Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

බේරුවල පොලිසීය තරුණයෙකුට ව්‍යාජ චෝදනා ඉදිරිපත්කොට බූස්සේ යවලා.

පෙම්වතියගේ අවශ්‍යතාව මත බේරුවල පොලිසීය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණයාගේ පියා විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

බේරුවල, වලතර, වෙදගොඩ පදිංචි යොහාන් ශෂික රමේෂ් නැමැති විසි පස් හැවිරිදි තරුණයා මෙසේ පොලිස් වධහිංසාවට ලක්ව ඇත.

මොහු බේරුවල, මරක්කලාවත්ත, දේවාල පාර  පදිංචි විසි හතර හැවිරිදි තරුණියක් හා වසර නවයක සිට ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇයගේ සම්බන්ධය නිවෙස් වල අයද දැන සිටි බවද පැවසේ.

මෙම තරුණිය මේ වන විට සංගීත විශාරද, සංගීත කථිකාචාර්ය, ඉංග්‍රිසි ගුරු ඩිප්ලෝමාධාරීනියක වන අතර මෝසතර නිරූපන ක්ෂේත්‍රයේ හා ටෙලි නාට්‍ය කිහිපයක පෙනී සිටි තැනැත්තියකි.

යොහාන් ශෂික ඇය හා වසර නවයක ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර මෑතක සිට ඇයගේ වෙනස් වීමක් නීරික්ෂණය වී ඇති අතර මේ ගැන විමසීමට ඔහු ඇයට 2020-08-10 වෙනි දින දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේ ඔහුට සිය නිවසට පැමිණෙන ලෙස ඇය දන්වා ඇත.

ඒ අනුව ඔහු එදින ඇයගේ නිවසට ගොස් ඇති අතර එහිදි ඇයගේ දෙමාපියන් විසින් මොහු ඇයට ලිංගික අතවර කිරීමට පැමිණි බව පවසා බේරුවල පොලිසීයට බාර දී ඇතැයිද යොහාන්ගේ පියා වන විශ්‍රාමික ග්‍රාම නිලධාරී බැද්දේගමගේ දයාරත්න මහතා කියා සිටියි.

පොලිසීය යොහාන්ව අත්අඩංගුවට ගත් බව සැල වීමත් සමඟම දයාරත්න මහතා බේරුවල පොලිසීය වෙත ගොස් තිබේ. එහිදි දෑතට මාංචු යොදා සිය පුතා පොලිස් කූඩුවේ අමාරුවෙන් සිටගෙන සිටින අයුරු දැක ඇත. ඔහුට පහර දුන් නිසා ඉඳගැනීමට නොහැකි බව යොහාන් සිය පියාට පවසා ඇති අතර , මම මීනි මරලද මට මෙහෙම සලකන්නේ? මම මොකද්ද කරපු වරද කියා විමසීමත් සමඟ යළි පොලිස් සැරයන් (41055) යන නිලධාරියා විසින් දිග වයර් එකක් වැනි දෙයකින් යොහාන්ට පහර දුන් බව දයාරත්න මහතා පවසයි.

එම අවස්ථාවේ රිසව් භාරව සිටි නිලධාරියා දයාරත්න මහතාට එළියට යන ලෙස කෑ ගසා ඇත.

පසුව දයාරත්න මහතා විසින් උප පොලිස් පරික්ෂක කසුන් පතිරණ නිලධාරියා හමු වී සිය පුතාට ඇති චෝදනාව විමසා සිටි බවත් එවිට ඔහු කියා සිටියේ මෙයාට තියෙන්නේ කාන්තාවකට බලහත්කාරකම් කිරීමේ චෝදනාවක්. මෙයාව එලියට දැම්මොත් ඔයාලටත්, අපටත්, අර මිනිස්සුන්ටත් කරදරයක්. පොඩි පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනේ බව ප්‍රකාශ කර ඇත.. මෙම අවස්ථාවේ යොහාන්ගේ පෙම්වතිය හා ඇයගේ මව ද පොලිස් ස්ථානයට පැමිණ සිට ඇත.

එම අවස්ථාවේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් පත්මකුමාර මහතා පොලිස් ස්ථානයට පැමිණි අතර ඔහුව හමුවෙන්න උත්සහ කලද ඊට ස්ථානාධිපතිවරයා අකමැති වීම නිසා නොහැකි වු බවත් යොහාන්ගේ පියා පවසයි.

මේ අතර යොහාන් පියාට පවසා ඇත්තේ ගෙදර ඔහුගේ ජංගම දුරකථන ඇති බවත් එය පොලිසියට රැගෙන එන ලෙසත්ය. එසේ රැගෙන ආ ජංගම දුරකථනය උප පොලිස් පරික්ෂක කසුන් පතිරන විසින් ඉල්ලා ගෙන ඇති අතර පසුව එය යොහාන්ගේ පෙම්වතිය අතේ තිබෙනවා දයාරත්න මහතා දැක ඇත. වහාම නැවත දයාරත්න මහතා උප පොලිස් පරික්ෂකවරයාගෙන් විමසා ඇත්තේ කෝ පුතාගේ ජංගම දුරකථන කියාය. කවුද අරයට පෝන් එක දුන්නේ කියාය. එවිට ඔහු කියා ඇත්තේ ඔතන මිස් කෙනෙක් ඉන්නවා, එයාගෙන් ඉල්ලා ගන්නා ලෙසය. එම අවස්ථාවේ එහි උප පොලිස් පරික්ෂකවරියක් සිට ඇති අතර ඇයගෙන් විමසු විට ඇය මේ කිසිවක් නොදැන සිටි හෙයින් නිරුත්තර වු බවත් පසුව පැමිණිලිකාර පෙම්වතියගේ අතේ තිබු පුතාගේ ජංගම දුරකථනය ඇයගෙන් රැගෙන තමන්ට ලබා දුන් බවත්  දයාරත්න මහතා පවසයි. කූඩුවේ සිටි පුතාගේ දෑත් වලට යොදා තිබු මාංචු කිසිම අවස්ථාවක ගලවා නොමැති අතර පසුව එක් පොලිස් නිලධාරියෙක් පවසා ඇත්තේ , ඕක ප්‍රශ්නයක් වෙයි. දැන්වත් මාංචු ගලවා දමන ලෙසටය. ඒ අනුව පසුව මාංචු ගලවා තිබේ.

2020-08-11 වෙනි දින යොහාන්ව කලුතර අධිකරණය වෙත රැගෙන ආ බවත් එහිදි දිවා කාලයේ නිවසක් බිඳ අයුතු ලෙස ඇතුලු වී කාන්තාවකට බැන තර්ජනය කර පහර දී ලිංගික අතවර සිදු කිරිම සම්බන්ධයෙන් චෝදනා කොට නඩුව කැඳවු බවත් එම අවස්ථාවේ මොහුට ඇප දීම සම්බන්ධයෙන් පොලිසීය විරුද්ධ වීම නිසා 08-18 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එම නඩුව අවසන් වනවාත් සමඟ යළි යොහාන්ගේ නම කියා හෙරොයින් මිලිග්‍රෑම් 3280 ක් ළඟ තබා ගත් බවට චෝදනා කරමින් තවත් නඩුවක් කැඳවු බව දයාරත්න මහතා පවසයි. එයටද 08-18 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ චෝදනාව සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක පොලිසීය තමන්ව දැනුවත් නොකළ බවත් මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය, ව්‍යාජ චෝදනාවක් බවද දයාරත්න මහතා කියා සිටියි.

මේ වන විටත් බූස්ස බන්ධනාගාරයේ තම පුතාව රඳවා ඇති බවත් තමන් ඔහුව බැලීමට ගිය අවස්ථාවේ තෙන්නකෝන් නැමැති අධිකරණ කටයුතු වෙනුවෙන් සිටින පොලිස් නිලධාරියා හිස් ලියුම් කවරයක් ගෙනවිත් සිය පියාගේ යතුරු පැදියේ යතුර මෙම ලියුම් කවරයට දමා අධිකරණයට භාර දෙන බවත් ඒ නිසා ඇඟිලි සලකුණ තබන ලෙසත් නැතිනම් යතුරුපැදිය උසාවි දැම්මොත් තාත්තටත් උසාවි යාමට සිදුවන බව පැවසීම නිසා එම හිස් ලියුම් කවරයට අත්සන් තැබු බවද ප්‍රකාශ කළ බව දයාරත්න මහතා විසින් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

තම දරුවා නුදුරු දිනෙක විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටි බවත් නමුත් දේශපාලනයේ සහායෙන් මෙම තරුණිය පොලිසීය ලවා හිතාමතාම පීඩාවට පත් කරමින් මෙම චෝදනා ඉදිරිපත් කරමින් නඩු ගොනු කර ඇතැයිද ඒ නිසා තම පුතුට සාධාරණයක් ඉටු කරන ලෙසද දයාරත්න මහතා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරමින් කියා ඇත.

මෙහි පිටපත් පොලිස්පති, ජාතික පොලිස් කොමිෂන් සභාව හා නීතිපති දෙපාර්තමේන්තුව වෙතද මේ වන විට ඉදිරිපත් කර තිබේ.

Translate »
Scroll to Top