අපේ වැඩේට කවදාහරි මිනිස්සු එකතු වේවි

 - April 8th, 2013 - 

ආශාව සහ ෆැන්ටසිය ඇසුරෙන් කුරුණෑගල මහජන මන්ත්‍රණ සභාව දෙස විමසුම් බැල්මක්

[සුදර්ශන ගුණවර්ධන]
සමාජය වඩා යහපත් ස්ථානයක් බවට පත් කිරීම සඳහා වූ පෙර පරම්පරාවල අරගලයේ මූලික අභිප්‍රාය වූයේ අධිරාජ්‍යවාදී වියගසෙන්ද, ධනපතියන් අතළොස්සකගේ සූරාකෑමෙන්ද මිදුණු කේතුමතී රාජධානියක් ගොඩනගා ගැනීමය. වාමාංශික ව්‍යාපාරය විසින් හදා වඩා වර්ධනය කරන ලද එම ෆැන්ටසියට ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතිවාදය මාත්‍රාවක්ද එන්නත් කරන ලදී. ඉන්පසුව එම ප්‍රතිරූප දේශය උදා කරගැනීම සඳහා වූ බාධාව වශයෙන් අපගේ කුමන්ත්‍රණකාර අනෙකා හෙවත් දෙමළ මිනිසා හඳුනාගන්නා ලදී. පසුගිය කාලය ගත වූවේ සියළු වැර යොදා ඊනියා ත්‍රස්තවාදය විනාශ කිරීමටය. දැන් අපගේ පූර්වගාමීන් විසින් ප්‍රාර්ථනා කළ ආකාරයේ අධිරාජ්‍යවාදයට සහ ධනපතියන්ට ගැති නොවන පාලක රෙජීමයක් අපට ලැබී ඇත. ‛ඔබ ප්‍රාර්ථනා කරන දේ පිළිබඳව ප්‍රවේශම් වන්න; මක්නිසාද යත් ඔබේ සිහින සැබෑ විය හැකිය’ යන ආප්තය සැබෑ වී ඇති නිසා බොහෝ දෙනෙකුට සිදු වී ඇත්තේ ඇටිකෙහෙල් අනුභව කළ උගුඩු වත පුරන්නටය. එසේත් නැත්නම් මුස්ලිම් මිනිසා කුමන්ත්‍රණකරුගේ ස්ථානයේ තබා ඔහුට විරුද්ධව මතිභ්‍රමවාදී ෆැන්ටසි ගොඩනගන්නටය.

ඩේවිඩ් ලින්ච්ගේ ‛The Straight Story’ නමැති චිත්‍රපටයේ පළමු මිනිත්තු තිහ මගින් නිරූපණය වන්නේ ඇල්වින් ස්ට්‍රේට්ගේ ආශාවයි. ඔහු වයසක මනුෂ්‍යයකු බැවින් ඔහුට කිසිවක් කර කියා ගත නොහැකිය. නමුත් අනෙක් මිනිසුන් කරන දේවල් කිරීමට ඔහුද ආශා කරයි. ප්‍රශ්නය වන්නේ ඔහු නොහැකියාවකින් පෙළීමයි. ඔහු අවට සිටින්නන්ට පවා ඔහුට උදව් කිරීමට නොහැකිය. එයට හේතුව ඔවුන්ද නොහැකියාවන්ගෙන් පෙළීමයි. චිත්‍රපටයේ ආරම්භක දර්ශනයේදී අපට ඇසෙන්නේ ඇල්වින් ස්ට්‍රේට් බිම ඇද වැටෙන ශබ්දය පමණකි. රූපය අපට දිස් නොවේ. ඊළඟ දර්ශනයේදී දුරකථන ඇමතුමක් පැමිණෙන අතර එයින් ඔහුට දැනුම් දෙන්නේ ඔහුගේ සහෝදරයා අසනීප වී සිටින බවයි. චිත්‍රපටයේ ඔය ඉසව්වට එන විට ඇල්වින් ස්ට්‍රේට් සහ ඔහුගේ පවුලේ අය මෙන්ම නරඹන අපද ඔවුන් සමඟ අනන්‍ය වන අතර අපද ඒ බැරි මිනිසුන්ගේ ගොඩට වැටී සිටිමු.

සැබෑ ලෝකයේදී කිසිවක් කර කියා ගැනීමට නොහැකිව සිටින ඇල්වින් ස්ට්‍රේට් මෙහිදී කරන්නේ කුමක්ද? ඔහු කරන්නේ ආශාවේ ලෝකයෙන් ෆැන්ටසි ලෝකයට ඇතුළු වීමයි. මේ තත්ත්වයේ සිටින තමා අසනීපයෙන් සිටින තම සහෝදරයා බලන්නට යන්නේ කෙසේදැයි ෆැන්ටසිකරණය කරයි.

අප ආශා කරන්නේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍යය. ආශා කිරීම සඳහා ‛වස්තුවක්’ අවශ්‍යය. ෆැන්ටසිය මගින් සිදුකරන්නේ කෙනෙකුට ආශා කිරීමට අවශ්‍ය වස්තුව කුමක්ද යන්න කියා දීමයි. ඔබට ලබා ගැනීමට බැරි වස්තුව ලබා ගැනීම සඳහා ඔබ ගොඩ නගන කතන්දරය හෙවත් ආඛ්‍යානය ෆැන්ටසියයි.

වයස්ගත මනුෂ්‍යයකු වන ඇල්වින් ස්ට්‍රේට්ගේ ආශාව තම සහෝදරයා බලන්නට යාමයි. එනම් මෙහිදී ඔහු ආශා කරන වස්තුව ඔහුගේ සහෝදරයාය. නමුත් සැබැවින්ම ඔහුට ඒ ගමන යාමට නොහැක්කේ ඔහුගේ වයස්ගතභාවය නිසාය. මෙහිදී ඔහු කරන්නේ ෆැන්ටසියක් ගොඩ නැංවීමයි. ඇල්වින් ස්ට්‍රේට් කරන්නේ ජෝන් ඩියර් වර්ගයේ තණකොළ කපන යන්ත්‍රයක නැගී කිලෝ මීටර තුන් හාරසීයක දුරින් පිහිටි තම සහෝදරයාගේ නිවස කරා යාමට පිටත් වීමයි. මෙසේ ෆැන්ටසිය ගොඩ නැඟු විගසම මෙතෙක් වේලා විනාඩි තිහක් පමණ ආශාවේ ලෝකය දෙස බලා හිඳ අප්‍රසන්නතාවට පත් වුණු ප්‍රේක්ෂකයා හමුවට ලස්සන ලෝකයක් ඉදිරිපත් වේ.

ෆැන්ටසි ලෝකයට ඇතුළු වූ විට ඇල්වින්ගේ අභිප්‍රාය වන්නේ තම ගමනය. ඔහුට ලෝකය සුන්දරව පෙනෙයි. තමන්ට හමු වන ‛අනෙකා’ පවා තමාට සහයෝගය දෙන කෙනෙකි. කෙනෙකු ෆැන්ටසි ලෝකයට ඇතුළු වූ විට අන් මිනිස්සුන්ද ඔහුට පෙනෙන්නේ ලස්සනටය. ඔහු යන්නේ කිසියම් අභිප්‍රායයක් මුදුන් පමුණුවා ගන්නටය. එහිදී විවිධ මිනිසුන් ඔහු පසුකොට යයි. එහෙත් ඇල්වින්ට ඔවුන් පෙනෙන්නේ තමන්ගේ වැඩේට උදව් කරන අය ලෙසටය. දැන් ෆැන්ටසිය යනු කුමනාකාර ලෝකයක්දැයි ඔබට පැහැදිලි විය යුතුය. ෆැන්ටසිය යනු තමන්ගේ බාධාව ජයගැනීම සඳහා තමන්ට වුවමනා ආකාරයට ලෝකය දර්ශනය වීමයි. මෙය ආත්ම මූලික ලෝකයකි. එවිට ෆැන්ටසිය තුළ තමාට මුණ ගැසෙන සෑම කෙනෙකුම තමන්ට උදව් කරන අයය. අන්තිමේදී ගමන නිමාවෙන අතර ඇල්ව්න් ස්ට්‍රේට් තමන් ආශා කළ වස්තුව වෙතට එනම් තම සහෝදරයා වෙතට පැමිණේ. ඔහුගේ ප්‍රාර්ථනාව වන්නේ නැවතත් දවසක රාත්‍රියක තම සහෝදරයා සමඟ එකට මිදුලේ හිඳගෙන අහසේ තරු බැලීමටය. අවසානයේ ඔහුට එම ප්‍රාර්ථනාව ඉෂ්ට කරගැනීමට හැකි වෙයි. ඒ ඔහුගේ අධිෂ්ඨානය නිසාය.

ඇල්වින් වර්ගයේ ෆැන්ටසි යනු ලෝකය ලස්සන තැනක් සේ දකින ෆැන්ටසිය. නමුත් ඇල්වින්ගේ ෆැන්ටසියෙහි ප්‍රතිවිරුද්ධ පැත්ත ෆැන්ටසිකරණය කරන මිනිසුන්ද අප අතරේ ජීවත් වනවා නොවේද? විමල් වීරවංශ හෝ චම්පික රණවක වැනි අය කතා කරන විට ඔවුන්ගේ අනෙකා පිළිබඳව ඇතිවන්නේ කුමන චිත්‍රයක්ද? ‛සැක කටයුතුයි, සී.අයි.ඒ කුමන්ත්‍රණකාරයෝ, මුන්ව අත් අඩංගුවට අරං හිරේ දාන්න ඕන’ ඔවුන් කියනු ඇත. ඒ වර්ගයේ ෆැන්ටසිවලට කියන්නේ ‛මතිභ්‍රම’ හෙවත් ‛පැරනොයා’ කියාය. ඒ ෆැන්ටසි අනුව ලෝකය පෙනෙන්නේ ඉතාම වෛරක්කාරී ලෙසටය. එය ඇල්වින්ගේ ෆැන්ටසියේ ප්‍රතිවිරුද්ධ පැත්තයි. ජාතිවාදය කියන්නේ එවැනි ෆැන්ටසියකි. ඒ අනුව ඔබට ඔබ ළඟ සිටින මිතුරා හෝ ඔබ ප්‍රිය කරන චින්තකයා විසින් ඔහුගේ අනෙකා පිළිබඳව කියන දෙය ඇසුරෙන් ඔහුගේ ෆැන්ටසිය සුන්දර ආදරය කරන ෆැන්ටසියක්ද, නැත්නම් මිනිසුන් මිනීමැරීමට පොළඹවන ෆැන්ටසියක්ද යන්න නිශ්චය කරගත හැකිය.

දේශපාලනය යනුද ෆැන්ටසියකි. එහිදී අපට තෝරාගැනීමට ෆැන්ටසි වර්ග දෙකක් ඇත. තමන්ගේ අනෙකා එනම් තමන්ට ගමනේදී හමු වුණු අනෙක් මිනිසුන් ගැන ඇල්වින් කියන්නේ ඒ සියළුදෙනාම තමන්ට උදව් කළ සුන්දර මිනිසුන් බවයි. අපට අවශ්‍ය වන්නේ එවැනි ෆැන්ටසියකි. නමුත් ඔබ ජාතිවාදියෙකු මුණගැසුණහොත් ඔහු කියනු ඇත්තේ ‛දෙමළ ඩයස්පෝරාවේ – එනම් අපගේ අනෙකාගේ – කුමන්ත්‍රණයක් නිසා අපේ රට විනාශ වීමට ආසන්න බවයි’. තමාගේ අනෙකා නිරතුරුව තමා විනාශ කරනු ඇතැයි සිතීම ඔහුගේ ෆැන්ටසියයි. අප උත්සාහ කළ යුත්තේ ඇල්වින් ස්ට්‍රේට් මෙන් සිහින දැකීමටය.

මීළඟ සටහන ඇල්වින් ස්ට්‍රේට් මෙන් සුන්දර සිහිනයක් උදෙසා සටන් කරන සාමාන්‍ය මිනිසුන් පිරිසකගේ උත්සාහයක් පිළිබඳවය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ‛නිදහසේ වේදිකාව’ ප්‍රාදේශීය නායකයන් සහ ක්‍රියාකාරීන්ගේ වැරවෑයමෙන් ගොඩනැඟුණු මෙම උත්සාහය නම් කරන ලද්දේ ‛මහජන මන්ත්‍රණ සභාව’ නමිනි.

2013 මාර්තු 09 වන සෙනසුරාදා එම කටයුත්ත ඉෂ්ට සිද්ධ වූයේ කුරුණෑගල තරුණ බෞද්ධ සමිති ශාලාවේදීය. වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ශමල් සෙනරත් සහ ‛නිදහසේ වේදිකාවේ’ විධායක කමිටු සභික ඥානවීර දිසානායක විසින් මුලසුන හොබවනු ලැබූ මෙම මන්ත්‍රණ සභාවට ‛විපක්ෂයේ විරෝධය’ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්ද ‛නිදහසේ වේදිකාවේ’ සම කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දුද ඇතුළුව සිවිල් සමාජ ක්‍රියාධරයින්, ගොවි සංගම් නියෝජිතයින්, අදාළ ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් සහ දේශපාලඥයන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ. ආණ්ඩුව විසින් පත් කළ එල්.එල්.ආර්.සී කොමිසමේ නිර්දේශ පිළිබඳව මෙන්ම වයඹ පළාතේ අධ්‍යාපන හා පරිපාලන ගැටළු, ඉඩම් හා කෘෂි කර්මාන්තය ආශ්‍රිත ගැටළු පිළිබඳ මෙම මහජන මන්ත්‍රණ සභාවේ සාකච්ඡා විය.

‛‛පසුගිය නොවැම්බර් 22දා පළමුවන වතාවට කොළඹදී මේ මහජන මන්ත්‍රණ සභාව රැස්වුණා. එහි දෙවනි වටයයි අද කුරුණෑගලදී රැස්වෙන්නේ. සාමාන්‍යයෙන් මේ කාලයේදී අපිට අහන්න ලැබෙන දෙයක් තමයි ජනතාව නිහඬයි කියලා. ජනතාව තමන්ගේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න ගැන සංවේදී නැහැයි කියලා. ඒ නිහඬ බව යම් තරමකට හෝ තුනී කරලා ජනතාවට තම තමන්ගේ ප්‍රශ්න කතා කරන්න පුලුවන් වේදිකාවක් හදලා දෙන්නත්, එහෙම කතා කරන මිනිසුන් සිටින බව සමාජයට පෙන්වන්නට අවස්ථාවක් හදන්නත් තමයි මෙම මහජන මන්ත්‍රණ සභාව හරහා අපි උත්සාහ කරන්නේ. ජනතා ප්‍රශ්න යටගහලා, වෙනත් බහුභූත ප්‍රශ්න එළියට දාලා, මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට යවලා, ජනතාව නොමග යවමින් ඒ ප්‍රශ්න විසඳන්න ඉන්න අය නිහඬව නිදහසේ ඉන්නවා නම් ඒක නතර කරලා, ඔවුන්ට විසඳන්න මේ රටේ ප්‍රශ්න තියෙනවා කියන එක ජනතාව හරහාම පැහැදිලි කරන්න සහ ඉදිරිපත් කරන්න අවස්ථාවක් අපි මේ හරහා සැලසුම් කරලා තියෙනවා.”

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු සහ නිදහසේ වේදිකාවේ විධායක සභිකයෙකු වන ඥානවීර දිසානායක මහතා සභාව මෙහෙයවීමේ කටයුතු ආරම්භ කරමින් පැවසීය.

අලි – මිනිස් ගැටුම නිසා ගොවිතැන එපා වූ ධර්මදාස මහතා:

ටී. ධර්මදාස මහතා කාලාන්තරයක් පුරා තිබෙන අලි මිනිස් ගැටුමෙන් විඩාවටත් කලකිරීමටත් පත් කරුවලගස්වැව ගොවි මහතෙකි. ඔහු සිය ගැටලුව ඉදිරිපත් කරමින් කළ කතාව මන්ත්‍රණ සභාවේ සිටි බොහෝ පිරිසකගේ හදවත්ද කම්පාවට පත් කරන්නට සමත් විය.

‛‛මම අලි එක්කම ඝට්ටනවලට මැදිවෙලා, අලි එළවන්න හැමදාම දාන වෙඩි නිසා මේ කන්දෙක පවා දැන් ඇහෙන්නෙ නෑ. අපිට එක තත්ත්පරයකට ඇහැ පියවගන්න බැහැ අලි ඇවිත් වගාවම කාලා යනවා. මගේ වගා අක්කර 5ක්ම මම අත්හැරලා දැම්මා. තනි මට කරගන්න බැහැ. ඇත්තටම මට දැන් ගොවිතැන එපාම වෙලා තියෙන්නෙ. ඉතිං රට ස්වයංපෝෂිත වෙනවා කියන්නෙ කොහොමද කියලයි මං මේ කල්පනා කරන්නෙ. මේ රටේ ජනතාව කන්නෙ බොන්නෙ අපි රෑ දවල් දුක් විදලා හදන ගොවිතැන් වගාවන්. අපි ඒක කරන්නෙ අපේ රට ගැනත් හිතලයි. ඒත් කාටවත් පේනවද ඒ ආහාර ටික ජනතාවට ලබාදෙන්න අපි මොන තරම් දුක් කන්දරාවක් විදිනවද කියලා. දවල් තිස්සෙ ගොවිතැන් කරලා උදැල්ල අල්ලගෙන හැන්දෑ වෙනකන් වැඩ කරලා, මුලු රෑ තිස්සෙම නිදිමරන්න පුළුවන් කාටද? මං වගේ වයසක මිනිහෙකුට තියා තරුණයෙකුටවත් එහෙම දුක් කන්දරාවක් උහුලන්නයි ගොවිතැන් කරන්නයි දෙකම කරන්න පුලුවන්ද? මාස ගාණක් පුරා දුක් විඳලා හදාගත්ත මෙදා පාර මගේ මුලු වගාවම සම්පූර්ණයෙන්ම විනාශයි. මං ආයෙ ගොවිතැන් කරන්නෙ නැහැ. කවදහරි මේ අලි ප්‍රශ්නෙට සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණොත් හොඳ ගොවිතැනක් කරනවා.
ධර්මදාස මහතාද ඇල්වින් ස්ට්‍රේට් මෙන්ම සුන්දර ෆැන්ටසියක එල්බගෙන සිටී. මහජන ක්‍රියාකාරීත්වය හරහා රටේ ප්‍රතිපත්ති සම්පාදනයට බලපෑම් එල්ල කරන්නට ඔහු පෙරට ඇවිත් සිටී.

දවල්ට වනජීවී එකෙන් කරදර, රෑට වන අලින්ගෙන් හිරිහැර:

මෙහිදී මීළඟ ඉදිරිපත් කිරීම සඳහා වේදිකාව විවෘත වූයේ ඉරුදෙනියාය ඒකාබද්ධ ගොවි සංවිධාන සභාපති පී.ඒ. අබේසේකර මහතාටය.

‛‛1970 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රාජ්‍ය සමයේ තමයි ඉරුදෙනියාය ගොවි ජනපදයක් බවට පත්වුනේ. ඒ වෙලාවේ ඉරුදෙනියාය ව්‍යාපෘතිය තිබුනේ කැලෑ දෙපාර්තමේන්තුව සතුවයි. ඊට පස්සෙ 1989දී මේ කලාපය වනජීවි කලාපයක් බවට පත්කරගෙන තියෙනවා. අපි දන්නෙ නැහැ. අපි දිගටම ගොවිතැන් කටයුතු කරගෙන යනකොට ප්‍රේමචන්ද්‍ර ඇමතිතුමා මැදිහත් වීමෙන් ඩී.බී.විජේතුංග ජනාධිපතිතුමා ඉරුදෙනියාය ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දුන්නා. ඒත් එක්කම වයඹ පළාත් සභාව විශාල මුදල් තොගයක් වියදම් කරලා පාසල් 3ක්, ගොවි සෙවන මධ්‍යස්ථානක්, සමූපකාර, ග්‍රාමීය බැංකු, සායන මධ්‍යස්ථාන, ජනපද නිවාස, හැම ඉඩමකටම යන්න පාරවල් සකස් කරලා, ඉඩම් මැනලා කට්ටි කරලා දෙන්න හදනකොට වනජීවී දෙපාර්තමේන්තුව ඇවිත් බෝඩ් ගහන්න පටන්ගත්තා. එතකොටයි අපි දැනගත්තෙ මේක වනජීවි කලාපයක්ය කියලා. ඒ වෙනකන් අපි දැනගෙන හිටියේ නැහැ. මේ නිසා වයඹ පළාත් සභාව මේ සම්බන්ධයෙන් කරගෙන ගිය කටයුතු නැවතුනා. මේකට මුදල් දුන්නෙත් නැහැ. මේ ඉඩම් ටික අපට බාර දුන්නෙත් නැහැ. අපි පත්වෙන හැම ඇමතිවරයා එක්කම සාකච්ඡා කළා, නමුත් වැඩක් වුනේ නැහැ. වනජීවි දෙපාර්තමේන්තුව තාඩන පීඩන නීති වැඩි කරනවා. අපට වනජීවි එකෙන් ලීයක් කපාගන්න, ගෙයක් හදාගන්න, පොල් ගහක් හදන්න දෙන්නෙ නැහැ නඩු පවරනවා. අපේ ගොවි මහත්තුරු 5 දෙනෙකුට නඩු පවරල තියෙනවා. අපිට මේවයේ දැන් ජීවත්වීමට පුළුවන්කමක් නැහැ. මේ අපට දෙන්න තීරණය වෙච්ච ඉඩම්. නමුත් අපිට මේවයේ කිසිම අයිතියක් නැහැ. දිගින් දිගටම අපි දවල්ට වනජීවි එකෙන් හිරිහැර කරනවා, රෑට වල් අලි කරදර කරනවා.’’

මහජන මන්ත්‍රණ සභා වේදිකාවට ගොඩවූ දෙමළ පාසල් ගුරුවරයෙකු වන මනිමාරන් මහතා වයඹ පළාතේ දෙමළ පාසල්වල සිසුන්ට මුහුණ පාන්නට සිදුවන ගැටළු පිළිබඳව අදහස් දැක්වීය. ආණ්ඩුවේ එල්.එල්.ආර්.සී කොමිසමේ නිර්දේශවලින් සීයට අනූ නවයක්ම ක්‍රියාත්මක කර ඇතැයි ආණ්ඩුව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කරන විට මනිමාරන්ගේ හෙළිදරව්ව ඇස් අරවන්නක් විය යුතුය.

‛‛ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට අවසර දී තිබෙනවා. එපමණක් නෙවෙයි ජනාධිපතිතුමන් විසින් පත්කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නමවන පරිච්ඡේදයේ නිර්දේශයක් ඉදිරිපත් කරමින් කියා සිටිනවා, ‛ජාතික ගීය එකම තනුවකින් භාෂා දෙකෙන්ම ගැයීම නොකඩවා කිරීමට දිරිගැන්විය යුතුයි. ඒ තුළින් ජාතීන් අතර හොඳ සමීප සම්බන්ධතාවක් නැත්තම් අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කරන්නට පුළුවන්’ කියලා. එහි එසේ සඳහන් වුවත් වයඹ පළාතේ මහඇමතිතුමා ඊට විරුද්ධව ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතුයි කියල චක්‍රලේඛණයක් පාසල්වලට නිකුත් කරල තියෙනවා. ඔහු එවැනි මතයක සිටීම අප නම් විශ්වාස කරන්නේ අපේ භාෂාවට අගෞරවයක් කරනවා කියන එකයි. වෙනස්කොට සැලකීම, සුළු ජාතීන් හැටියට සැලකීම උතුරු නැගෙනහිර පමණක් නෙවෙයි කුරුණෑගල දිස්ත්‍රික්කයේත් විශාල වශයෙන් සිදුවන බවට මෙම මන්ත්‍රණ සභාවට මම ඉදිරිපත් කරනවා.

වෙනදා දේශපාලනඥයන්ගේ අදහස් දැක්වීම් වලට ජනතාව සවන් දුන්නද මහජන මන්ත්‍රණ සභාවේදී මහජන නියෝජිතයන් අදහස් දක්වද්දී දේශපාලනඥයෝ ඒවාට සවන් දුන්නහ. මහජන අදහස් දැක්වීම් අවසන කථා කළ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වයඹ පළාත් සභාවේ හිටපු මහඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙසේ පැවසීය.

තමන්ගේ විශ්වාසය ප්‍රකාශ කිරීමත් එක්තරා බලයක්:

‛‛වෙනදාට සිදුවෙන්නේ ජනතාව විසින් පත් කරල යවන දේශපාලනඥයෝ කියන කතා ටික ජනතාවට අහන් ඉන්නයි. අද අපිට මේ පැමිණ සිටින ජනතාවට සවන් දෙන්න සිදු වුණා. මෙතනදි දේශපාලකයො නොදන්න කරුණු ගොඩක් කියවුණා. අපේ ප්‍රතිපත්තිය වෙන්න ඕනෙ නෑ බෑ කියන එක නෙමෙයි, අපිට බලය නෑ කියලා ඉන්න එකත් නෙමෙයි. බලය කියන්නෙ තමන්ට පුළුවන් ටික කරන එකයි. තමන් විශ්වාස කරන දේ කටින් හරි කියන එකත් බලයක්. ඒක තමයි මේ ඉන්න පිරිස ආරම්භ කරල කරගෙන යන්නෙ.

මේ ආණ්ඩුව හැම වෙලාවෙම ජනතාවට බොරු කරනවා. හලාල් කියලා ප්‍රශ්නයක් ඇති කරලා මහින්ද රාජපක්ෂ උන්නැහේ ප්‍රශ්නවලින් බේරෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් වාදභේද ඇති කරන්න හදනවා. විදේශ කුමන්ත්‍රණ කියනවා. මතක තියාගන්න දැන් අපේ රටේ නිෂ්පාදන වන තේ, පොල් රබර්, ඇඟලුම්, කුළුබඩු, සපත්තු මේ හැම දෙයක්ම එකතු කරල 70%ක්ම යවන්නෙ යුරෝපෙටයි ඇමරිකාවටයි. චීනෙටයි, ඉන්දියාවටයි යවන්නෙ 7%ක් 8%ක් විතර ප්‍රමාණයක්. චීන්නු උන්ගේ ඒවා අපිට එවලා උන් අපිව සූරා කනවා. මේකයි ජනතාව ගොනාට අන්දලා වහලා තියෙන තිත්ත ඇත්ත. මම පැහැදිලිවම කියනවා කිසිම ආණ්ඩුවකට අවුරුදු 5ට වඩා බලයේ ඉන්න දෙන්න ඕන නැහැ. රටට ආදරෙන් රට සංවර්ධනය කරනවා නම් අවුරුදු 5ක් හොඳටම ඇති.”

මීළඟ ‛මහජන මන්ත්‍රණ සභාව’ මාර්තු මස 31 වන ඉරු දින මහනුවරදී පැවැත්වීමට ‛නිදහසේ වේදිකාවේ’ මහනුවර දිස්ත්‍රික් කමිටුව කටයුතු සූදානම් කරමින් සිටී. ඔබත් මන්ත්‍රණ සභාව හා එක් වී ප්‍රදේශයේ ප්‍රශ්න සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ නම් 0777-275171 ඔස්සේ ෆ්‍රෙඩී ගමගේ අමතන්න.

වැඩිපුර ඡායාරූප බැලීමට….

අපේ වැඩේට කවදාහරි මිනිස්සු එකතු වේවි

 

Advertisement

Videos

Featured Video Play Icon

කඩාවැටෙන සමාජයේ කලාකරුවාගේ භූමිකාව

Featured Video Play Icon

දේශපාලකයින් පුම්බන වන්දිභට්ට කලාකරුවෝ | Dilip Rohana

Facebook Page