Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

අධ්‍යාපනය වෙනුවට ගුරුවරුන්ගෙන් දරුවන්ට හිංසනය

මම එච්.ඩබ්ලිව්.රසික චන්දන. පදිංචිය තණමල්විල රණවරණාව ප්‍රදේශයේ. මගේ වයස අවු (47) මම සේවය කරන්නෙ ලුනුගම්වෙහෙර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන සහකාර නිලධාරි හැටියටයි. මාගේ දරුවා එච්. ඩබ්ලිව්.නිරාෂ රසාංජන මො/තණමල්විල ජාතික පාසලේ 11 වෙනි වසරේ ඉගෙන ගන්නෙ.

2020/09/10 වෙනි දින විදුහලේ ක්‍රීඩා ගුරුවරයා වන සමරනායක යන අය විසින් දරුවාට පහරදීමක් සිදුකර ඇත. එදින 10 වසරේ සිසුන් පිරිසක් කළහකාරී ලෙස හැසිරී ඇති අතර, මගේ දරුවා එම සිද්ධිය වන ස්ථානයේ කෙටි වේලාවක් රැඳී සිට වැසිකිළියට ගොස් ඇති ඇත. ඉන් පසු ඉහත තත්වය උණූසුම් වී ගුටි හුවමාරුවක් ද සිදු වී ඇත.  ටික වේලාවකට පසු විදුහලේ ගුරුවරුන් තිදෙනෙකු පැමිණ 11 වසරේ සිසුන් ද කැඳවා ඇත. එම අවස්ථාවේ දී මගේ දරුවාගේ කනට පහරක් ගසා මුහුණට සහ ඹළුවට මිට මොලවා පහර කිහිපයක් ගසා ඇත. ඉන්පසු මගේ දරුවා තණමල්විල රෝහලට ඇතුල්කර අතර වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට රෝහලට යොමුකරන ලදි. වෛද්‍යවරුන් විසින් දරුවා පරීක්ෂා කර කන ඇතුල ප්‍රදේශයට හානි වී ඇති බව සඳහන් කර නැවත සායන දිනට පැමිණීමට උපදෙස් ලබා දුන්නා.

ප්‍රථිකාර කිරීමෙන් පසු දරුවා නැවත පාසල් යාමට පටන්ගත් අතර ගුරුවරුන් කිහිපදෙනෙකු දරුවාගේ පැවරුම් / දෛනික වැඩ නිරීක්ෂණය කිරීමෙන් වැළකී සිට ඇත. ( පන්තිභාර ගුරු ප්‍රසාද් මහතා, නිශාන්ත මහතා, වසන්ත සමරවීර මහතා සහ පුෂ්පකුමාර මහතා) විදුහලේ සිසුන්ට මගේ දරුවා සමග ඇසුරුකිරීමෙන් වලකින ලෙස බලපෑම් කර ඇත. මෙම විදුහලේ මනෝ උපදේශන ලබාදීමට යොදවා ඇති ගුරුවරිය (දේශානි මිය) මෙතෙක් කිසිඳු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත. මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටීමට සිටින මගේ දරුවා මෙම සිදුවීම් නිසා දැඩි මානසික කම්පනයට පත්ව ඇති බව සඳහන් කරමි.

මගේ දරුවා මෙවර සා. පෙල විභාගයට  පෙනී සිටිමට නියමිතව ඇති බැවින් ඉහත ගුරුවරුන්ගේ විවිධ බලපෑම් නිසා නිසියාකාරව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට බාධා ඇතිවිය හැකි බැවින් අප පවුලේ සියළු දෙනා දැඩි කණස්සල්ලෙන් සිටින බව සඳහන් කරමු. මේ පිළිබඳව සොයා බැලීමට අප නිවසට මොනරාගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක පැමිණ මගේ දරුවාට සිදු වූ හිංසනය පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට අවශ්‍ය කටයුතු සලසා දුන්නා. 2020/10/02 දින මානව හිමිකම් කොමිසමට මෙම සිදුවීම පිළිබඳ පැමිණිල්ල ඉදිරිපත් කලා. මම බලාපොරොත්තු වන්නේ අපක්ෂපාතී විමර්ෂණයක් සිදුකර සාධාරණ නිර්දේශයන් ලබා දී මගේ දරුවාට සිදුවූ හානිය සඳහා වන්දියක් ලබා දී, නැවත මගේ දරුවාටත් වෙනත් දරුවන්ටත් මෙවැනි හිංසනයෙන් හා කිසිඳු බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සුදුසු පරිසරයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීමයි.

අචල පියුමන්ත

දිස්ත්‍රික් සම්බන්ධීකාරක – මොනරාගල

09/10/2020

Translate »
Scroll to Top