මානව හිමිකම් ප්‍රථාමාධාර මධ්‍යස්ථානයන් හි හෙට දවස

 - December 3rd, 2020 - 

නදීශානි මාලිංග මිය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා සමග පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදී.

1. මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථාන සංකල්පය ගෙන ඒමේ අරමුණ කුමක් ද?

මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථාන පිහිටුවීමේ දී අපිට අරමුණු කිහිපයක් ම තිබුණා. ඉන් පළමු වැන්න වුයේ අපි කාලයක සිට පුහුණු කළ අපගේ මානව හිමිකම් ආරක්ෂකයින් විසින් තම ප්‍රදේශයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණය වීම්වලට ඒරෙහිව පෙනී සිටිමින් වින්දිතයින් සමග සම්බන්ධ වී සක්‍රීයව කටයුතු කරන කණ්ඩායමක් ඒ ප්‍රදේශවලන් බිහිකර ගැනීම.

ඒමෙන්ම, මේ විශය පිළිබදව ඇති අවබෝධය තව දුරටත් පුළුල් කරමින් මෙහි ඇති වැදගත්කම ඒ තවත් පිරිසක් වෙත ඇති කිරීමත් මෙහි තවත් අරමුණක් වුනා.

මෙම ප්‍රථමාධාර මධ්‍යස්ථාන නිසා සෘජුවම මානව හිමිකම් විශයට අයත් නොවන අනෙකුත් කාරනා සම්බන්ධව ද විශේෂයෙන් ග්‍රාමීය ජනයා මුහුණ දෙන ඉඩම් ඇතුලු දේපල ගැටලු, විවිධ නිලධාරීන්ගෙන් සිදුවන අකටයුතු කම්, කාන්තාවන් හා ළමුන් මුහුණ දෙන ගැටලු ඇතුලු විවිධාකාරයේ ගැටලු සදහා විසදුම් ලබා දෙන, හෝ විසදුම් ලබා ගත හැකි මාර්ග පෙන්වා දෙන, ඒ සදහා උදව් ලබාදෙන කණ්ඩායමක් මේ හරහා ගොඩනගා ගැනීමට හැකි වී තිබෙනවා.

වර්තමානයේ මෙම මධ්‍යස්ථා වෙත වාර්තා වන සිද්ධීන්ගෙන් 50% වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නෙ මානව හිමිකම් උල්ලංඝනය වීම් නොවන සිවිල් අයිතිවාසිකම් කඩවීම් සිද්ධි වුවත් ඒ සදහා ද මෙම මධ්‍යස්ථාන කටයුතු කරමින් සිටිනවා.    

2. මෙතෙක් කලක් තිස්සේ ක්‍රියාත්මක මේ මධ්‍යස්ථානවල ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රගතිය ගැන අදහස් දැක්වුවහොත්?

අප මෙතෙක් සිදු කළ වැඩසටහන් අතරින් සාර්ථකම වැඩ සටහන ලෙස මෙම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන හැදින්විය හැකියි. ඇත්තට අප 2006 වසරේ දී දිස්ත්‍රික්ක තුනක මෙම වැඩසටහන් අරම්භ කරනු ලැබුවේ අත්හදා බැලීමක් ලෙසයි. නමුත් ඉතාම කෙටි කලක් ඒම දිස්ත්‍රික්ක ප්‍රමාණය 6ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වුනා. ඉන් පසුව යුරෝපා සංගමය වෙත ජාතික සාම මණ්ඩලය යොමු කළ ව්‍යාපෘතියක් හරහා මෙම දිස්ත්‍රික්ක ප්‍රමාණය 11 දක්වා වාර්ධනය කිරීමට අපට හැකි වුනා.

මේ සම්බන්ධව අනෙක් දිස්ත්‍රික්ක වලින් පැමිණි ඉල්ලීම් හේතුවෙන්  මීට මාස 3කට පමණ පෙර අප තවත් දිස්ත්‍රික්ක 6ක මෙම වැඩසටහන් ආරම්භ කළා. මේ වන විට ලංකාව පුරා දිස්ත්‍රික්ක 17ක මෙම වැඩ පිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

මේ සෑම දිස්ත්‍රික්කයකම මානව හිමිකම් විශය ගැන අවබෝධයක් තිබෙන හා මානව හිමිකම් කඩවීමක දී ගත යුතු පියවර පිළිබදව මග පෙන්විය හැකි 25 ත්  35ත් අතර ක‍්‍රියාකාරී කණ්ඩායමක් ක්‍රියාත්මකයි. මෙහි වැදගත්ම ලක්ෂණය මේ අය කටයුතු කරන්නේ ස්වේඡා පදනම යටතේ.

මෙවැනි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සදහා විශාල පිරිවැයක් නොමැති නිසා අප විසින් ගොඩ නගා ඇති මෙම මධ්‍යස්ථාන අපි හිටියත් නැතත් අනිවාර්යෙන්ම ඉදිරියටත් අනිවාර්යෙන් ක්‍රියාත්මක වේවි. ඒය තමයි අපි ලැබූ විශාලම ජයග්‍රහණය.

3. 2021 වර්ෂය මානව හිමිකම් ප‍්‍රවර්ධනයට ඔබ සැලසුම් කරන අලූත් දේවල් තිබෙනවා ද?

අපි හිතනවා මානව හිමිකම් සම්බන්ධ ව තිබෙන තත්ත්වයේ යම් කිසි වෙනසක් අනාගතයේ සිදු වේවි. සමහර විට මානව හිමිකම් කඩවීම් වැඩි වශයෙන් අනාගතයේ වාර්තා විය හැකියි. ඒමෙන්ම, කොව්ඞ් වසංගතය නිසා ම පැන නැගුණු විවිධ මානව හිමිකම් ගැටලූවලට ඇතැම් ප‍්‍රදේශවල සිටින මිනිසුන් දැනටමත් මුහුණ දෙනවා අපි දුටුවා.

ඒමෙන්ම, මෙම ප්‍රථාමාධාර මධ්‍යස්ථාන කටයුතු කරමින් සිටින්නේ ස්වාධීන කොමිෂන් සභා යාන්ත‍්‍රණයන් සමග. පසුගිය කාලයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව මෙන්ම තොරතුරු කොමිසම හා අතුරුදහන්වුවන්ගේ කාර්යාලය සමග ඉතා ලගින් කටයුතු කරනු ලැබුවා. නමුත් අනාගතයේ මෙම කොමිෂන් සභාවන් කෙසේ ක්‍රියාකරයිද යන්න අපට අවිනිශ්චිතයි.

රජයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයන් හා ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් වී කාර්යක්ෂමව කටයතු කලොත් පමණයි අපගේ මානව හිමිකම් ප්‍රධමාධාර මධ්‍යස්ථානයන්ට අර්ථයක් ලැබෙන්නේ. ඒම යාන්ත්‍රණයන් අක්‍රීය වුවහොත් ඉන් අපට ගැටලු ඇති වේවි.

අනෙක් පැත්තෙන් මානව හිමිකම් විෂය සම්බන්ධව පැවතුනාට වඩා ලොකු කථාබහක් අනාගතයේ සමාජය තුළ ඇති වේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අලූත් පිරිස් ක‍්‍රියාකාරීන් බවට පත් කිරීමේ අභියෝගය අපිට තිබෙනවා. අපි ඒ සදහා දැනටමත් විවිධ දේ අපි සැලසුම් කර තිබෙනවා. නිදසුනක් ලෙස ඒ ඒ පළාත්වල නීතිඥවරුන්ගේ එකමුතුවක් ගොඩනගමින් සිටිනවා. මාධ්‍යවේදීන්ගේ එකමුතුවකුත් සෑදීමට අපි අරමුණු කරනවා. මේ දේවල් ජාතික මට්ටමින් අපි දැනටමත් ආරම්භ කර තිබෙන අතර ප‍්‍රාදේශ්‍ය මට්ටම දක්වා විහිදුවාලීම අපේ අරමුණයි. ඒමෙන්ම, ඒ ඒ පළාතට අවේනික ගැටලූ හදුනාගෙන ඒ සදහා මැදිහත් වන කණ්ඩායම් නිර්මාණය කර ගැනීමටත් අපි සැලසුම් කරනවා.  

අපිට ඇති අනෙක් විශාලම අභියෝගය 2021 වන විට අපිට මෙතෙක් තිබුණු සම්පත් සීමා වීමට නියමි වීම නිසා මේ ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අභියෝගය යි. මේ පිළිබද දැනටමත් අප ක‍්‍රියාකාරිකයින් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. සාමාන්‍යයෙන් ප්‍රාදේශීයව ආරම්භ කරන විවිධ වැඩසටහන් ප‍්‍රතිපාදන නැති වූ විට අභාවයට යනව. නමුත් සතුටුදායක කරුණ නම් මේ සියලූ ප‍්‍රථමාධාර මධ්‍යස්ථාන සම්බන්ධීකාරකවරුන් හා ක‍්‍රියාධරයින් දැනටමත් කිසිදු ප‍්‍රතිපාදනයක් නැතිව වුවත් අවම පහසුකම් යටතේ හෝ මේවායේ ක‍්‍රියාකාරීත්වයන් අඛණ්ඩ ව පවත්වාගෙන යන්න සැලසුම් කරගෙන යනවා. ඒය අපි ලබපු විශාල ම ජයග‍්‍රහනයක් ලෙස මා දකිනවා.

Advertisement

Videos

Featured Video Play Icon

කන්දෙකැටිය පොලීසිය ඝාතනය කළ “සඳුන් මාලිංග” | Sandun Malinga

Featured Video Play Icon

අපිත් ණයයි, රටත් ණයයි, දෙවි පිහිටයි! | Microfinance crisis

Facebook Page