මේ ගෙවෙන කාලය අපායේ ඉන්ටර්වල් එක වගේ

 - December 11th, 2022 - 

පිලිප් දිසානායක

 

(Intro: පසුගිය අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරික සහ පොළී ගෙවීම අත්හිටුවීම හේතුවෙන් යම් සහනයක් ලැබී තිඛෙනවා. එසේ කළත්, අපට තවම පුළුවන් වෙලා නැහැ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආනයන වියදම් අපනයන ආදායමෙන් පියවාගන්න. ඒ කොහොම වුණත්, ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමට නොහැකි වුණොත්, අපට ණය ගෙවීම නැවතත්, නතර කළ තැනින් ආරම්භ කිරීමට සිදුවෙන්නට පුළුවන්. )

මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය ලොවට හදුන්වා දී 2022 දෙසැම්බර් 10දාට වසර 74 ක් සපිරෙනවා. මෙම විශ්ව ප්‍රකාශනයට ලංකාව අත්සන තබන ලද්දේ 1965 වර්ෂයේදීයි. ඉන් පසුව එම විශ්ව ප්‍රකාශනයේ සඳහන් සමහර කොටස් මූලික අයිතිවාසිකම් ලෙස  අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඇතුළත් වී තිඛෙනවා.

නමුත් අපට දශක ගණනාවක් ගියත් මෙම විශ්ව ප්‍රකාශනයේ සදහන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධ මූලධාර්මික කාරණා තවමත් විසඳා ගැනීමට නොහැකි වී තිඛෙනවා. ජාතික සමගිය ඇති කරගන්න බැරිව අප දශක තුනක් තිස්සේ විශාල යුද්ධකට පැටලුණා. කැරැලි කෝලහල, යුද්ධවලින් මියගිය පිරිස ගැන අපට තවමත් නිවැරදි සංඛ්‍යාලේඛනවත් නැහැ.

ඒ නිසා අප අද 74වන මානව හිමිකම් දිනය සමරන්නේ ලංකාවේ පුරවැසියන්ගේ  මූලීක ප්‍රශ්නවත් විසඳා ගත නොහැකි ජාතිකයක් ලෙසයි.

2019දී බලයට පත්වූ ආණ්ඩුව ප්‍රකාශ කළේ ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්යය කරා ගෙනයන බවයි. ඔවුන් ප්‍රකාශ කළ පරිදි දැන් අපට ඒ ආශ්චර්යය උදා වී තිඛෙනවාද?

මේ මොහොත වන විට, ඉන්ධන, විදුලිය, ගෑස් අවම වශයෙන් හෝ පරිහෝජනයට ඇති නිසා සමහරු රට යම්කිසි ස්ථාවර තත්වයකට පැමිණ ඇතැයි සිතන්නට හැකි නමුත් යථාර්ථය තිඛෙන්නේ ඉන් ඈතින්. පසුගිය සතියේ අයවැය විවාදයේ සාකච්ඡාවන්ට අවධානය යොමු කළේ නම් 2023 වර්ෂය වෙත පා තබන්නේ කෙතරම් බැරෑරුම් තත්වයක් මතින්ද යන්න අවබෝධකර ගැනීමට පුළුවන්. එහෙම බැලූවාම මේ ගෙවන කාලය අපායට ලැබුන විවේකයක් වගේ.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරික සහ පොළී ගෙවීම අත්හිටුවීම හේතුවෙන් යම් සහනයක් ලැබී තිඛෙනවා. එසේ කළත්, අපට තවම පුළුවන් වෙලා නැහැ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආනයන වියදම් අපනයන ආදායමෙන් පියවාගන්න. ඒ කොහොම වුණත්, ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමට නොහැකි වුණොත්, අපට ණය ගෙවීම නැවතත්, නතර කළ තැනින් ආරම්භ කිරීමට සිදුවෙන්නට පුළුවන්.

එහෙම වුණොත් මේ ලැබී තිඛෙන විවේකය අවසන් වී අප නැවත පෝලිම් යුයකට තල්ලු වෙන්නටත් ඉඩ තිබෙනවා.. භුක්තිවිඳින ලද අවම පහසුකම් කිහිපය පවා අනිවාර්ය සීමාවන් යටතේ ඉදිරියේ දි භුක්ති විඳීමට සිදුවනු ඇති. දැනටමත් අප සැලකිය යුතු මට්ටමකට අපේ පරිභෝජනය සීමා කරලායි තිබෙන්නේ.

මේ අතර යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කර තිඛෙනවා, ලංකාවේ දරුවන් මිලියන 1.5ක ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බැවින් ඔවුන් සඳහා මානුෂීය ආධාර අවශ්‍ය බව. එමෙන්ම වයස අවුරුදු පහට අඩු ළමයින්ගෙන් 50%ක් මන්දපෝෂණ තත්වයකට පත්වීමේ ප්‍රවණතාවක් පවතින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා රජයේ ආදායම් සහ වියදම් අතර පරතරය නැති කිරීම හෝ අවම කිරීමට ක්‍රියා මාර්ග ගන්නා තුරු කිසිදු රටකින් හෝ මුල්‍ය ආයතනයකින් ශ්‍රී ලංකාවට මූල්‍යමය ආධාර ලබාගත නොහැකි බව දැනටමත් ප්‍රකාශ වී තිඛෙනවා. මෙවැනි පසුබිමකයි අප මානව හිමිකම් දිනය සමරන්නේ.

2023 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 75ක් සපිරෙනවා. 75 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුමත් ලබන වසරට යෙදී තිඛෙනවා. මෙවැනි වටපිටාවක් තුළ සිට මානව හිමිකම් සුරක්ෂිත කිරීම සැලකිය යුතු අභියෝගයක්.

මුහුණපා ඇති මෙම සංකීර්ණ තත්වයෙන් ගොඩඒම සඳහා සීමිත අවස්ථාවන් කිහිපයක් ද අපට නැතුවාම නොවෙයි. එහිදී අප මෙතුවක් කල් ක්‍රියාත්මක කළ ක්‍රමවේදයන් සහ භුක්ති විඳින ලද සම්පත් පිළිබඳව නැවත සිතාබැලීමක් අවශ්‍යයි. අධිපරිභෝජනය නවතා නියාමනයක් සහිතව සම්පත් පරිභෝජනය කිරීම මඟින් ඵල ප්‍රයෝජන රැසක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. දරාගත නොහැකි මට්ටමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති හා විශාල රාජ්‍ය පද්ධතිය කූඩා කිරීම පිළිබදව අවධානය යොමු කළ යුතුව තිඛෙනවා.

ඉන්ධන කෝටා ක්‍රමය නිසා 40% කින් ඉන්ධන පරිභෝජනය අඩු වී ඇති බවටත් දැනට ක්‍රියාත්මක පැය 2 1/2 විදුලි කප්පාදුව නිසා ඉන්ධන විදුලි බලාගාර ක්‍රියාත්මක නොකිරීම නිසා සැලකිය යුතු ප්‍රමාණයකින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් වාර්තා වුණා

මේ සමගම අපගේ රාජ්‍ය පද්ධතියේ සැලකිය යුතු ප්‍රතිසංස්කරණ සිදු කළ යුතූයි. ඒ සදහා දැනටමත් ඉදිරිපත් වී තිබෙන යෝජනා පිළිබඳව අප සැලකිල්ල යොමු කර එම යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා අවංකව උත්සාහ කළ යුතුයි.

ලංකාවේ සමහර දේශපාලනඥයින් විසින් පසුගිය කාලය තුළ විශාල විවේචනයකට බඳුන් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ 30/1 යෝජනාවලිය මෙහිදී ඉතා වැදගත් යෝජනාවලියක් ලෙස සැලකිය හැකියි. එම යෝජනා ශ්‍රී ලංකා රජය නැවත ගොඩනැගීම සදහා ඉවහල් වන පරිදි මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ස්ථාපිත කෙරෙන යෝජනාවලියක් ලෙස සැලකිය හැකියි.

එමෙන්ම ආර්තික ප්‍රතිසංස්කරණ සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති යෝජනා ද අප විමසිල්ලෙන් අධ්‍යයන කළ යුතුයි. ලංකාව බංකොළොත්භාවයෙන් මුදාගැනීම සදහා මෙම යෝජනා ඉතා වැදගත් විය හැකියි.

එමෙන්ම ජීඑස්පී ප්ලස් බදු සහනය නැවත ලබා ගැනීමට ඉදිරිපත් වන යෝජනා ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ස්ථාපිත කිරීමට ඉතා වැදගත්. පසුගිය වතාවේ ජීඑස්පී ප්ලස් බදු සහනය ලබා ගැනීම අපට ජාත්‍යන්තර සම්මුතීන් තුනක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අපි එකග වුණා. ලබන වර තවත් ප්‍රඥප්තීන් 15ක් පමණ රට තුළ ක්‍රියාත්මක කිරීමට අප එකගත්වය ප්‍රකාශ කළහොත් එම සහනය අපට නැවත ලබා ගැත හැකියි. එම නිසා අපට මෙම අර්බුදයෙන් ගොඩඒමට හැකි වන්නේ ඉදිරිපත් වී ඇති මෙම ආර්ථීක හා දේශපාලනික ප්‍රතිසංස්කරණ යෝජනා අවංකව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළහොත් පමණයි.

සිවිල් සමාජ ක්‍රියාකාරික පිලිප් දිසානායක මහතා දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ උත්සවයේ දේශනය ඇසුරිනි.

 

Advertisement

Videos

Featured Video Play Icon

මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන වෙත ආපසු හැරී බලමු! | Right to Life Human rights center

Featured Video Play Icon

තිත්ත කළුවර | ආර්ථිකය කඩාගෙන වැටුණු රටක ඉරණම් කතාව | Sinhala Documentary

Facebook Page

English English Sinhala Sinhala Tamil Tamil