පොලිස්පතිට එරෙහිව පියවර ගතහැක්කේ කාටද...?
  
Share |   


තම නියමයට අනුව උදෑසන භාවනා නොකිරීම සම්බන්ධව පොලිස් මූලස්ථානයේ සේවය කරනු ලබන පොලිස් මුලස්ථානයේ පිහිටි මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපතිවරයා, විදුලි සෝපාන කි‍්‍රයාකාරු හා පිළිගැනීමේ නිලධාරිනියක් ඇතුලූ සේවකයන් තිදෙනෙකුට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් පහරදීමට තැත්කිරීමක් පිලිබඳව පසුගිය අපේ‍්‍රල් 11 වන දා වූ සිදුවීමක් සම්බන්ධව වීඩියෝවක් පසුගියදා ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මගින් ප‍්‍රචාරය කර තිබුනි.

මෙම වීඩියෝ පටයත් සමග පොලිස්පතිවරයාගේ කි‍්‍රයා කලාපයන් ගැන නැවත විශාල සංවාදයක් සමාජය තුල ගොඩනැගුනු අතර, ඔහු සම්බන්ධව මෙතෙක් කිසිදු විනය පියවරක් නොගැනීම සම්බන්ධව රජයට මෙන්ම අදාළ ආයතනයන් වෙත විවේචයන්ද එල්ල විය.

එම විවේචනයන් පොලිස් කොමිසම වෙත ද එල්ල වූ අතර, මේ සම්බන්ධව පියවර නොගැනීම පිළිබඳව අදහස් දක්වමින් පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප‍්‍රකාශකර සිටියේ පොලිස්පතිවරයා සම්බන්ධව විනය පියවරක් ගැනීමට පොලිස් කොමිසමට හැකියාවක් නොමැති බවයි. නමුත්, මේ සම්බන්ධව අද (18) ලංකාදීපයට අදහස් දක්වමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු වන ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා ප‍්‍රකාශකර ඇත්තේ පොලිස් කොමිසමට ඒ සඳහා බලයක් ඇති බවත් පොලිස් කොමිසම විසින් ඒ සම්බන්ධව පියවර ගත යුතු බවයි.



නමුත් 17 වන හා 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් පැහැදිලිකර ඇත්තේ ‘‘පොලිස්පතිවරයා හැර අනෙකුත් නිලධාරීන් පත්කිරීමේ, මාරුකිරීමේ හෝ විනය පියවර ගැනීමේ බලය පමණක් පොලිස් කොමිසමට ඇත්තේය’’ යන්නයි. එම ව්‍යවස්ථාවන් තුළින් පොලිස්පතිවරයා සම්බන්ධව විනය පියවර ගත හැක්කේ කාටද යන්න පැහැදිලිව පෙන්නා දී නැත.

මෙම පිළිබඳව අදහස් දැක්වූ තවත් උසස් පොලිස් නිලධාරියෙකු අප සමග පවසා සිටියේ පොලිස්පතිවරයා සම්බන්ධව පියවර ගත හැක්කේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට පමණක් බවයි. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් පොලිස්පතිවරයා හා නීතිපතිවරයා පත්කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතු බව එහි පැහැදිලිව සදහන් වේ. 

එසේ නම් ඒ දෙපල සම්බන්ධ විනය කි‍්‍රයාමාර්ග ගැනීම හෝ ඉවත් කිරීමත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතුව ඇති බව ද තර්කයක් ගොඩනැගී තිබේ.

ඒ අතර, මේ සම්බන්ධව අදහස් දක්වමින් ජේ්‍ය්ෂ්ඨ නීතිඥයෙකු අප සමග ප‍්‍රකාශකර සිටියේ පොලිස්පතිවරයා හා නීතිපතිවරයා සම්බන්ධව විනය කි‍්‍රයාමාර්ග ගැනීම හෝ ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරෙන බවයි.

කෙසේ වුවත් මේ වීඩියෝපටයත් සමගම පොලිස්පතිවරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධවත්, ඔහුට එරෙහිව පියවර ගත යුත්තේ කා විසින් ද යන්නත් මත ඉතා වැදගත් සාකච්ඡුාවක් නිර්මාණය වී තිබේ. මෙම සංවාදයට එක් වු තවත් ජේ්‍ය්ෂ්ඨ නීතිඥයෙකු වන පුලස්ති හේවමාන මහතා පෙන්වා දුන්නේ පොලිස්පති හා නීතිපතිවරයා ඉවත්කිරීම සම්බන්ධව 2002 වසරේ මාර්තු 26 දින සම්මත වූ 2002 අංක 05 දරණ නිලධාරීන් ඉවත් කිරීම (කාර්යපටිපාටිය) පනතින් පැහැදිලිව සඳහන් කර තිබෙන බවයි. (REMOVAL OF OFFICERS (PROCEDURE) ACT, No. 5 OF 2002) 

2002 අංක 05 දරණ පනත තුළින් පෙන්වා ඇත්තේ පොලිස්පතිවරයා හෝ නීතිපතිවරයා පහත සඳහන් (ඒ), (බී), (සී) හෝ (එච්) යන කරුණු මත කෙලින්ම ජනාධිපතිවරයාට ඔහුව ඉවත්කිරීමේ බලයක් ඇති බවත්, (ඞී), (ඊ), (එෆ්) හෝ (ජී) යන කරුණු මත නම් පාර්ලිමේන්තුවේ බහුතර යෝජනාවක් මත, අගමැතිවරයා සහ විරුද්ධ පක්ෂයේ නායක්වරයාගේ කැමැත්ත ඇතිව කතානායකවරයා විසින් පත්කරනු ලබන ති‍්‍රපුද්ගල කමිටුවක් විසින් සිදු කරනු ලබන විමර්ශනයකින් පසුව ඔහු එම කරුණු වලට වැරදිකරු බව ඔප්පු වන්නේ නම්, එම විමර්ශන වාර්තාව කතානායකට යොමුකර කළ යුතු බවයි. 

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යායපත‍්‍රයට මෙම කාරනාව කතානායක විසින් ඇතුල් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධව ඇති වන විවාදයකින් පසුව ඔහුව ඉවත් කිරීම සම්බන්ධව යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡුන්දයෙන් සම්මතකර කරගත යුතුව තිබේ. අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත වූ එම යෝජනාව නැවත ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු විසින් මෙම ඉවත් කිරීම සිදු කළ යුතු බව එම පණතේ සදහන් වේ.

පොලිස්පතිවරයා සම්බන්ධව පත් කරනු ලබන ති‍්‍රපුද්ගල විමර්ශන කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් සභාපතිත්වය දරනු ලබන අතර, පොලිස් කොමිසමේ සභාපතිවරයා නිලබලයෙන් පත්වෙනු ඇත. නීතිය හෝ කළමණාකර ක්ෂේත‍්‍රයේ අත්දැකීම් ඇති රජයේ පරිපාලන කටයුතු වල නිරත වන අයෙකු තුන් වැන්නා ලෙස කතානායකවරයා විසින් යෝජනා කරනු ලබන අතර, එම තැනැත්තා අගමැති හා විරුද්ධ පක්ෂ නායක විසින් ස්ථිර කිරීමෙන් පසුව මෙම ති‍්‍රපුද්ගල කමිටුව ස්ථාපිත කරනු ලබන්නේය.  

2002 අංක 05 දරණ පණතින් පොලිස්පති හෝ නීතිපතිට එරෙහිව එල්ල කළ හැකි චෝදනා පහත පරිදිය. (ඒ) අධිකරණයක් මගින් වරදකරුවෙකු වීම, (බී) මනා සෞඛ්‍ය තත්වයකින් පසු නොවීම, (සී) අල්ලස් චෝදනාවකට, කුමන්ත‍්‍රණ චෝදනාවකට වරදකරු වීම, (ඞී) දුෂණ චෝදනාවකට වරදකරුවෙකු වීම, (ඊ) බලය අයුතු ලෙස පරිහරණය, (එෆ්) රාජකාරි නොසලකා හැරීම, (ජී) තම කාර්යාලයට පක්ෂපාතී නොවීම, (එච්) පුරවැසි භාවය අහිමිවීම.

මේ අනුව පෙනී යන්නේ පොලිස්පති හෝ නීතිපතිවරයා ඉවත් කිරීම දෝශාභියෝගයක් ගෙන එන ආකාරයේ කි‍්‍රයාදාමයකට සමානකමක් දක්වන කාරණාවක් බවයි. 

මේ අතර ජනසංසදයේ ලේකම් චිත‍්‍රාල් පෙරේරා මහතා විසින් ඉහත වීඩියෝ පටයේ සඳහන්ව ඇති පහරදීම් හා බැන තර්ජනය කිරීම් සම්බන්ධව පොලිස්පතිවරයාට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පසුගිය 16 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූ බව ද අප සමග පැවසීය.

පිලිප් දිසානායක


Posted Date :

2017-08-21