Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

වධහිංසා දින සැමරුම – බදුල්ල දිස්ත්‍රිකය

වධහිංසාවන්ට පාත්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජූනි 26 දිනට යෙදී තිබේ. මෙම දිනය පාදක කරගනිමින් බදුල්ල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් මහජන සම්මන්ත්‍රණයක් ජූනි 26 වන දින බදුල්ල රිවර් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී සංවිධානය කෙරුනි. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සහ ජාතික සාම මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පැවැත්වුනු මෙම මහජන සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ඌව පළාත් සම්බන්ධීකාරක නෙරංජන් සුමනසේකර මහතා, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ඌව පළාත් සම්බන්ධීකාරක ටී. එම්. තෙන්නකෝන් මහතා, ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් බදුල්ල බන්ධනාගාරයේ අධිකාරී ප්‍රසාද් ආරියරත්න මහතා, බදුල්ල දිස්ත්‍රික් ළමා පරිවාස කටයුතු පිළිබඳ කොමසාරිස් ප්‍රියභාෂිණි මහත්මිය, බදුල්ල දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ක්‍රියාධරයින් 40කට අධික පිරිසක් සහභාගිවුනි.

මානව හිමිකම් කොමිසමේ ඌව පළාත් සම්බන්ධීකාරක නෙරංජන් සුමනසේකර මහතා පොලිස් වධහිංසාව තුරන් කිරීම වෙනුවෙන් කොමිසම සිදු කරන කාර්යභාරය පැහැදිලි කළ අතර එතුමා එහිදී වැඩිදුරටත් දක්වා සිටියේ මේ වන විට පොලිස් ස්ථාන තුළදී සිදු වන පහරදීම් පසුගිය වර්ෂ වලට සාපේක්ෂව පහළ බැසීමක් සිදුව ඇති බවයි. පොලිස් කොමිසමේ ඌව පළාත් සම්බන්ධීකාරකතුමා අදහස් දක්වමින් පොලිස් වධහිංසා සම්බන්ධයෙන් කොමිසම වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළ අතර බදුල්ල දිස්ත්‍රීක් සහකාර පොලිස් අධිකාරීතුමා අදහස් දක්වමින් වධහිංසාවට එරෙහිව පවතින ලංකාවේ නෛතික තත්වයත් මෙම නෛතික තත්වයන් හමුවේ දරුණු අපරාධකරුවන් පිළිබඳව පරීක්ෂණ කටයුතු මෙහෙයවීමේදී පොලිස් නිලධාරින්ට මුහුණදීමට සිදු වන අවධානම් සහගත තත්වයන් පිළිබඳවත් පුළුල් පැහැදිලි කිරීමක් සිදු කෙරුනි.

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව දූෂිත ආයතනයක් බවට වන සමාජ මතය මේ වන විට බන්ධනාගරය තුළ සිදුකෙරෙමින් පවතින විශේෂ විමර්ෂණ ක්‍රමවේදයන් හා ප්‍රතිසංස්කරණ ඔස්සේ ඉදිරියේදී වෙනස්වීමට ලක්වන බවත් බන්ධනාගාර තුළ සිටින රැඳවියන් පුනරුත්තාපනය කිරීමේ නව වැඩ පිළිවෙලක් රජය ක්‍රියාත්මක කරමින් සිටින බවත් එමගින් රැඳවියන්ගේ අනාගත අභිවෘද්ධිය සහ සුබසිද්ධිය උදෙසා විශේෂ කාර්යභාරයක් ඉටු කිරීමට නියමිත බවත් බදුල්ල බන්ධනාගාර අධිකාරිතුමන් වැඩි දුරටත් අදහස් දැක්වූ අතර රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ වධහිංසාවෙන් වැළකී සිටීමට පුද්ගලයන්ට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබියදීත්, වධහිංසාව අපරාධ වරදක් වශයෙන් 1994 අංක 22 දරණ වධහිංසාවට එරෙහි සම්මුති පනත යටතේ තහවුරු කොට තිබියදීත් තවමත් වධහිංසාව අපරාධ විමර්ශන ක්ෂේත්‍රයේ මූලික අංගයක් වශයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බවයි. එසේම මෙම වධහිංසා පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් අධිචෝදනා ගොනු කිරීමේ ක්‍රමවේදය ඉතා දුර්වල මට්ටමක පවතින බවත් එසේ නඩුවක් ගොනු කළද අධිකරණයේ පවතින නඩු වල යුක්තිය පසිඳලීමේ ප්‍රමාදය හේතුකොට ගෙන නඩු අවසන්විමට විශාල කාලයක් ගතවන බවත්ය. එබැවින් මේ සම්බන්ධයෙන් රාජ්‍ය පාර්ශවයේ මැදිහත්වීම යටතේ අවශ්‍ය පහසුකම් සහ තාක්ෂණික ක්‍රමවේදයන් මෙන්ම මේ වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කොට පහසුකම් සලසා වධහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩ නැංවීමට සියළු දෙනාගේම අවධානය යොමුවීමේ අවශ්‍යතාවය මෙතුමා මතුකර දක්වන ලදි.

Translate »
Scroll to Top