වධහිංසාව මට්ටු කරන්න GSP+ සහනයක් වෙයි ද?
  
Share |   


නව රජය තවත් වැදගත් කඩඉමක් පසුගියදා ඉතා සාර්ථකව පසු කරන ලදී. ඒ ශ්‍රී ලාංකික නිෂ්පාදන යුරෝපා සංගමයේ සමාජික රටවල් වෙත අපනයනයේ දී ලබා දුන් ජී.එස්.පී. ප්ලස් නමින් හඳුන්වනු ලබන බදු සහනය නැවත ලබා ගැනීමට නව රජය කටයුතු කිරීමයි. මෙම බදු සහනය ශ්‍රී ලංකාව වෙත 2005 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුළ හිමි වූ අතර ඉන් භාණ්ඩ 7000කට වැඩි ප්‍රමාණයක් යුරෝපා සංගමය වෙත අපනයනය කිරීමේ දී කිසිම තීරු බද්දකට යටත් නොවීමේ  සහනයක් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ලැබුණි. එම බදු සහනය දිගටම ලබාගැනීම සඳහා යුරෝපා සංගමය විසින් ලබා දුන් නිර්දේශ පසුගිය රජය විසින් නිසියාකාරව ඉටු නොකිරීම නිසා මෙම සහනය 2010 වසරේ සිට 2017 මැයි මාසය දක්වා අවුරුදු 7 ක පමණ කාලයක් රටට අහිමි වූ අතර ඉන් දේශීය අපනයන කාර්මාන්තයට විශාල බලපෑමක් ඇති විය. මේ හේතුවෙන් සමහර කර්මාන්ත පවත්වාගෙන යාම විශාල ගැටලුවක් වූ අතර මින් ඇඟලුම් අපනයන කාර්මාන්තයට විශාල පහරක් එල්ල වී කර්මාන්ත ශාලා කිහිපයක් එම කාල සීමාව තුළ වැසීයන තත්ත්වයට ද පත් විය. 

කෙසේ වුවත් වර්තමාන රජය විසින් ගෙන යනු ලබන ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලිය සහ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග හේතුවෙන් යුරෝපා සංගමය විසින් මේ සම්බන්ධව ලබා දී ඇති නිර්දේශ අප්‍රමාදව ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජය එකඟවීමත් මත රජය වෙත දැවුරුද්දක් සඳහා මෙම සහන නැවත ලබා දීමට පසුගියදා තීරණය විය. 

මෙම දෑ අවුරුද්ද තූළ යුරෝපා සංගමයේ නිර්දේශ රජය විසින් ඉටු කරනු ලබන ආකාරය 2019 වසර දක්වා අධීක්ෂණයට ලක් කරනු ලබන්නේය. මෙම අධීක්ෂණයේ දී විශේෂයෙන් ශ්‍රී ලංකා රජය විසින් අපරානුමැතිය ලබා දී ඇති එක්සත් ජාතීන්ගේ විශේෂ ප්‍රඥප්තීන් 3ක් කෙරෙහි යුරෝපා සංගමයේ විශේෂ අවධානය යොමු කරේ. 

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රඥප්තිය (ICCPR)  එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (CRC)  කෲර හා අමානුෂික වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (CAT)වර්තමාන රජය විසින් රට තුළ තුළ ක්‍රියාත්මක කරන ආකාරය යුරෝපා සංගමයේ අධීක්ෂණයට ලක්වන්නේය.

මෙම සහනය ලබා ගැනීමේ දී රජය සහ යුරෝපා සංගමය ඇති කරගත් එකඟත්වයන් අනුව පෙනී යන්නේ ආර්ථික සංවර්ධනය ලබා ගැනීමට නම් කම්කරු නීති රීතීන්වලට අමතරව, රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා කටයුතු කළ යුතු බවයි.

වෙළඳාම දියුණු කිරීම, විශේෂයෙන් අපනයන කර්මාන්ත සංවර්ධනයේ දී නව රජය විසින් ව්‍යපාරික ප්‍රජාව සමග සමඟ ද මෙම තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කළ යුතු අතර, මෙම සම්මුතීන් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණයන් සැකසිය යුතුව තිබේ. 

ශ්‍රී ලංකා රජය 1994 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ වධහිංසාට එරෙහි කමිටුවේ සාමාජිකත්ව ලබා ගනිමින් වධහිංසාව වැළැක්වීමේ ජාත්‍යන්තර ක්‍රියාවලියට ද සම්බන්ධ විය. එතැන් පටන් වසර 4කට වරක් රැස්වන එම කමිටුව වධහිංසාව වැළැක්වීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමර්ගයන් හි ප්‍රගතීන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරමින්, පසුව එම කමිටුව විසින් ලබා දෙන නිර්දේශ ද අනුව ශ්‍රී ලංකාව තුළ වධහිංසා වැළැක්වීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදු කිරීමට එකඟත්වයන්ට එළැඹේ.

වසර 4කට වරක් ජිනීවා නුවර දී රැස්වෙන මෙම එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව වෙත රාජ්‍ය අංශයට පමණක් නොවන රාජ්‍ය නොවන අංශටත් කරුණු දැක්වීමට අවස්ථාව ලැබේ. ඒ අනුව 2011 වසරේ රැස්වූ එම කමිටුව වෙත රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ මූලිකත්වයෙන් තවත් ප්‍රධාන මානව හිමිකම් සංවිධාන 9ක් හා එක්ව ශ්‍රී ලංකාවේ වධහිංසා වැළැක්වීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව නිරීක්ෂණ ඇතුළත් එක්සත් වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය. ඉන් අනතුරුව 2016 වසරේ දී රැස්වූ එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව වෙත ලංකාවේ ප්‍රබල සිවිල් සංවිධාන 20ක් හා එක්ව එක්සත් වාර්තාවක් යොමු කරනු ලැබූ අතර, ලංකාවේ වධහිංසාව වැළැක්වීම සඳහා විකල්ප යෝජනාවන්ද එම වාර්තාව මගින් ඉදිරිපත් කරනු ලැබීය. එමෙන්ම 2016 දී අප විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව එක්සත් ජාතීන්ගේ කමිටුව වෙත යොමු කිරීමට ප්‍රථම එය රජය වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු කරනු ලැබූ අතර, රජය නියෝජනය කරමින් එවකට විදේශ ඇමති ගරු මංගල සමරවීර මහතා විසින් එය නිල වශයෙන් භාර ගනු ලැබීය.   

එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව ශ්‍රී ලංකාවේ වධහිංසාව වැළැක්වීම සඳහා ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කරන බවට එකඟ වීමත් වධහිංසාව ඇතුළු මානව හිමිකම් කඩකරවීම් වැළැක්වීම සඳහා රජයේ පස් අවුරුදු සැලැස්මක් සැකසීමට යොමු වීමත් තවත් වැදගත් කරුණක් ලෙස සැලකිය හැක.

DSC_9119

මේ අනුව අප 2016 දී යොමු කළ වාර්තාවේ සඳහන් නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ වධහිංසාවට ලක්වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජුනි 27 වන දින පවත්වනු ලබන සමුළුවේ දී පහත සඳහන් මූලික කරුණු 5 ඉලක්ක කරමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ වධහිංසාව හා අවමන් සහගත සැලකීම වැළැක්වීම සඳහා විවිධාකාරයේ නීති රීති පනවා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ජේදයේ සඳහන් මූලික අයිතිවාසිකම් හි 11 ව්‍යවස්ථාව මගින් ද වධහිංසා හා අවමන් සහගත ලෙස සැලකීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙසත්, 1994 වර්ෂයේ දී සම්මත කරනු ලැබු 1994 අංක 22 දරන වධහිංසාව හා අවමන් සහගත සැලකීම්වලට එරෙහි සම්මුති පනත මඟින් වධහිංසාව අපරාධ වරදක් බවට ද පත්කර තිබේ.

නමුත්, වධහිංසාවට එරෙහිව ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විවිධ අණ පනත් හා සම්මුතීන්වලට පැමිණ සිටියත් ශ්‍රී ලංකාව තුළ වධහිංසාව තවමත් ඉතා සුලභව භාවිතා වේ. විශේෂයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අපරාධ පරීක්ෂණයේ දී භාවිතා කරනු ලබන එකම ක්‍රමය වන්නේ ද වධහිංසා හා අවමන් සහගත ලෙස සැලකීමයි.

වධහිංසාව වැළැක්වීම සඳහා නාමිකව හෝ ගොඩනගා ඇති යන්ත්‍රණයන් පසුගිය යුදමය පරිසරය තුළ බරපතළ ලෙස කඩා වැටීමකට ලක් වූ අතර, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන වධහිංසාවන් සඳහා රටේ මහජනතාවද යම් නිහඬ සහයෝගයක් ලබා දෙනු ලැබීය. එමෙන්ම, වධහිංසාව නිල නොවන ආකාරයෙන් පවත්වාගෙන යාමට රජයට ද අවශ්‍යතාවයක් තිබුණි. ඒ හේතුවෙන් පසුගිය කාලය තුළ ආරක්ෂක අංශයන්ට එරෙහිව වධහිංසාවට එරෙහි නීති ක්‍රියාත්මක නොකර හරිමින් එසේ වධහිංසා කරනු ලබන නිලධාරින්ට රජයේ යන්ත්‍රණයේ අනුග්‍රහය හා ආශිර්වාදය ද ලබා දෙනු ලැබීය.

මෙම තත්ත්වය යම් පමණකට හෝ වෙනස් කිරීමේ අරමුණින් 2015 වසරේ දී බලයට පත් වූ වර්තමාන රජය වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ගෙන ඒමත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ගෙන එන ලද ස්වාධීන කොමිසන් සභා විශේෂයෙන් මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසම මගින් වධහිංසාව වැළැක්වීම සඳහා යම් යම් පියවර ගෙන තිබුණි. 

නමුත් නව රජය පත්වී දෑ අවුරුද්දක් ගෙවී අවසන්ව ඇති මුත් වධහිංසාව වැළැක්වීම සඳහා ගනු ලැබු ක්‍රියාමාර්ගයන් තුළින් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන වධහිංසාව කැපී පෙනෙන වෙනසක් මෙතෙක් පෙනෙන්ට නොලැබේ. නව රජය පත්වීමෙන් පසුවත් වධහිංසා සිදු කිරීමේ තීව්‍රතාවයේ බරපතළ වෙනසක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව විසින් 2016 නොවැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව වෙත යොමු කළ වාර්තාව සැලකිල්ලට ගැනීමේ දී පෙනී යයි.(http://hrcsl.lk/english/wp-content/uploads/2016/11/Report-to-CAT-Committee-.pdf ) මීට අමතර අප සංවිධානය වෙතත්, අපගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික්ක 6 ක් තුළ පවත්වාගෙන යනු ලබන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන වෙතත් වාර්තා වී ඇති සිද්ධි ප්‍රමාණයන් ද සැලකිල්ලට ගත් විට නව රජය පත්වීමෙන් පසුවත් වධහිංසාවේ සැලකිය යුතු වෙනසක් සිදු වී නොමැති බව පෙනී යයි.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනයවීම පාලනය කිරීම සඳහා ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ලබා ගැනීමේ දී ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය සමග පැමිණ ඇති එකඟත්වයන් මත ඉහත ජාත්‍යන්තර ප්‍රඥප්තීන් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන ආකාරය යුරෝපා සංගමය සමග එක්ව අධීක්ෂණය කිරීමත්, එම අධීක්ෂණ ක්‍රියාවලිය සඳහා ස්වාධීන කොමිසන් හි සහාය ලබා ගැනීමත්, එමෙන්ම වෙළෙද ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාමට නම් කම්කරු නීති සමග මානව හිමිකම් ද රට තුළ ආරක්ෂා විය යුතු බවට ව්‍යාපාරික ප්‍රජාව අතර මතයක් ඇති කිරීමත් මේ හරහා සිදු කළ යුතුය.   

මෙම අරමුණින් එක්සත් ජාතීන්ගේ වධහිංසාවට ලක්වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජුනි 27 වන දින කොළඹ ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලබන සමුළුවේ දී පහත සඳහන් මූලික කරුණු 5 ඉලක්ක කරමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

  1. 1994 අංක 22 දරන වධහිංසාව හා අවමන් සහගත සැලකීම්වලට එරෙහි සම්මුති පනත යටතේ නඩු පැවරීමේ කාර්ය විධිමත් හා වේගවත් කරවීම

  2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවේ සඳහන් වධහිංසාවට එරෙහිව පනවා ඇති මූලික අයිතිවාසිකම් සක්‍රීයව ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා පහසු යාන්ත්‍රණයක් සැකසීමත්, ඒ පිළිබඳව මහජන අවධානය මීට වඩා යොමු කරවීම.

  3. එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය රට තුළ ක්‍රියාත්මක කරවා ගැනීම. වධහිංසාවට එරෙහි සම්මුතියේ වෛකල්පිත ප්‍රොටෝකෝලයට අපරානුමැතිය වහා සදු කරන ලෙස රජයට බලපෑම් කිරීම.

  4. වධහිංසා සිද්ධි සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ ඒකකයන් ස්ථාපිත කරවීම සඳහා බලපෑම් හා වධහිංසාවට එරෙහිව ප්‍රබල මහජන මතයක් ගොඩනැගීම සඳහා කටයුතු කිරීම

  5. 2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව විසින් ශ්‍රී ලංකා රජය වෙත ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීමට කටයුතු කිරීම. යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකා රජය වෙත නැවත ලබා දුන් ජී.එස්.පී. ප්ලස් බදු සහනයේ ප්‍රධාන කොන්දේසි වලින් එකක් වුයේ වධහිංසාවට එරෙහි සම්මුතිය රට තුළ ක්‍රියාවට නැංවිය යුතු බවයි. එමෙන් එම සම්මුතියේ වෛකල්පිත ප්‍රොටෝකෝලයට අපරානුමැතිය වහා සිදු කරන ලෙස රජයට බලපෑම් කිරීම.

  6. වධහිංසා සිද්ධි සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ ඒකකයන් ස්ථාපිත කරවීම සඳහා බලපෑම් කිරීම.

පසුගිය දා මානව හිමිකම් කොමිසම සමඟ කළ සාකච්ඡා තුළ දී එවැනි ඒකකයක් කොමිසම විසින් ආරම්භ කරන බවට ප්‍රකාශ කරනු ලැබීය. එවැනිම ඒකකයක් පොලිස් දෙපාර්තමේන්තුව හා පොලිස් කොමිසම තුළ ක්‍රියාත්මක කරවා ගැනීමත් ඒවා සක්‍රීය මට්ටමින් පවත්වාගෙන යාමට සිවිල් සමාජයේ පුර්ණ අනුග්‍රහය ලබා දීමට සැලැසුම් සැකසීමත්ය. 

පිලිප් දිසානායක

2017.06.25 දින රාවය පුවත්පතේ සමබිම අතිරේකයේ පලවූ ලිපියකි



Posted Date :

2017-06-26