පොලිසියට නිතිය අකැපද?
  
Share |   



 

                                  

ගෙදර කවුද? දොර ඇරපං. ඉක්මණින් දොර ඇරපං... අපි පොලිසියෙන්

දොරට තඩිබානු ඇසුණු සුරේෂ් ජනේලයෙන් එබිකම් කළේය. එහි සිටියේ පොලූ අතැති පිරිසකි. ඔහු වහාම 119 දුරකතන අංකයට ඇමතුමක් ගෙන සිද්ධිය සැල කළේය. ඒ වන විට වේලාව අලූයම 23ට පමණ ඇත. පොලූ අතේ තියෙනවා නම් ගමේ ග‍්‍රාම නිලධාරීට කෝල් එකක් දෙන්න.

මහ ? ග‍්‍රාම නිලධාරිනියට ඇමතුම් ගත්තත් ප‍්‍රතිචාරයක් නැත. අධි රුධිර පීඩනයෙන් පෙළෙන සුරේෂ්ගේ මවට හදිසියේම රෝගී තත්ත්වය වැඩි වන්නට විය. යුද සමයේ සුරේෂ්ගේ වැඩිමල් සහෝදරයකු මිය යෑමෙන් පසු ඔහුගේ මවගේ රෝගී තත්ත්වය ද වැඩි වී තිබිණි.

සුරේෂ් දොර ඇරියේය. ඒ මවගේ රෝග ලක්ෂණ නිසාය. ඒ සමඟම පොලූ අතැතිව සිටි පිරිස සුරේෂ් ඇදගෙන ගොස් පහර දෙමින් ජිප් රියේ දමාගෙන නිවසින් පිටව ගියේය. කෙළින්ම ගියේ වැලිගම පොලිස් ස්ථානයටය.

එදා 2013 අපේ‍්‍රල් පළමු වැනි දා ය. ගමේ භාෂාවෙන් කියතොත් මෝඩයාගේ දවස විය. බී වාර්තාවකින් සැකකරු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. චෝදනාව මෙරට සාදන ලද බෝම්බයකින් පහර දී දේපොළවලට අනර්ථයක් සිදු කිරීමය.

කවුද මේ සුරේෂ්?

ඔහු නමින්   එලබද්දුරගේ ජීවන් සුරේෂ් ය. පදිංචිය මාතර වැලිගමය. ඒ වන විට ඔහු 25 වැනි වියෙහි පසු විය. යුද හමුදා පොලිසියේ කෙටි කාලයක් සේවය කළ සුරේෂ් ඉන් ඉවත් වූයේ නීත්‍යනුකූලවමය. ඉන් පසු කුඩා ව්‍යාපාරයකට සම්බන්ධ විය. අම්මා, තාත්තා සහ මල්ලී සමඟ වැලිගම නිවසේ ජීවත් විය.

එදා මාර්තු 31 වැනි දා ආයතනයක සීසීටීවි පද්ධතියක් සවි කිරීමට ගොස් නිවසට එන විට රාත‍්‍රී 8ට පමණ ඇත. සුපුරුදු පරිදා කා, බී රාත‍්‍රී 9.30 – 10.00 පමණ වන විට නින්දට ගියේය. රාත‍්‍රී 11ට පමණ ඔහු අවදි වූයේ පොලිසියේ දෙදෙනකු දොරට තට්ටු කළ නිසාය.

ඔයාට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා. පොලිසියට යමු. පොලිස් නිලධාරියෙක් කීවේය.

පැමිණිල්ල කුමක්දැයි විමසුවත්  පිළිතුරක් නොලැබිණි.

පැමිණිල්ල මොකක්ද දන්නේ නැතුව පොලිසියට යන්න බැහැනේ. හෙට උදේ අපි පොලිසියට එක්කගෙන එන්නම් නිවැසියෝ කීහ. පොලිසිය ද ඊට එකඟ වූ අතර පසුදින උදේ 10ට පොලිසියට එන ලෙසට කොළ කැබැල්ලක් දී පිටව ගියහ.

පසුදින උදෑසන පොලිසියට යෑමේ අරමුණින් ඔවුහු නින්දට ගියහ. අලූයම 34ට පමණ පොලිසිය පැමිණ සුරේෂ් කුදලාගෙන ගියේ මේ අතරතුරේදීය. සුරේෂ් කුදලාගෙන යෑමට හේතුව 119 හදිසි ඇමතුම් අංකයට කාන්තාවකගෙන් ලැබුණු පැමිණිල්ලකි. ඇය කියා ඇත්තේ තම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු තම නිවසට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ බවයි. ඇය කියා ඇත්තේ ප‍්‍රහාරයට පෙර මෙම තුරුණයා දුරකතන ඇමතුමක් ගෙන නිවසට බෝම්බ ගසන බවට තර්ජනය කළ බවයි.

මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට සුරේෂ් ඉදිරිපත් කළ පොලිසිය ඔහු   රිමාන්ඩ් කරන ලෙෂ ඉල්ලා සිටියේය.  ඒ අනුව අපේ‍්‍රල් 10 වැනි දා තෙක් සුරේෂ් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.  ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේය.  සුරේෂ් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සාක්කිකරුවන් සැකකරුට දැඩි බියක් දක්වන බව හා මේ නිසා ප‍්‍රදේශයේ දැඩි නොසන්සුන් තාවක් ඇති වී තිබෙන බවයි.

අධිකරණය විසින් රිමාන්ඞ් කරනු ලැබූ සැකකරු මාතර බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය. තමන්ට වැලිගම පොලිසියෙන් පහර දී ඇති බැවින් ප‍්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව ඔහු නිලධාරීන්ට කීවේය. ඒ අනුව ඔහුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දුන් අතර ඔහු දින 10ක් බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලැබීය.

වෛද්‍ය වාර්තා අනුව සුරේෂ්ගේ නළලේ ලේ ගැලීම්, උරහිසේ තැලීම්, දණහිස් හා දණ හිසට පහළින් තැබීම් තිබී ඇත.අපේ‍්‍රල් 10 වැනි දා නඩුව කැඳවූ මහේස්ත‍්‍රාත්වරයා ඔහු රුපියල් 25,000 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරි අතර සෑම මසකම අවසන් ඉරු දින උදේ නවයත් 12ත් අතර පොලිසියට වාර්තා කරන ලෙස ද නියෝග කළේය.

සැකරුට එරෙහිව නඩු පවරන බව පොලිසිය කීව ද සත්‍ය වශයෙන් පොලිසියට ඒ සඳහා සාක්කි තිබුණේ නැත. ඒ අනුව පොලිසිය සිද්ධියෙන් වසරක ඇවෑමෙන් 2013 මාර්තු තුන් වැනි දා පොලිසිය අධිකරණයට දැන්වූයේ පොලිසියට ලැබුණු පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවයි. ඒ අනුව සුරේෂ් නඩුවෙන් නිදහස් කරනු ලැබූ අතර අසත්‍ය පැමිණිල්ල කළ කාන්තාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළේය.

2014 මැයි මාසයේ දී  පොලිසිය එම කාන්තාවට එරෙහිව නඩු පැවරීය. අධිකරණයේ දී චෝදනා කියවා දුන් පසු කාන්තාව වරද පිළිගත්තාය. ඒ අනුව අගතියට පත් සුරේෂ්ට රුපියල් 25,000ක් ගෙවන ලෙස කාන්තාවට නියම කළ අධිකරණය ඇයට රුපියල් 1500ක දඩයක් ද නියම කළේය.

කිසිදු  වග විභාගයකින් තොරව තමා අත්අඩංගුවට ගැනීමට ගැන සුරේෂ් ඇප ලබා පැමිණි විගස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.

සැකකරුවකු අත්අඩංගුවට ගැනීම

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 (1) වගන්තිය අනුව නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටියට හැර කිසිම තැනැත්තකු අත්අඩංගුවට ගැනීමට නොහැකිය.

13 (1) නීතියෙන් නියම කරනු ලබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය. යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේ ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වන්නේ  නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලූව මිස කිසිම තැනැත්තකු අත්අඩංගුවට නොගත යුතු බවයි. නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය කුමක්දැයි  ඕනෑම කෙනකුට මතුවිය හැකි ඊළඟ ප‍්‍රශ්නයයි.

යම් පුද්ගලයකු සිර භාරයට ගත යුතු ආකාරය 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ    ෂඪ පරිච්ජේචයේ 23 (1) වගන්තියේ දක්වා ඇත.

23 (1) යම් තැනැත්තකු සිර භාරයට ගැනීමේ දී ඒ සිර භාරයට ගනු ලබන තැනැත්තා තමා අත්අඩංගුවට ගනු ලැබීමට වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් අවනත වුවහොත් මිස, ඔහු සිර භාරයට ගැනීම කරන තැනැත්තා විසින් සිර භාරයට ගනු ලබන තැනැත්තාගේ ශරීරය සැබැවින් ම ස්පර්ශ කොට හෝ රඳවා තබා ඔහුව සිර භාරයට ගත යුතුය. තව ද සිර භාරයට ගනු ලබන තැනැත්තා සිර භාරයට ගනු ලබන්නේ යම් චෝදනාවක් හෝ දෝෂාරෝපණයක් මත ද ඒ චෝදනාවේ හෝ දෝෂාරෝපනයේ ස්වභාවය ඔහුට දැනුම් දිය යුතුයි.

ඉහත වගන්තිය අනුව සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඊට එරෙහිව කිසිවක් නොකරයි නම් ඔහු සාමකාමීව සිටිනවා නම් එම සැකකරු අත්අංගුවට ගත යුත්තේ චෝදනා කියා දී ය. එනම් අහවල් චෝදනාවට ඔබ අත්අඩංගුවට ගන්නවා කියමිනි.

නමුත් සුරේෂ් අත්අඩංගුවට ගනිද්දී පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්නා හේතුව කියා දුන්නේ නැත. සාමකාමීව සිටි සුරේෂ් අත්අඩංගුවට ගත්තේ ඔහුට පහර දෙමිනි. එසේම කෙනකු අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රම දෙකකි. එකක් වරෙන්තුවක් ඇතුව අත්අඩංගුවට ගැනීමයි. අනෙක නම් වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමයි.

වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි ආකාරය අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 32 (1) වගන්තියේ දක්වා ඇත. එහි (ආ) වගන්තිය මෙසේය.

 32 (1) (ආ) යම් සංඥය වරදකට සම්බන්ධ වූ තැනැත්තකු හෝ එසේ සම්බන්ධ වූ බවට යම් තැනැත්තකුට විරුද්ධව සාධාරණ පැමිණිල්ලක් ලැබී තිබේ ද නැතහොත් ඒ බවට යම් තැනැත්තකුට විරුද්ධව විශ්වාස කටයුතු තොරතුරක් ලැබී තිබේ ද නැතහොත් ඒ බවට යම් තැනැත්තකු සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතී ද එවැනි යම් තැනැත්තකු , මහේස්ත‍්‍රාත්වරයකුගේ ආඥාවක් නොමැතිව සහ වරෙන්තුවක් නොමැතිව යම් සාම නිලධාරියකු විසින් සිර භාරයට ගත හැකිය.

එම වගන්තිය අනුව කෙනෙකු ගැන සැකයක් ඇති වූ පමණින් හෝ පැමිණිල්ලක් ලද පමණින් අත්අඩංගුවට ගත නොහැකිය. පැමිණිල්ල සාධාරණ විය යුතුය. සැකය ද සාධාරණ විය යුතුය. සාධාරණ සැකය යනු හේතු පැහැදිලි කළ හැකි සැකයක් බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවල සඳහන් වේ.

සුරේෂ් අත්අඩංගුවට ගත්තේ කාන්තාවගේ ප‍්‍රකාශය මතයි. ඒ ගැන කිසිදු විමර්ශනයක් පොලිසිය පැවැත්වූයේ නැත. අඩු තරමේ කාන්තාවගේ ප‍්‍රකාශ අනුව සුරේෂ් සත්‍ය වශයෙන්ම ඇයට දුරකතන ඇමතුම් ලබා දුන්නාද කියා හෝ පොලිසිය සොයා බැලූවේ නැත. බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීම වැඩි බරපතල වරදකට පොලිසිය සුරේෂ් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිදු වග විභාගයක් නොමැතිවය.

සුරේෂ්ගේ පැමිණිල්ල විභාග කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කළේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිදු සාධාරණ සැකයකින් තොරව බවයි.

පැමිණිලිකරු සාධාරණ සැකයකින් තොරව අත්අඩංගුවට ගෙන ඇති බව සනාථ වන අතර පැමිණිලිකරුගේ ප‍්‍රකාශ, බන්ධනාගාර වෛද්‍යවරයාගේ සටහන් හා පැමිණිල්ලේ සාක්ෂි සමපාත වීම හේතුවෙන් වගඋත්තරකරුවන් විසින් කරන ලද පහරදීම තහවුරු වේ. එබැවින් වගඋත්තරකරුවන් විසින් 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ජේදයේ 11, 13 (1) සහ 13 (2) ව්‍යවස්ථාවන් මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් පැමිණිලිකරු සම්බන්ධයෙන් උල්ලංඝණය වී ඇති බවට පරීක්ෂණයෙන් අනතුරුව තීරණය කරනු ලැබේ. ඒ මානව හිමිකම් කොමිෂන් සභාවේ තීරණයයි.

ඒ අනුව කොමිසම නිර්දේශ දෙකක් ඉදිරිපත් කළේය.

එනම් සුරේෂ්ට රුපියල් 75,000ක මුදලක් වන්දි ගෙවිය යුතු බව  වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ට නිර්දේශ කළ අතර අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා විමර්ශන වාර්තාවේ පිටපතක් පොලිස්පතිට ද යැවිණි.

එම නිර්දේශ සම්බන්ධයෙන් පොලිසිය අභියාචනා කළ අතර එය ද සලකා බැලූ මානව හිමිකම් කොමිෂන් සභාව යළිත් වරක් තම පෙර නිර්දේශ අනුමත කළේය. ඒ 2015 අගෝස්තු 13 වැනි දා ය.

එසේ නමුත් යුක්තිය ඉටු වූයේ නැත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ අද වන තෙක් ක‍්‍රියාත්මක වූයේ නැත.

ජාතික පොලිස් කොමිෂන් සභාව

සුරේෂගේ කතාව ඔස්සේ අපේ ප‍්‍රාධාන කතාව පටන් ගන්නේ මෙතැන් සිටය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මෙන්ම සුරේෂ් ජාතික පොලිස් කොමිෂන් සභාවට ද පැමිණි කළේය.

එහෙත් කිසිදු පළක් වූයේ නැත.

යහපාලන රජය පැමිණ 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ජාතික පොලිස් කොමිෂන් සභාව යළි පිහිටවීමෙන් පසු සුරේෂ් යළි වරක් කොමිසමට ගියේය. එක් අවස්ථාවක ඔහුගේ ගොනුව අතුරුදන්ව තිබිණි. කොමිසමේ නිලධාරීන් ඊට හේතු ලෙස ප‍්‍රකාශ කළේ කාර්යාල මාරු කරද්දී එය අස්ථාන ගත වන්නට ඇති බවයි. පොලිස් කොමිසමේ ගොනුව යළි සකස් කර ගනු ලැබුවේ සුරේෂ් සතුව තිබූ පිටපත් වලිනි.

සුරේෂ්ට මෙන්ම තවත් අසාධාරණයට ලක්වූවකුගේ සිදුවීමක් ඔස්සේ ගිය අපි පොලිස් කොමිෂන් සභාවේ කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් දීර්ඝ සොයා බැලීමක් කළෙමු.  2015 නොවැම්බර් මාසයේ සිටය. පොලිස් කොමිෂන් සභාවට යන එක පිරිස සමඟ සාකච්ඡා කළෙමු. ඒ අතර පොලිස් නිලධාරීහු ද වූහ. අපේ සොයා බැලීම සාර්ථක කර ගැනීමට සඳහා හිතවතුන් ලවා පැමිණිලි කිහිපයක් සිදු කර බැලූවෙමු.

ජාතික පොලිස් කොමිෂන් සභාවට නොවැම්බර් මාසයේ කළ පැමිණිල්ලක් ගැනද තවමත් සාර්ථක පිළිතුරක් ලැබී නැත. ඇතැම් පොලිස් නිලධාරීන් තමන්ට වූ අසාධාරණයන් ගැන පැමිණිලි කර වසර එක හමාරක් පමණ වේ. නමුත් තවමත් විස`දුමක් ලැබී නැත. එවැනි පොලිස් නිලධාරියකු ගැන අනාවරණයක් පසුව ඉදිරිපත් කරමු.

2013 අගෝස්තු 18 වැනි දා නිකුත් කරනු ලැබූ අංක 1770/19 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව එහි (අ) කොටස යටතේ ඇති විමර්ශන කටයුතු පැමිණිල්ල ලැබී දින තිහක් ඇතුළත සහ (අ) කොටස සහ (ආ) කොටස යටතේ ඇති විමර්ශන කටයුතු පැමිණිල්ල ලැබී දින හැටක් ඇතුළත අවසන් කිරීමට කොමිෂන් සභාව සෑම උත්සාහයක්ම දැරිය යුතුය.

පොලිසිය යනු රජයේ එක් ඉන්ද‍්‍රියක් ලෙස අමල් සුදත් සිල්වා එදිරි පොලිස් පරීක්ෂක කොඩිතුවක්කු නඩුවේ දී අධිකරණය කියා තිබේ. යම් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවේ සිටිය දී හෝ සන්නද්ධ සේවාවන්හි අත්අඩංගුවේ සිටිය දී මරණයට පත්වීම හෝ වධ බන්ධනයන්ට ලක් වීම රාජ්‍යයේ වගකීමක් ලෙස සාමාන්‍යයෙන් පිළි ගනී.

පොලිසියෙන් වූ වරද නිවැරදි කිරීම සහ වැරදි කළවුන්ට දඬුවම් දීම ආණ්ඩුවේ ද වගකීමකි. රාජ්‍ය ආයතනවලට  ඕනෑ ආකාරයට ක‍්‍රියාමක වීමට ඉඩ දුනහොත් නීතිය කැලෑ වැදිනු ඇත. ඇමෙරිකා නීති විශාරදයකු වන ලොන් ෆුලර්ට අනුව නීතියේ ආධිපත්‍ය සම්පූර්ණ වීමට නම් නීතියට රාජ්‍ය නිලධාරීන් ද අවනත විය යුතුය. එමෙන්ම නිලධාරීන්ගේ ක‍්‍රියා හැම විටම පවතින හා ප‍්‍රකාශිත නීතියට අනුකූල විය යුතුය.

ජාතිත පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ -

කොමිෂන් සභාවේ පරීක්ෂණවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයයට යොමු කිරීමට වාර්තාවක් සකසා තිබෙනවා. ඊට අනුව 2016 වසරේ දී පැමිණිලි 1879ක් ලැබී තිබෙනවා. එයින් 1410කට විස`දුම් දී තිබෙනවා. ඉතිරි වී ඇත්තේ සුළු ප‍්‍රමාණයක් පමණයි. කොමිෂන් සභාවේ ලිපි ගොනු අතුරුදන් වන බවට නැගෙන චෝදනා සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරනවා. එහෙම එකක්වත් නැති වෙලා නෑ. එවැනි ප‍්‍රශ්න තිබේ නම් පෞද්ගලිකව පැමිණ මා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. කාර්ය මණ්ඩලය වැඩි කර ගන්නත් අපි බලාපොරොත්තු වනවා.

නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ

1994 අංක 22 දරණ වද හිංසා සහ කෘර අමානුෂික හෝ අමන් සහගත සැලකීම්වලට හෝ දණ්ඩනයන්ට එරෙහි සම්මුති පනතේ 2.1 වගන්තිය අනුව යම් පුද්ගලයෙක්ව වදහිංසාවකට හෝ කෘර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට හෝ දණ්ඩනයන්ට ලක් කිරීම වරදක් බව ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. මෙම පනත 1994 වර්ෂයේ දී මෙරට සම්මත කර ගත්තේ එක්සත් ජාතීන්ගේ වධහිංසාවන්ට එරෙහි සම්මුතියට බලාත්මක භාවය ලබා දීමේ අරමුණ ඇතිවයි. ඒ අනුව පොලිස් නිලධාරීන් ස්වකීය රාජකාරී කටයුතු කරද්දී හෝ රාජකාරිය අතරතුර අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන්ව යම් වද හිංසාවකට, අමානුෂික සැලකීමකට දණ්ඩනයකට ලක් කිරීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් සේම මෙම පනත යටතේ සිදු කරනු ලබන වරදක් වෙනවා. මේ පනත යටතේ යම් වරදක් සම්බන්ධයෙන් මහාධිකරණ නඩු විභාගයක් පවත්වා වරදකරුවන්ට දඩුවම් ලබා දීමේ හැකියාව පවතිනවා.

පොලිසිය රාජකාරි කටයුතු කළ යුත්තේ නෛතික සීමාව ඇතුළතයි. එම නෛතික ප‍්‍රතිපාදන උල්ලංඝණය කරමින් වද හිංසාවන් කළොත් මෙම පනත යටතේ හෝ දණ්ඩ නීති සංග‍්‍රහය හා අපරාධ නඩු විධාන සංග‍්‍රහය ප‍්‍රකාරව එම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි.

පොලිසිය රාජකාරි කරද්දී පුද්ගලයන්ට පහරදීම් හා වධහිංසාවන්ට ලක් කිරීම් විටින් විට වාර්තා වෙනවා. එවන් සිද්ධි වලදී අදාළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ක‍්‍රියාත්මක වෙනවා සේම ඔවුන්ට විරුද්ධව අපරාධ නීතියද ක‍්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. එසේ නොවන්නේ නම්  නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් බරපතල ගැටළු පැන  නගිනවා.

  

උපුටා ගැනීම - ලංකාදීප (තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)



Posted Date :

2017-05-22