පැරණි ලෝකය අවසන්..!

 - December 28th, 2020 - 

ආපදා අභිමුඛ සමාජයක්

අපි දන්නවා අපි මේ ජීවත් වෙන්නේ නව සාමාන්‍ය තත්වයක් යටතේ. ඉන් අදහස් වෙනවා ඉතා පැහැදිලිවම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසය වගේ වෙනකන් ජීවත් වුණු සමාජ පරිසරය අපිට මේ මොහොතේ නෑ කියලා. එමගින් පෙන්නුම් කරන සාධකය තමයි අපි හැමෝම හදිසි සමාජ අවශ්‍යතාවයක තමයි ජීවත් වෙන්නේ කියන එක.

එය තවදුරටත් පැහැදිලි කරනවා නම් ගෝලීය මට්ටමෙන්ම ආපදා අභිමුඛ සමාජ පරිසරයක අපට ජීවත්වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එක පන්තියකට, එක ජනවර්ගයකට, එක ආගමකට නෙවෙයි පොදුවේ ගත්තහම අවදානම් සහිත සමාජයක අපි ජීවත් වෙන්නේ. එය තීව්‍ර කරනවා මේ කොවිඩ් 19 කියන මේ වසංගත තත්ත්වය මගින්. ඊට පෙරත් අපි දන්නවා ලංකාව ආශ්‍රිතව ගත්තහම දිගු කාලීන යුද්ධයක් තිබුණා, ඒ වගේම ගිය අවුරුද්දෙ අප්‍රේල් 21 සහරාන්ගේ ප්‍රහාරය වගේ තත්ත්වයන් තුළ අපේ සමාජය තුළ නිර්මාණය වුණ තත්ත්වයන් අපි දැක්කා.

අපිට මේ වගේ හදිසි අවස්ථාවක තමයි ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නෙ. අපි කවුරුවත් ආරක්ෂිත නැහැ. හැබයි කොවිඩ් වලින් අපිට උගන්වන පාඩම තමයි කොවිඩ් හරහා නිර්මාණය වුණ තත්ත්වය ඔය මම කියපු කාරණාව ඉතා තියුණු කරන ගමන්ම සමාජයක් හැටියට අපිට අපේ ජීවන ලෝකය බිඳ දැමීමට බරපතළ ලෙස මැදිහත් වීමක් සිදු වෙන ආකාරයක් පේන්න තියනවා.

විශේෂයෙන්ම අපි මේ වෙද්දි කොවිඩ් හා සම්බන්ධ මරණ, ආසාදිත වීම් ගෝලිය වශයෙන් සලකා බැලුවොත් ඉතා විශාල අගයක් ගන්නවා. දේශීය වශයෙනුත් ඒ හා සම්බන්ධ ඉතා විශාල සාකච්ඡාවක් තියෙනවා. ඊට උත්තර හැටියට මේ නවීන විද්‍යාව සහ තාක්ෂණය නූතනත්වය විසින් අපිට දීපු පොරොන්දු තියෙනවනේ. හැබැයි අපට පේනවා ඒව එහෙන්ම ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා.

හේතුව අපි අසමත් වෙලා තියෙනවා, අපිට ගොඩක් පොරොන්දු දීපු අපේ විද්‍යාව හා තාක්ෂණය තවම සමත් නොවීම තුළ covid 19 වෛරසයට ප්‍රතිකාරයක් සොයා ගැනීමට. ඒ නිසාම ඔවුන් අපිට යෝජනා කරන්නේ මේ වගකීම පුද්ගලයා ගන්න ඕනේ කියලා. පුද්ගලයෙක් ගන්න ගියහම ඒ වගකීම පුද්ගලයෝ කියලා කියන්නේ සමාජය සමග ගනුදෙනු කරන කණ්ඩායමක්. සමාජ අන්තර් සම්බන්ධතා කියන එක අපිට ලඝු කරන්නත් බැහැ, බැහැර කරන්නත් බැහැ. මොකද අපි සමාජ සංස්කෘතික සත්වයෝ නිසා.

සමාජ දුරස්ථභාව‍ය සහ සමාජ පන්තිය

විද්‍යාව තාක්ෂණය අසමත් වෙන තැන අපේ මානව සම්බන්ධතා සීමා කරන්න තමයි ඔවුන් යෝජනා කරන්නේ. පළවෙනි කාරණාව සමාජ දුරස්ථභාවය . සමාජ දුරස්ථභාවය පවත්ව ගන්න ගමන් මේ ගෝලීය පරිමානව නිර්මාණය වෙන මේ අර්බුදයට යම්කිසි තමන් ගැලවීම සඳහා දේවල් යෝජනා කරනවා. මේ සමාජ දුරස්ථභාවය වැනි සංකල්ප නඩත්තු කරන්න පුළුවන් වෙන්නේ එක්තරා පන්තියකට විතරයි.

සාමාන්‍යයෙන් අපි ගත්තොත් මුම්බායි වල දාරාවි කියලා කියන ආසියාවේ තියෙන ලොකුම නාගරික පැල්පත් ටික තියෙනවා. ලංකාවෙත් කොළඹ ආශ්‍රිතව අපට පේන්න තියෙනවා ඒවගේ පැල්පත්. එතකොට ඒ වගේ තැනක සමාජ දුරස්ථභාවය නඩත්තු කරනවා කියන එක බරපතල ප්‍රශ්නයක්. හැකියාවන් සහිත කණ්ඩායම් ඉතා පැහැදිලිවම මෙම උවදුරෙන් බේරී සිටිනවා.

මෙම උවදුරෙන් මිය නොයන තත්වයට පත්වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් සමාජයේ ආන්තීකරණය වුණ කණ්ඩායම් මෙහි ගොදුරු බවට පත්වෙනවා. ඒ නිසා මෙය එක පැත්තකින් සමාජය තුළ ගත්තහම ආන්තීකරණයට පත්වෙලා තියෙන සමාජය තුළ හයියක් නොමැති ප්‍රජාවන් ගිලගන්න රෝගයක් විදිහටත් අපිට සලකන්න පුළුවන්.

වසංගතයේ මාධ්‍යය

ධීවර කර්මාන්තය සමග corona පැතිරුණා කියන මතයක් සමාජ ගත කළා මේක කළේ මාධ්‍ය. තමන්ගේ අසල්වැසියා වරායේ වැඩ කරනවානම් අසල්වැසියාව දකින්නේ හතුරෙක් විදිහට. ඔහුව සැලකෙන්නේ කොවිඩ් ගේන කෙනෙක් විදිහට. අපි දැක්කා තමන් සමඟම ජීවත් වුන මුස්ලිම් ප්‍රජාව මෙහි ගොදුරු බවට පත්වෙනවා, පළවෙනි අදියරයේදී. ඒවගේම අපි දැක්කා නාවික හමුදාව ගොදුරු බවට පත්වෙනවා.

සමාජයේ මුල් බැහැගෙන තිබුණු ඒ රණවිරු කියන මතය අතික්‍රමණය කරමින් ඔවුන් සතුරන් බවට පත්වුණා. එතකොට මේ මාධ්‍ය මේ තත්ත්වයන් කළමනාකරණය කරන විදිහ, මේ අවදානම් සන්නිවේදනය කිරීම කියන එක අපිට පේනවා ඔවුන්ගේ රේටින් වැඩි කර ගන්න තමයි යොදා ගන්නේ කියලා. අපිට මාධ්‍ය වැදගත්. සමාජය සමඟ කරන ඕනෑම විග්‍රහයකදී මාධ්‍ය වැදගත්.

මාධ්‍යවලින් වියුක්තව අපිට සමාජය පිළිබඳ රූපකයක් ගොඩනගා ගැනීමට අසමත් ලෝකයක තමයි අපි අද ජීවත් වෙන්නේ. අවම වශයෙන් අපි දියුණු සමාජයක පවත්වාගත යුතු පුද්ගලිකත්වය රැකගැනීමට සහ මිනිස්සුන්ගේ ආත්ම ගෞරවයට හානි නොවී කටයුතු කිරීමට තරම්වත් පරිසරයක් මාධ්‍ය හදන්නේ නෑ. උදාහරණයක් හැටියට කියනවා නම් එක්තරා ප්‍රචලිත නාලිකාවක කොවිඩ් සම්බන්ධව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තරුණියන් ආශ්‍රිතව වෛරසය පැතිරයාමේ අවස්ථාවේදී අහනවා ඇඟලුම් සේවිකාවන් ඉස්සර පොසිටිව් වීම පිළිබඳ බියක් දැක්වූයේ කුමටද කියලා.

ඒ කණ්ඩායම පිළිබඳ සමාජ මතයනෙ මේ පෙන්නන්න හදන්නේ!. මාධ්‍ය කියන්නෙ මීට වඩා ඉදිරියට ගිය, විශේෂයෙන්ම ආපදා අභිමුඛ සමාජ පරිසරයක් ඇතුළත සංවේදී වැඩකරන තත්ත්වයකට යන්න ඕනෑ.

කොවිඩ් එක්ක ජීවත් වෙමු

අපිට ලෝකෙන්ම පේන්න තියෙන තත්ත්වයක් තමයි කොවිඩ් සමග තමයි අපිට ජීවත්වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ . බෙහෙතක් හොයාගත්තත් අපිට විශාල කාලයක් මේකත් එක්ක ජීවත් වෙන්න වෙනවා. එතකොට මේකත් එක්ක විශේෂයෙන්ම මිනිසුන්ගේ නිදහස එක පැත්තකින් අවහිර වෙනවා. නිදහසට වැඩිපුර කැමති ඇමෙරිකාව වැනි රටක මරණ සංඛ්‍යාව වැඩි වීමටත් එක් හේතුවක් මිනිසුන් තමන්ගේ නිදහස කැප කරලා මේකෙන් පරිස්සම් වෙන්න ගියේ නැති එක.

කොරෝනා වෛරසය මගින් ඇති කරපු එක් ව්‍යසනකාරී තත්ත්වයක් තමයි මානව අන්තර් සම්බන්ධතා වලට කරනු ලැබූ බලපෑම. විශේෂයෙන් ඔබ මතුකරපු කාරණාව දිහා බලපුවහම පේන දෙයක් තමයි අපි මිනිසුන් හැටියට සමාජමය කොටසක්. සමාජ අන්තර් සම්බන්ධතා පවත්වන්න, සමාජය සමඟ ළැදිව සාමූහික ජීවිතය ප්‍රිය කරන කණ්ඩායමක්. හැබැයි 2019 දෙසැම්බර් මාසයෙන් පස්සේ කාලාන්තරයක් තිස්සේ මානව සමාජයේ පැවති ඒ තත්ත්වය පළවෙනි වතාවට බරපතළ ලෙස අභියෝගයට ලක් වෙනවා.

එතකොට මේ අභියෝගයට ලක් වුණු ගමන්ම මානව සමාජය තුල මානව නිදහස හා සම්බන්ධව ගොඩනැගිලා තිබුණු කතිකාවත්, පෞද්ගලිකත්වය වගේ දේවල් බරපතළ විදියට අභියෝගයට ලක් වෙනවා. ගෝලීය වශයෙන් අද වෙනකොට ආසාදිතයන් මිලියන දෙකකට කිට්ටුවෙන්න මිය ගිහිං තිබෙනවා.

ඇමරිකන් සමාජයේ තමයි අපි දැක්කේ ලිබරල් නිදහස් සමාජයේ මූලික ලක්ෂන. නමුත් අද වෙනකොට කෝවිඩ් තත්ත්වයත් එක්ක නව සාමාන්‍ය තත්ත්වය යටතේ ඔවුන්ටත් ඒ නිදහස කැපකරන්න සිද්ධ වෙලා තියෙනවා. සාම්ප්‍රදායික සමාජ විද්‍යාව ඇතුළු මේ තත්ත්වයන් විග්‍රහ කරන විෂයන්වල, මිනිසුන් සමාජ සත්වයන් කියපු එක දැන් මිනිසුන් පෞද්ගලික සත්ත්වයින් බවට පත්කරන තත්ත්වයටම ඇවිත් තියෙනවා.

එය බරපතළ තත්ත්වයක්. හැබැයි අපිට ඉතා පැහැදිලිවම ඊට ඉදිරිපත් කිරීමට විකල්ප ඉදිරිපත් වෙලා නෑ. ඒ නිසා අපිට කවදාවත් පෙර පැවති තත්ත්වයම මුණගැහේවි කියලා විශ්වාස කරන්න බැහැ අවුරුදු ගණනාවක් යනකං.

ආර්ථික අර්බූදය

කොවිඩ් විසින් විශාල සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ අර්බුද අතරෙනුත් ආර්ථික අර්බුදය හරිම ප්‍රබල අර්බුදයක් බවට පත්වෙනවා. එය ආර්ථික අර්බුදයේ බලපෑම ආන්තික ප්‍රජාවන්ට දැනෙන ප්‍රමාණය තියුණු වෙනවා, අනෙකුත් කණ්ඩායම් සමග සංසන්දනය කරන විට. මම මෙතනදී ආන්තික කියල කිව්වෙ ධීවර, රා මදින, ඇඟලුම් වගේ ප්‍රජාවන්.

එදිනෙදා කුලී වැඩ කරලා ජීවිතය ගොඩනඟා ගත්ත මිනිස්සුන්ගේ ජීවිතය බිඳවැටෙනවා ඉතා පැහැදිලිවම මේ ආර්ථික අර්බුදයත් එක්ක. ආර්ථිකය බිඳ වැටුණු ගමන් අපි දන්නවා ඒ එක්කම මතුවෙන ඊළඟ ගැටළු මොනවද කියලා. දැන් මේ තත්ත්වයෙන් ගොඩ එන්න මොකද්ද අපිට කරන්න පුළුවන් දේ කියන එකනෙ අපි හොයන්න ඕනේ. රජයට ඉතා පැහැදිලි ලෙස වගකීමක් තියෙනවා මේ බිඳ වැටෙන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න. සමාජයේ නිරෝගිමත් භාවය උදෙසා.

එතකොට කොහොමද ඒක කරන්නේ. රජය පැත්තෙනුත් රජයට ආදායම් නෑ. ගෝලීය පරිමානව අපේ ආර්ථිකය බිඳ වැටිලා. ඇඟලුම් කර්මාන්තය සහ තේ කර්මාන්තය බිඳ වැටිලා. රජය පැත්තෙනුත් රජය මැදිහත් වෙන්න ඕන සමාජ සුභ සිද්ධිය උදෙසා. මේ මතුවෙලා තියෙන සමාජ තත්ත්වය හරවන්න ඕනේ හොඳ පැත්තකට. ඒ හොද පැත්තට කළමනාකරණය කිරීමේදී ඒ අදාළ ප්‍රජාවන් වෙනුවෙන් නිශ්චිතවම හදුනාගෙන යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කම තියෙන්න ඕනේ.

උදාහරණයක් හැටියට කියනවා නම් රජය විසින් හැමෝටම මුදලක් ලබා දෙනවා. ඇත්තටම රජය නැවත සලකා බලන්න ඕනේ හැමෝටම මෙය අවශ්‍යද කියලා. එහෙම නැත්තං සමෘද්ධිය වගේ සහන අපි දන්නවා නිශ්චිතවම මේවා දේශපාලනික සහ වෙනත් ඥාති සම්බන්ධකම් මත නොලැබෙන්න ඕනේ ප්‍රජාවන්ට ලැබෙනවා කියලා.

එතකොට මේ මුදල ලබා දීම කොවිඩ් මගින් අසරණ වුන පවුල් වලට පමණක් ලැබෙන විදිහට වැඩපිළිවෙළක් සකසන්න ඕනේ. අනෙක් පැත්තෙන් ප්‍රජාවටත් තියනවා වගකීමක් හැකිතාක් දුරට පරණ ජීවන ශෛලිය අමතක කරලා නව තත්වයන්ට ගැලපෙන විදිහට අපේ අයවැය සකස් කර ගැනීමට.

ඒ වගේම අපිට පුළුවන් තරම් දේශීයව ගෘහස්ථව සකසා ගන්න පුළුවන් දේවල් පාවිච්චි කරන එක. ඒත් එක්කම අද මත්ස්‍ය කර්මාන්තය බිඳ වැටිලා තියෙනවා, මාළු වලට කොරෝනා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. භීතියක් නිර්මානය කරලා තියෙනවා ධීවර කර්මාන්තය ආශ්‍රිතව. එතකොට මේ ප්‍රජාව මෙවැනි තත්ත්වයකට පත් නොවීමට අපිටත් සමාජය හැටියට මැදිහත් වෙන්න හැකියාවක් තියෙනවා.

ඉතින් ඒ වගේ පුළුල් සැලසුම්කරණයක් සහ ඉදිරි දැක්මක් ඇතුළෙ තමයි මේකට උත්තර හොයන්න වෙන්නේ. සරල උත්තරයක් නෑ. ඒකම තමයි මේ නව සාමාන්‍ය තත්වය යටතේ අපිට ඉස්සරහට තියෙන අභියෝගය. කොහොම නමුත් එයට උත්තර දෙන්න නොහැකි වුණොත් සමාජ අසහනය, හොරකම, අපරාධ, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි දේවල් නිර්මාණය වීම වළක්වන්න බැහැ!.

Advertisement

Videos

Featured Video Play Icon

පුවත්පත් මණ්ඩලය කැලෑ උසාවියක් – K Sanjeewa

Featured Video Play Icon

ජිනීවා සමුලුවට දෙපැත්තෙන්ම බර ආයුධ

Facebook Page