ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුණනාදන් සමග සංවාදයක්

 - July 7th, 2020 - 

එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය හේතුවෙන් පොලිස් ප්‍රචණ්ඩත්වය, වධහිංසනය, කෘරත්වය සහ එම වැරදි කරන්නන්ට හිමි වන දණ්ඩමුක්තිය පිළිබඳ අලුත් කතාබහක් ඇති වුණා. ඒ හා සමාන්තරව ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ද පොලිස් කෘරත්වය හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීම් දෙකක් කෙරෙහි විශේෂ අවධානය යොමු වුණා. ඒ අතරින් ඔටිසම් ළමයකු වූ 14 හැවිරිදි තාරික් අහමඩ් සම්බන්ධ පොලිස් පහර දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වුණා. තාරික් අහමඩ්ට පහර දෙන හා අඩන්තේට්ටම් කරන ආකාරය සීසීටීවී කැමරාවල ද වාර්තාගත වී තිබුණා. එහෙත්, මහර බන්ධනාගාරයේදී මිය ගිය කවිදගේ සිද්ධිය සම්බන්ධයෙන් එතරම් අවධානයක් යොමු වූයේ නැහැ. බන්ධනාගාරයේදී සිදු වූ ඔහුගේ මරණය සැක සහිත බව හා මළ සිරුරෙහි දරුණු පහර දීමක හා වධ හිංසා පැමිණවීමේ පැහැදිලි සලකුණු ඇති බවට කවිදගේ මව්පියන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළා.

ශ්‍රී ලංකා පොලිසිය සමග කාලාන්තරයක් තිස්සේ ක්‍රමානුගතව බද්ධ වී ඇති බව පෙනෙන වධහිංසනය, කෘරත්වය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ අපි මානව හිමිකම් ක්‍රියාකාරිනී හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුණනාදන් සමග සාකච්ඡා කළෙමු. ඇය ඕපන් සොසයිටි පදනමේ අධිශිෂ්‍යාවක වන අතර 2015 ඔක්තෝබර් සිට 2020 මාර්තු දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස්වරියක වූවා ය.

මැදිහත්කරු: එක්සත් ජනපදයේ පොලිස් ප්‍රචණ්ඩත්වය කෙරෙහි පසුගිය සිදුවීම් සමග අවධානය යොමු වුණා. ඒ හා සමාන්තරව ශ්‍රී ලංකාවේ ද එවැනි සිදුවීම් වාර්තා වුණා. දිගු කාලයක් තිස්සේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකාරී වූ අයෙකු ලෙස ශ්‍රී ලංකාවේ නැවත නැවතත් එවැනි සිදුවීම් අසන්නට ලැබෙන තත්වය පිළිබඳ ඔබට ඇති වන්නේ කොහොම හැඟීමක් ද?

අම්බිකා සත්කුණනාදන්: එක්සත් ජනපදයේ සිදු වූ සිදුවීම වැනි සිද්ධියක් ශ්‍රී ලංකාවේ සිදු වූ විට අපේ මහජනතාව ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියා මා සිතුවා. අපට දකින්නට ලැබෙන්නේ ක්‍රමයේ හා ව්‍යූහයේ තිබෙන අසමානතායි. වධහිංසනය පිළිබඳ ප්‍රශ්නය විසඳීම සඳහා කොයි තරම් ආයෝජන කළත්, කොයි තරම් නිලධාරීන් පුහුණු කළත්, ඔබ මෙම ඓතිහාසික, සමාජ හා ව්‍යූහාත්මක ගැටලුවලට විසඳුම් ලබා නොදුන්නොත් එම ක්‍රියාමාර්ගවලින් පලක් නැහැ. පොලිසිය අධික ලෙස බලය භාවිතා කිරීම සමග පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ මරණ වාර්තා වෙනවා. පොලිස් ප්‍රචණ්ඩත්වය කියන්නේ එක් කාරණයක් පමණයි. කොවිඩ්-19 නිසා සිදු වූ දෙය වන්නේ යටිතලයේ තිබෙන මූලික හේතු පෙනෙන්නට ගත්තා. සිරගෙවල්වල තත්වයන්, සමාජ ආර්ථික ප්‍රශ්න, අවිධිමත් අංශයේ සේවකයන් මුහුණ දෙන ගැටලු ආදී බොහෝ කරුණු වෙත අවධානය යොමු වුණා.

මැදිහත්කරු: මේ එක එකක් ගැටලු ගැන වෙන වෙනම කතා කරන්නට පුළුවන්. ඒත්, මෙහිදී මා අවධානය යොමු කරන්නේ පොලිස් ප්‍රචණ්ඩත්වය, කෘරත්වය සහ වධහිංසනය දෙසයි. පසුගිය සතියේ ඔබ මේ ගැන ට්විටර් පණිවුඩ ගණනාවක් ඔස්සේ අදහස් පළ කළා. එක්සත් ජාතීන්ගේ වධහිංසනයට එරෙහි කමිටුවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2016 ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කරන ලද වාර්තාව ගැන ඔබ ඔබ නිතර සඳහන් කරනවා. මෙම සම්මුඛ සාකච්ඡාවට සූදානම් වෙද්දී මා එම පිටු 17ක් වන වාර්තාව අධ්‍යයනය කරමින් එයින් වර්ඩ් ක්ලවුඩ් එකක් නිර්මාණය කළා. එහි වැඩියෙන් ම යෙදී තිබුණු වචන තමයි වධහිංසනය, පොලිස්, රඳවාගැනීම, පුද්ගලයන්, මානව, පැමිණිලි සහ අයිතිවාසිකම්. වධහිංසනය මෙසේ ප්‍රමුඛ වෙන්නට තරම් එය ශ්‍රී ලංකා පොලිසිය සමග සම්බන්ධ වන්නේ කොහොමද?

අම්බිකා සත්කුණනාදන්: මේ වාර්තාව බොහෝ විවේචනවලට ලක් වුණා. ඒත්, එහි සඳහන් වන සියලු සිදුවීම් කොමිෂම විසින් විමර්ශනය කරන ලද ඒවා බව සඳහන් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් නිකුත් කරන ලද වාර්තා තිබෙනවා. ඔවුන් විසින් වධහිංසනය පිළිබඳ සාක්ෂි සොයාගෙන තිබෙනවා. ඒවා හුදු අනුමාන නෙමෙයි. මෙම තත්වයට හේතු ගණනාවක් තිබෙනවා. එක් හේතුවක් වන්නේ, අත්අඩංගුවට ගැනීමේදී හෝ රඳවා තබාගෙන සිටිද්දී වධහිංසනය, ප්‍රචණ්ඩත්වය සිදු කරන නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. එහෙම නැතිනම්, ගන්නේ විනය ක්‍රියාමාර්ග විතරයි. ඔබ දන්නවා ශ්‍රී ලංකාව 1994දී වධහිංසනයට එරෙහි සම්මුති පනත බලාත්මක කළා. ඒ අනුව වධහිංසනය සාපරාධී වරදක්. අවම අවුරුදු හතක සිර දඬුවමකට වරදකරුවා ලක්වෙනවා. ඉහත සඳහන් කරන ලද වාර්තාවේ ද සඳහන් කර ඇති විදියට, මෙම නීතිය යටතේ නිලධාරීන් කීදෙනෙකුට දඬුවම් පමුණුවා තිබේ ද කියා අප දන්නේ නැහැ. මානව හිමිකම් කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් මෙම සංඛ්‍යා දත්ත ඉල්ලා සිටියා. ඒත්, මා කොමිෂන් සභාවෙන් ඉවත් වන දවස වනතුරු ම, මා දන්නා තරමින්, අපට එම තොරතුරු ලැබුණේ නැහැ. මා හිතන විදියට, ඒක තමයි මූලික හේතුව.

දෙවන හේතුව තමයි මෙම ආයතනවල ස්වභාවය. උදාහරණයක් ලෙස, පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙන්නේ බලය හෝ බලහත්කාරය මත පදනම්වයි. සෙසු ජනයාට ගරු කිරීම කියන පදනම එම ආයතනයට නැහැ. පොලිසිය දැඩි විධියට ධූරාවලිගතව ක්‍රියාත්මක වන, පුරුෂ මූලික ආයතනයක්.

ප්‍රචණ්ඩත්වය, බලහත්කාරය, සේවාදායකයන් කෙරෙහි ගරුත්වයක් නැතිකම වැනි ලක්ෂණ ඇති වන්නේ ඒ නිසායි. එය බලය සම්බන්ධ කාරණයක්. බලවත් අය බලයෙන් අඩු අයට එරෙහිව බලය පාවිච්චි කරන්නේ කෙසේද කියන කාරණයයි එහි තිබෙන්නේ. අසමානතාව කියන සංකල්පය එහිදී අදාළ වෙනවා. මේ ගැන වාර්තාවේත් සඳහන් වෙනවා. මා මානව හිමිකම් කොමිෂන් සභාවේ සිටි අවුරුදු පහක කාලය තුළ අප වෙත පැමිණ පොලිසිය විසින් කරන අසාධාරණකම් පිළිබඳ පැමිණිලි කළ වැඩිදෙනෙකු කිසියම් සමාජ ආර්ථික පසුබිමකට අයිති අයයි. ඔවුන් ධනවත්, බලවත් අය නෙමෙයි. ධනවත්, බලවත් අයට යම් මට්ටමක ගරුත්වයක් පොලිසිය වෙතින් ලැබෙනවා. එමගින් පෙන්නුම් කරන්නේ සමාජයේ හා පොලිස් ව්‍යූහයේ පවතින අසමානතාවේ ස්වභාවයයි.

මා හිතන්නේ ප්‍රචණ්ඩත්වයට හේතු වෙන ප්‍රධාන වැදගත් හේතු දෙක මේවායි. එසේම, විමර්ශන කිරීමේ නවත තාක්ෂණික ක්‍රම ගැන නිලධාරීන්ට පුහුණුවක් නැහැ. උදාහරණයක් ලෙස, සෑම පොලිස් ස්ථානයක ම ප්‍රශ්න කිරීම් කරන කාමරයේ සිදුවන සියල්ල පටිගත වන කැමරා නැහැ. ඒ නිසා, තරමක් බලය පාවිච්චි කිරීමෙන් තොරතුරු ලබාගත හැකි යයි නිලධාරීන් විශ්වාස කරනවා. මේ බව මා විසින් හමුවන ලද පොලිස් නිලධාරීන් ම මට කියා තිබෙනවා. එයින් පෙනෙන්නේ එය වැරදි ක්‍රියාවක් බව ඔවුන් දන්නේ හෝ පිළිගන්නේ නැති බවයි. එහෙම සිතනවා නම් ඔවුන් මානව හිමිකම් කොමසාරිස්වරයෙකුටම එහෙම කියාවි ද? ඔවුන් සිතන්නේ එය සාමාන්‍ය දෙයක් කියායි. මේ දවස්වල පොලිස් ප්‍රචණ්ඩත්වය ගැන කුපිත වී සිටින අය පවා තමන්ගේ ගෙදර සොරකමක් වූ විට පොලිසිය සැකකරුවාට හිංසා කර සොරාගත් භාණ්ඩ ගැන තොරතුරු ලබාගැනීම පිළිබඳ කැමැත්තක් දක්වනවා. මේ ප්‍රශ්න අප අපෙන් ම අසාගත යුතුයි.   

මැදිහත්කරු: වධහිංසනයට එරෙහි සම්මුති වාර්තාවේ අංක 4.13 යටතේ දැක්වෙන ආකාරයට පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට හේතු වන වරද කුමක් වුවත්, රට පුරා හැම තැන ම වධහිංසනය සුලබව භාවිතා වෙනවා. 2010 වසරේ සිට 2016 ජුනි 31දා දක්වා කාලයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි පිළිබඳ වගුවක් වාර්තාවේ දැක්වෙනවා. එහි 2013 වසරට අදාළව මාසයකට සාමාන්‍යයෙන් පැමිණිලි 50ක් පමණ ලැබෙනවා. ඒ අනුව එම වසරේ පැමිණිලි 600ක් ලැබෙනවා. ඒ අවුරුද්ද තමයි එම කාල සීමාව තුළ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබුණු වසර. 2015දී මසක සාමාන්‍ය පැමිණිලි සංඛ්‍යාව 35 පමණ දක්වා අඩුව එම අවුරුද්දේ ලැබෙන්නේ පැමිණිලි 420ක් පමණයි. 2016 පළමු මාස හය තුළ මසකට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව 26 පමණ දක්වා අඩු වෙනවා. මෙවැනි වාර්තාගත කිරීමක් ඉන් පසු අවුරුදු හතර සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබේ ද කියා මා දන්නේ නැහැ. පසුගිය අවුරුදු හතරේ තිබුණු ප්‍රවණතාව මොන වගේ ද? 2015 සිට 2019 නොවැම්බර් දක්වා වෙනත් ආණ්ඩුවක්, වෙනස් නායකත්වයක් බලයේ තිබුණ බවත් අප සැලකිල්ලට ගත යුතුයි. 2016න් පසු කාලයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ පැහැදිලි අඩු වීමක් සිදු වුණා ද?

අම්බිකා සත්කුණනාදන්: සුළු වෙනසක් නිරීක්ෂණය කළා. ඔබ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය බැලුවොත් දකින්නට ලැබේවි 2018දී පැමිණිලි 386ක් ලැබුණා. 2019 වසරේ සංඛ්‍යා දත්ත තවමත් ගණනය කර නැහැ. එය 2018 වසරේ ගණනට වඩා සුළු වශයෙන් වැඩි විය හැකි යයි මා සිතනවා. ඒ නිසා ඒ කාලයේත් මසකට පැමිණිලි 30 – 50 ලෙස අවුරුද්දකට පැමිණිලි 350 – 400 ලැබී තිබෙනවා.

මැදිහත්කරු: මේ අනුව බලන විට, දණ්ඩමුක්තියේ සංස්කෘතිය හා බලයේ සිටින ආණ්ඩුව අතර සම්බන්ධයක් නැහැ නේද?

අම්බිකා සත්කුණනාදන්: පැහැදිලිව ම, දණ්ඩමුක්තියට බලයේ සිටින ආණ්ඩුව අදාළ නැහැ. විවිධ දේශපාලන පක්ෂවල ආණ්ඩු බලයේ සිටින ආකාරය අප ඉතිහාසය තුළ දැක තිබෙනවා. ඒත්, මෙම තත්වය වෙනස් වී නැහැ. දේශපාලන නායකත්වයට නීති බලාත්මක කරන්නට පුළුවන්. ඒත්, ඒවා ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණය වැදගත් වෙනවා. එසේම, ඇතැම් ආයතන ක්‍රියාත්මක වන ආකාරයත් වැදගත්. ආයතනයක සංස්කෘතිය වෙනස් කරන එක පහසු නැති බව පසුගිය අවුරුදු පහේ අත්දැකීම්වලින් මා තේරුම් ගත්තා. ඒ සඳහා මුදල්වලටත් වඩා ලොකු ධෛර්යයක් අවශ්‍යයි. කිසිම ආණ්ඩුවක් ඒ වෙනුවෙන් ඇපකැප වී ආයෝජන කළා යයි මා සිතන්නේ නැහැ.

මැදිහත්කරු: වෙනස සිදුකිරීම සඳහා කොපමණ කාලයක් අවශ්‍ය ද? අද උදේ මා හියුමන් රයිට්ස් වොච් ආයතනයේ 2016 වසරේ වාර්තාව කියෙව්වා. එය කියවන්නට පිළිකුල් සහගතයි. 1994 වසරේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යටතේ අතුරුදහන් වීම් පිළිබඳ කොමිෂන් සභාවක් තිබුණු බවත්, පොලිස් කෘරත්වය, ප්‍රචණ්ඩත්වය සහ නිරන්තරව සිදු වන වධහිංසනය පිළිබඳවත් එහි සඳහන් වෙනවා. මා සිතන පරිදි, 2016 වාර්තාවේ ද වෙනසක් නැතිව සඳහන් වන්නේ එම කාරණා ම තමයි. අප මේ කතා කරමින් සිටින්නේ දශක ගණනාවක් පුරා පවතින සංස්කෘතියක් පිළිබඳවයි. මානව හිමිකම් කොමිෂන් සභාවේ වසර පහක අත්දැකීම් අනුව, මෙම තත්වය වෙනස් කරන්නට කොපමණ කාලයක් අවශ්‍ය වේවි ද?

අම්බිකා සත්කුණනාදන්: ඔය ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ගියොත් අප දෙන්නාට ම මානසික අවපීඩනය ඇතිවෙන්නට පුළුවන්. ඒ නිසා ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ඕනෑ ම යයි ඔබ සිතනවා ද?

මැදිහත්කරු: මා ඒ ප්‍රශ්නය අහන්නේ අසන්නන් එය ගැන උනන්දු නිසායි. අපට ඒ ගැන බලාපොරොත්තු තබාගත හැකි තත්වයක් තිබෙනවා නම්, ඒ කොපමණ කාලයකින් ද කියන එකයි මගේ ප්‍රශ්නය.

අම්බිකා සත්කුණනාදන්: කලකිරීම ඇතිකරන තත්වයන් තිබුණත්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වන අපට බලාපොරොත්තු සුන් කරගන්නට බැහැ. අප මුලින් ම මෙය තිබෙන බව පිළිනොගන්නා, එය පුද්ගලබද්ධ ප්‍රශ්නයක් ලෙස සලකන සංස්කෘතිය බිඳ දැමිය යුතුයි. මේ බොහෝ ප්‍රශ්න ඇති වන්නේ මේවා හෙළිදරව් වීමෙන් අප ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්වෙනවා ය යන සිතීම නිසායි. මේවා අපේ සමාජයේ තිබෙද්දී, එවැන්නක් ගැන නොදන්නා ලෙස හැසිරෙනවා ද, නැතිනම් එම ප්‍රශ්නය තිබෙන බව පිළිගෙන එයින් සමාජය මුදාගන්නට කටයුතු කරනවා ද යන කාරණය සම්බන්ධයෙන් අප තීරණය කළ යුතුයි. මෙම ප්‍රශ්නය ඇති බව පිළි නොගන්නා සංස්කෘතිය තිබෙන්නේ දේශපාලන තලයේ විතරක් නෙමෙයි. එය හැම තලයක ම තිබෙනවා. එවැනි දේ සිදු නොවන බවට තර්ක කරන මිතුරන් ඔබටත් හමුවෙලා ඇති. මෙය තමන්ට සිදු වූ විට පමණයි බොහෝ දෙනා එය තේරුම් ගන්නේ. මා කලක් එක්තරා අමාත්‍යාංශයක ජ්‍යේෂ්ඨ නිලධාරිවරයක ලෙස සේවය කළා. ඒ කාලයේ වරක් මා එක්තරා රැස්වීමකදී පොලිසිය ගැන ඇති වූ විවාදයකට පැටලුණා.  ඊළඟ රැස්වීමේදී මා සමග වාද කළ නිලධාරිවරයා සම්පූර්ණයෙන් ම වෙනස් වී තිබුණා. ඔහු පෞද්ගලික කාරණයකට පොලිසියට ගිය විට ඔහුට සැලකූ ආකාරය ඉතා නරක බව ඔහු ප්‍රසිද්ධියේ කීවා. ඔහුට එසේ වී නම්, සමාජයේ බලවත් තනතුරක් නොදරන අයෙකුට කෙසේ විය හැකිදැයි ඔහු ඇසුවා. විශේෂයෙන් ම රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් මේ පිළිබඳ දැනුවත්භාවය ඇති කළ හැකි ආකාරය මෙයයි. මා ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් සමග සාකච්ඡා කරන විට මෙම තර්කය භාවිතා කරනවා. ඔබට එය සිදු වුණොත් කොහොමද කියා මා අසනවා. වරක් එක් පුද්ගලයකු සිනා සී කීවේ ඔවුන් එවැනි ක්‍රියාවල නොයෙදෙන නිසා ඔවුන්ට එසේ සිදු නොවන බවයි. එහෙත්, ඇතැම් විට, ඔබ බොරු චෝදනාවකට ලක්වන්නට පුළුවන්. එහිදී ඔබට නීතියේ ආරක්ෂාව අවශ්‍යයි. නීතිය විසින් ආරක්ෂා කළ යුත්තේ හොඳ මිනිසුන් විතරක් නෙමෙයි. පසුගිය දිනවල පාතාල ලෝකයේ පුද්ගලයන් යයි කියන දෙදෙනෙකුට වෙඩි තබා මරා දමනු ලැබුවා. එවැනි අයගෙන් පීඩාවට පත් වූ අය තමන් ඒ මරණ ගැන සතුටු වන බව පවා ප්‍රසිද්ධියේ කියන්නට පැකිළෙන්නේ නැහැ. ඒත්, ඔවුන් නරක පුද්ගලයන් බව හා වෙනත් අය හොඳ පුද්ගලයන් බව තීරණය කළේ කවුරු ද? මොන විදියට ද? සෑම පුද්ගලයකුට ම නීතියේ ආරක්ෂාව අවශ්‍ය ඒ නිසායි. නීති පැනවීම, නිලධාරීන්ට පුහුණුවීම් කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. සමාජ ආර්ථික සාධකත් සැලකිල්ලට ගන්නට ඕනැ. විසඳුම් සොයාගැනීම දීර්ඝකාලීන ක්‍රියාවලියක්.

මැදිහත්කරු: ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාවේ 5, 6 පිටුවල 14වන කරුණේ සිට 17වන කරුණ දක්වා කොටස් කියවන්නට පවා අමාරුයි. හුඟදෙනෙකු එම කොටස මගහැර යන්නට එම තත්වය හේතු වෙනවා. 14වන කරුණෙන් කියවෙන්නේ පොලිසිය පෞද්ගලික තරහ මරහ පිරිමසාගන්නට වධහිංසනය භාවිතා කළ බවට ලද පැමිණිලි ගැනයි. ප්‍රශ්න කිරීමේදී පමණක් නොව, අත්අඩංගුවට ගැනීමේදී ද පොලිසිය වධහිංසනය භාවිතා කරන බව 15වන කරුණේ දැක්වෙනවා. 16වන කරුණ කියවන්නැයි මා මෙය කියවන අය දිරිගන්වනවා. සැකකරුවන් වධහිංසනයට ලක්කරන හැටි එහි විස්තර කර තිබෙනවා. ඒවා අතිශය ප්‍රචණ්ඩයි. හයවන පිටුවේ 17වන කරුණෙන් විස්තර කෙරෙන්නේ මානසික හිංසනය සිදු කරන ආකාරයයි. එහිදී පුද්ගලයන්ට ප්‍රසිද්ධියේ නින්දා අපහාස කරනවා. පවුලේ සාමාජිකයන්ට, විශේෂයෙන් ම ළමයින්ට හිරිහැර කරන බවට තර්ජනය කර බියපත් කරනවා. එහි සඳහන් වන වයස අවුරුදු 16 – 20 අතර පුද්ගලයන්ට සිදුකරන වධහිංසා අසාමාන්‍ය ලෙස ප්‍රචණ්ඩයි. ආරම්භයේදී ම සඳහන් කළ ආකාරයට මේවා තහවුරු කරන ලද සිදුවීම්. මා දැන් ඔබෙන් අසන ප්‍රශ්නය තරමක් පෞද්ගලිකයි. කොමසාරිස්වරියක ලෙස ඔබ කොහොමද මෙම විමර්ශන කටයුතු දරාගත්තේ? මෙම පුද්ගලයන් හමු වූ, ඔවුන්ගේ කතා ඇසූ, වින්දිතයන් වගේ ම වරදකරුවන් සමග ද සාකච්ඡා කළ අයෙකු ලෙස මෙම විමර්ශන නිසා ඔබට ඇති වූ මානසික බලපෑම කොයි විදියේ ද?

අම්බිකා සත්කුණනාදන්: හොඳ ප්‍රශ්නයක්. ඇත්තෙන් ම, මෙම ප්‍රශ්න සමග කටයුතු කරන අයට එහිදී ඇති වන මානසික කම්පනය අති විශාලයි. ඒත්, ඒ කම්පනය නිසා අප අක්‍රිය වන එක වළක්වා ගත යුතුයි. එය සාක්ෂාත් කරගන්නටත් අමාරු තත්වයක්. අපේ පද්ධති ක්‍රියාත්මක නොවන බව, අපගේ ක්‍රියාවලි හා යාන්ත්‍රණයන් දුර්වල බව හා ඒවා සේවය කරන්නේ කොන් කරන ලද, වෙනස්කම්වලට භාජනය වූ, අවදානමට පත් පුද්ගලයන්ට නොව වරප්‍රසාදිත පුද්ගලයන්ට බව මා දුටුවා. රට පුරා ම තත්වය එය බව අප දැක්කා. අත්අඩංගුවට පත් වූ විට, වධහිංසනයට ලක් වූ විට, වින්දිතයන්ටත්, පවුල්වල අයටත් කරකියා ගන්නට දෙයක් නැතිව අසරණ වෙනවා. ඔවුන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ආවත්, එහිදීත් ඔවුන් කතා කරන්නේ පළිගැනීම්වලට බියේයි. මේ පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුනුත්, නිලධාරීනුත්, මෙම පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුනුත් දන්නවා. වැරදිකරුවන් බොහෝ විට පැමිණිලි ඉල්ලා අස් කරගන්නැයි පැමිණිලිකරුවන්ට බලපෑම් කරනවා. ඔවුන් ගොඩක් බියයි. සමාජයක් ලෙස අප අසමත් වෙලා ද කියා මට සිතෙනවා. අප හැමෝ ම මෙම ප්‍රශ්නය ඇසිය යුතුයි. සමාජයේ වඩාත් ම අවදානමට පත් වූ, වඩාත්ම වෙනස්කම්වලට භාජනය වන හා වඩාත්ම කොන් කරන ලද පුද්ගලයන් ආරක්ෂා කරගැනීමට අපට නොහැකි නම්, එහි ආරක්ෂාව ඇත්තේ බලවත්, වරප්‍රසාදිත අයට පමණක් නම්, අප සැබෑ සමාජයක් ද?  අපේ නීතියේ, ක්‍රියාවලිවල සහ පද්ධතිවල තිබෙන අඩුපාඩු මොනවා ද? අප ඒ ගැන සිතන්නට පටන් ගත යුතුයි. වධහිංසාවට ලක් වූ පුද්ගලයකුගේ සාක්ෂියකට සවන් දීම වැදගත් වන්නේ ඒ නිසායි. එවිට එහි මානුෂික පැතිකඩ තේරුම්ගත හැකියි. කිසිම පුද්ගලයකු වධහිංසනයට භාජනය නොවිය යුතුයි. අත්අඩංගුවට පත්වන සැකකරුවන් දෙස පවා අප සානුකම්පිතව බැලිය යුතුයි. අපේ රටේ කෙසෙල් කැන පවා සොරකම් කරනවා. එසේ කරන අයත් මිනිසුන්. ඔවුන්ටත් දරු පවුල් සිටිනවා. ඔවුන්ටත් වේදනාව දැනෙනවා. මේ මානුෂික අන්දමින් සිතීමේ ක්‍රියාවලිය ඉතා වැදගත්. වැදගත් ම කාරණයක් නම්, වධහිංසනයෙන් එසේ වධ දෙන්නාටත් බලපෑමක් වෙනවා. අප ඒ ගැන හැම විට ම සිතන්නේ නැහැ. ඒ ගැන කතා කරන්නේ නැහැ. තවත් පුද්ගලයකුට එසේ වධ දුන් අයෙකු ඉන් පසු ගෙදර ගොස් කුමක් කරන්නට ඇද්දැයි මා පුදුම වෙනවා. ඔහු තමාගේ බිරිඳට, දරුවන්ට කෙසේ සලකන්නට ඇද්ද? එහිදීත් ඔහු ඒ ආකාරයෙන් ම ප්‍රචණ්ඩ වෙනවා ද? ඔබට අවශ්‍ය දේ කරගැනීම සඳහා වෘත්තික මට්ටමේදී පවා ප්‍රචණ්ඩත්වය භාවිතා කරනවා නම්, එය ගෘහස්ථ හා පෞද්ගලික අවකාශයට ද බලපෑ හැකියි.

මැදිහත්කරු: 1994 අතුරුදහන් වීම් පිළිබඳ කොමිෂන් සභාවේ සිට ජාත්‍යන්තර සංවිධාන හරහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දක්වා බොහෝ ක්‍රියාකාරකම් සිදු වුණා. පසුගිය සති කීපය තුළ ලංකාවේ සංකේතාත්මකව වැදගත් වධහිංසන සිදුවීම් දෙකක් වාර්තා වුණා. මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කරන ලද වාර්තාවට අමතරව, ඔබ ගෙන එන අනෙකුත් අරුත්බර නිර්දේශ මොනවා ද? මෙය කියවන පුරවැසියන්ට මෙහිදී කළ හැක්කේ කුමක් ද? මෙම සංස්කෘතිය වෙනස් කිරීම සඳහා අපට මුලින් කළ හැකි දේ මොනවා ද?

අම්බිකා සත්කුණනාදන්: පුරවැසියන් ලෙස අප මුලින් ම මෙය මේ රටේ සිදු වන බව පිළිගත යුතුයි. කවුරුහරි එසේ සිදු නොවන බවට තර්ක කරනවා නම්, ඔවුන්ට අභියෝග කරන්න. එවැනි වධහිංසන ක්‍රියා ඔබ ඉදිරිපිට සිදුවෙනවා නම් ඒවාටත් අභියෝග කරන්න. වධහිංසනයට ලක් වූ පුද්ගලයකු ඔබට මුණගැසේ නම් ඔවුන්ට එම අත්දැකීමෙන් මිදීමට උපකාර කරන්න. මානව හිමිකම් කොමිෂන් සභාවට වගේ ම ජන සංසදය, රයිට් ටු ලයිෆ් වැනි සිවිල් සමාජ සංවිධාන වෙත ඔවුන් යොමු කරන්නටත් ඔබට පුළුවන්. විශේෂයෙන් ම, ඔබේ ආකල්ප හා ක්‍රියාවන් වැදගත් වෙනවා. යමෙකු ඔබගේ දේපලක් සොරාගෙන ඔබ එම පුද්ගලයාට එරෙහිව පොලිසියට පැමිණිලි කළ විට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද කියා සැලකිලිමත් වන්න. පොලිසිය එම පුද්ගලයා වධහිංසනයට ලක් කරනවාට ඔබ කැමති ද? පුද්ගල මට්ටමේදී අප මෙම සංවාද අප සමගම කරගත යුතුව තිබෙනවා. මහජන ක්‍රියාකාරිත්වයන්, බලපෑම්, විරෝධයන් හේතුවෙන් රජයන් දේවල් කිරීමට හෝ නොකිරීමට පෙළඹෙනවා. පුරවැසියන් තමන් බලය රහිත පුද්ගලයන් යයි නොසිතිය යුතුයි. ඔවුන්ට විශාල බලයක් තිබෙනවා. එය නිවැරදිව පාවිච්චි කරන්නේ කෙසේ ද යන්න ඔබ වටහා ගත යුතුයි.

මැදිහත්කරු: සංවාදය සමග සම්බන්ධ වීම ගැන ස්තුතියි. වධහිංසනය සංකීර්ණ ප්‍රශ්නයක්. එය සිදු වනු දුටු විට කෙනෙකු තම ඇස් ඉවත ගන්නට පෙළඹෙනවා. එහෙත්, එය යථාර්ථයක්. අපේ රටේ එය සිදුවීම කොයි තරම් අවලස්සනදැයි අප තේරුම්ගත යුතුයි. වධහිංසනය සිදු වන බව අප පිළිනොගන්නේ අප එතරම් අප්‍රසන්නදැයි පිළිගන්නට අකැමැත්තක් තිබෙන්නේ ඒ නිසායි. එහෙත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විමර්ශනය කර තහවුරු කරන ලද සිදුවීම් තිබෙනවා. ඒවා වසා දමන්නට ඇතැම් පුද්ගලයන් මේ තරම් උත්සාහ කරන්නේ එහි ඇති අවලස්සනකම නිසායි. ඔබ මානව හිමිකම් කොමිෂන් සභාව සමග කළ කටයුතු සහ කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු හේතුවෙන් දශක ගණනාවක් පැරණි මෙම නින්දිත සංස්කෘතිය වෙනස් කිරීමට මුලපිරීමක් සිදු වී තිබෙනවා. මේ සම්මුඛ සාකච්ඡාව ඒ පිළිබඳ සංවාදයකට ආරම්භයක් වේ යයි අප බලාපොරොත්තු වෙනවා. ඔබගේ ට්විටර් පණිවුඩ වැනි සමාජ මාධ්‍ය කටයුතු ඔස්සේ ඔබත් එයට දායක වන බව අප දන්නවා. ඔබට සුබපැතුම්! ස්තුතියි.

Advertisement

Videos

Featured Video Play Icon

ඇමතිතුමනි, මෙන්න තවත් පොලිස් ඝාතනයක්!

Facebook Page