකම් උල්ලංඝනය නිසා බදු සහනය අත් හිටුවනු ලැබූ පළමු රට වන ශ්‍රී ලංකාවට ඒ අනුව මැයි මස දහනම වැනිදා සිට බදු සම්බන්ධ කිසිදු බාධාවකින් තොරව යුරෝපයට භාණ්ඩ අපනයනය සඳහා ඉඩ සැලසෙන බව තානාපති මාර්ග් ප්‍රකාශ කළේය.

ව්‍යාපාරිකයන්ට හොඳ ප්‍රවෘත්තියක්

ශ්‍රී ලංකාවට යුරෝ කෝටි 30ක වාසියක් සලසන GSP+ ලැබීම අපනයන සහ ආයෝජන සම්බන්ධයෙන් “හොඳ ප්‍රවෘත්තියක්” බව තානාපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ දැනුම් දුන්නේය.

දිවයිනේ දකුණු පළාත පමණක් නොව උතුරේද ධීවර හා ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්ධනයක් මේ මගින් උදාවනු ඇති බවට ඔහු විශ්වාසය පල කළේය.

ව්‍යාපාරිකයන් හා ආයෝජකයන්ට හොඳ පුවතක් වන GSP+ මානව හිමිකම් වලට අදාළව හොඳ පුවතක් වන්නේ කෙසේදැයි ගගන කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මානව හිමිකම් සම්බන්ධයෙන් සැබෑ ප්‍රගතියක් අත් කර ගැනීම සඳහා බදු සහනය ලැබීම “පෙළඹවීමක් ඇති කරන” බවයි.

කම්කරුවන්ට වාසියක් නෑ

කෙසේ වෙතත්,  ආයෝජකයන්ට සැලසෙන වාසියෙන් කොටසක් කම්කරුවන්ට ලබා දීමට පියවර ගන්නා ලෙස බල කිරීමේ හැකියාවක් තමන්ට නැති බවට යුරෝපා සංගම් නියෝජිතයෝ කනගාටුව පල කළහ.

“අපි සම්පුර්ණයෙන් තෘප්තිමත් හෝ සියල්ල ආශ්චර්යමත් ආකාරයෙන් සිද්ධවන සුන්දර ලෝකයක් යයි අපි කියන්නේ නෑ,” යි තුං ලායි මාර්ග් කියා සිටියේය. “මම මේ කාරණය පැහැදිලිව කියන්න කැමතියි. අපි ආණ්ඩුවට සමීපයෙන් හිඳිමින් උදව් කරනවා වාගේම වැඩ වැරදුනාම විවේචනය කරන්නත් ලෑස්තියි.”

සැබෑ සංහිඳියාවක් උදා කර ගැනීමට කළ යුතු තවත් බොහෝ දේ ඇතැයි දන්නා බව පවසන යුරෝපා සංගම් නියෝජිතයෝ ඒ ගැන බරපතල ලෙස අධීක්ෂණය කරන බව කිහිප වර අවධාරණය කළහ.

ඒ සඳහා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව කටයුතු කරමින් අවුරුද්දක් පාසා තම නිරීක්ෂණ ලිඛිතව ඉදිරිපත් කරන බවත් ඔවුහු කියා සිටියහ.

යුරෝපා පාර්ලිමේන්තුවේ විරෝධය

ශ්‍රී ලංකාවට ජී. එස්. පී. ප්ලස් බදු සහනය ලබා නොදෙන ලෙසට යුරෝපා මන්ත්‍රීවරුන් පිරිසක් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව වැඩි ඡන්ද 317කින් බ්‍රසල්ස්හි යුරෝපා පාර්ලිමේන්තුවේ දී පසුගිය මස 27 වෙනිදා පරාජයට පත්විය.

මන්ත්‍රීවරුන් පනස් දෙදෙනෙකුගෙන් සැදුම්ලත් එක්සත් යුරෝපා වමේ සහ උතුරු යුරෝපා හරිත වමේ ඒකාබද්ධ කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාව මඟින් ඉල්ලා තිබුනේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන වගකීම් ඉටු කර නොමැති නිසා ශ්‍රී ලංකාවට ජී. එස්. පී. ප්ලස් බදු සහනය නැවත ලබා නොදෙන ලෙසයි.

උපුටා ගැනීම - ගගන



Posted Date :

2017-05-18