පොලිසි‌යේ දී ඇට කැඩෙන තුරු පහර කෑ දිල්ශාන්ගේ කතාව

 - April 27th, 2021 - 

‘මිරිස් සහිත රෙදි කෑල්ලක් කටේ ගැට ගැහුවා, හිටගෙන ඉන්නවත් බැරිව හිටිය මට ’උඩ පැනපන් ’ කිව්වා, මට එතනම මුත්‍රා ගිහින් තිබුණා’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණේ පොලිස් වධහිංසාවට ලක් වූ තෙලිජ්ජවිල තරුණයෙකි. ඔහුට පහරදී තිබුණේ වැරදීමකිනි. ‘මගේ අම්මාට වැන්දා එයා අතින් ලොකූ වැරදීමක් වුණා කියලා.’ යැයි ඔහු කියයි. මේ ඔහුගේ අත්දැකීමය.

පෑලිගලහේන, රබර් කොටුව, තෙලිජ්ජවිල පදිංචි වලවේ දූරගේ දිල්ශාන් මධුසංඛ තෙලිජ්ජවිල ප්‍රදේශයේ ත්‍රී ස්ටාර්ස් නමින් ජංගම දූරකථන අලෙවි සැලක් පවත්වා ගෙන පුද්ගලයෙකි.

ඔහුට පහරදීමේ සිදුවීමක් පිළිබඳ විමර්ශනය කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ පී.එස්. ගුණවර්ධනගේ අත්සන සහිත ලිපියක් පසුගිය වසරේ සැප්තැම්බර් 23 වැනිදා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ලිපියක් යොමු කර තිබුණි. ඒ දිල්ශාන් මධුසංඛගේ මව රූපා පතිරණගේ කළ පැමිණිල්ලක් අනුවය. ඇය තම පුතාට පහරදීමේ සිදුවීම පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර වෙත පැමිණිලි කර ඇති අතර අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සීඩී ලියනගේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ඒ පිළිබඳ විමසා ලිපියක් යවා ඇත. ඇය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇති අතර, ඊට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු සහිත ලිපියක් යොමු කර ඇත.

මේ පැමිණිලි 2020 වර්ෂයේ අගෝස්තු සිට දෙසැම්බර් දක්වා කර ඇති ඒවාය. එහෙත්, 2021 පෙබරවාරි දක්වා ඒ ගැන විමර්ශනය අවසන් කර නොතිබුණි. තවමත් දිල්ශාන් මධුසංඛට සාධාරණයක් ඉටු වී නැත. මේ රූපා පතිරණගේ මහත්මිය කළ පැමිණිලිවල තිබුණු කරුණු සහ දිල්ෂාන් මධුසංඛ තරුණයා සමඟ අප කතාබහ කර ලබා ගත් තොරතුරු මත පදනම්ව ඔහුගේ අත්දැකීම පෙළගැස්වීමකි. මෙතැන් සිට එන්නේ ඔහුගේ පැත්තේ කතාවය. ඒ කතාව තහවුරු කරන්නට වෛද්‍ය වාර්තා, සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන්ගේ දිවුරුම් ප්‍රකාශ කිහිපයක් මෙන්ම සිරුරේ තුවාල සහිත ඡායාරූප ඔහු අපට පෙන්වීය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිදු වූ සිදුවීම් ගැන මේ අප්‍රේල් මාසයේදී ඔහු මාධ්‍ය වෙත කීවේ ඇයිදැයි කෙනෙකුට සැකයක් ඇති විය හැක. ඇත්තටම ඔහු මීට පෙර ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකුට සම්පූර්ණ සිදුවීම කියා තිබුණත්, ඒ මාධ්‍යවේදියා ඔහුට දැනුම් දී තිබුණේ එය ලංකාදීපයේ පළ කළ නොහැකි බවය. ව්‍යාජ තොරතුරු සහිත පොලීසියේ බී වාර්තා පොලිසිය පැත්තෙන් නිතර පළ කරන ලංකාදීපයට වින්දිතයෙකුගේ පැත්තෙන් කතාවක් පළ කිරීමට නොහැකි වීම පුදුමයක් නොවේ. ඔහු තම මිතුරෙකුගේ උපදෙස් මත අපට කතාව කීවේ මඳක් කල් පසුවීය.

පසුගිය වසරේ අගෝස්තු 24දා මාලිම්බඩ පොලිසියේ නිලධාරීන් තෙලිජ්ජවිල ප්‍රදේශයේදී දිල්ශාන් අත්අඩංගූවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමට හේතූව ලෙස පවසා ඇත්තේ තෙලිජ්ජවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්පැන් අලෙවිසැලක සිදුවු මුදල් සොරකමකට දිල්ශාන් සම්බන්ධ බවය. එම අලෙවිසැලේ සවිකර තිබුණු සීසීටීවී දර්ශනවල සටහන් වී තිබුණු රූපරාමුවල අදාල සොරකම සිදු කළ පුද්ගලයා දිල්ශාන්ට සමාන බව කියා තිබුණි.

‘තෙලිජ්ජවිල වයින් ස්ටෝර්ස් එකේ වැඩකරන කෙනෙක් මට දූරකථන ඇමතුමක් ලබා දීලා කිව්වා ඔහු පොලිසියෙන්, මට වයින් ස්ටෝර්ස් එක ළඟට එන්න කියලා. මගේ යාළුවෙක් එක්ක බයික් එකේ වයින් ස්ටෝර්ස් ළඟට ගියා. ඒ වෙලාවේදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් මා අල්ලගෙන එතැන තියෙන කාමරයකට එක්ක ගෙන ගියා. ඒ කාමරයේ හිටපු මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති විජේසේකර මහත්තයා මට අසභ්‍ය වචනවලින් බැන වදිමින්, මගේ මුහුණට, පපුවට පහරදෙමින් වයින් ස්ටෝර්ස් එකෙන් හොරකම් කරපු මුදල් තියෙන්නේ කොහේද කියලා ඇහුවා. මම කිව්වා ඒ ගැන කිසිවක් දන්නේ නැහැ කියලා. එහෙම කියද්දී ඒ මහත්තයා කිව්වේ සීසීටිවී කැමරාවල ඉන්නේ උඔ තමයි, උඔට කොහොමත් මේ නඩුව මම දානවා කියලා. මට තර්ජනය කළා. ඉන්පස්සේ කාර් එකක මාව දාගෙන මාලිම්බඩ පොලිසියට එක්කගෙන ගියා.

පොලිස් ස්ථානයේ පිටිපස්සට මාව එක්කගෙන ගිහින් අත්දෙක පිටිපස්සට කරලා මාංචු දාන්න යනකොට මම කිව්වා මගේ අතක් එකපාරක් කැඩිලා තියෙන්නේ ඒ නිසා දාන්න එපා කියලා. ඒත් මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපති ජයවික්‍රම මහත්තයා අත්දෙක පිටිපස්සට කරලා මාංචු දාලා, අත් දෙක දෙපැත්තට කර පහර දුන්නා. එතනදීත් කිවුවා ඇත්ත කියපන් නැත්නම් කුඩු දාලා හරි උඔව ඇතූළට දානවා කියලා.

විනාඩි 45 කින් විතර මාංචු ගලවලා අත්දෙක ඉස්සරහට කරලා ආයෙත් මාංචු දැම්මා. සැරෙන් සැරේ ඇත්ත කියපන් කියමින් පොලිස් ස්ථානාධිපති ජයවික්‍රම සහ අපරාධ අංශයේ ස්ථානාධිපති විජේසේකර නිළධාරීන් දෙන්නා මට පහර දුන්නා. 25 වෙනිදා උදේ කූඩුවෙන් එළියට අරගෙන බිම වාඩිවෙන්න කියලා, විජේසේකර මහත්තයාගේ කකුලෙන් මගේ බෙල්ලට, කකුල්වලට සහ මුහුණට ගැහුවා. ඒ කාමරයේ තිබුණ විකට් කූරක් අරගෙන ගැහුවා. ටික වෙලාවකට පස්සේ මා ආයෙත් පොලිස් ස්ථානයේ පිටිපස්සට එක්කගෙන ගිහින් ස්ථානාධිපතිතූමාගේ ළඟ සිවිල් ඇදුමෙන් හිටපු පොලිස් නිළධාරීයෙක් මිරිස් රෙදි කෑල්ලක තියලා අඹරලා මගේ කටේ ඒ රෙදි කෑල්ල ගැට ගහලා ඇත්ත කියපන් කිව්වා. සැරෙන් සැරේ එළියට අරගෙන මට පහර දුන්නා.

එදා රාත්‍රී 9.30 ට විතර ජීප් රථයකින් මාතර පොලිසියට අරගෙන ගියා. මාතර පොලිසියේ තෙලිජ්ජවිල අංශය කියා හඳුන්වන කොටසට මාව එක්කගෙන ගිහින් අත්දෙක පිටිපස්සට කරලා මාංචු දාලා මට යලිත් පහර දුන්නා. ඒ වෙලාවේත් ඔවුන් මගේ මුදල් කෝ කියලා ඇහුවා, මුදල් කොහේද තියෙන්නේ කියලා කිව්වේ නැතිනම් කිරල කැලේට එක්කගෙන ගිහින් බෝම්බයක් හරි දානවා කියලා එතැන සිවිල් ඇදුමෙන් හිටපු පොලිසි නිලධාරීයෙක් තර්ජනය කළා.

අගෝස්තු 26 වෙනිදා උදේ මගේ පවුලේ අය සහ යහළුවෝ ටිකක් මා බලන්න පොලිසියට ආවා. උදේ ඉදලා එදා රාත්‍රී වෙනකම් කූඩුවෙන් එළියට අරගෙන ප්‍රශ්න කළා. 27 වෙනිදා උදේත් කූඩුවෙන් එළියට අරගෙන ඇහුවා, මුදල් කෝ කියලා. මම දිගින් දිගටම පැහැදිලි කළා කිසි දෙයක් දන්නේ නැති බව. එදා මා බලන්න ගෙදර අය ආවා. පවුලේ අය මාව උසාවියට ඉදිරිපත් කරන්න යැයි පොලිසියට ඉල්ලීමක් කරන්න නීතිඥයෙක් පොලිසියට එවලා තිබුණා. නීතිඥ මහත්තයා මගෙත් එක්ක කතා කරලා පොලිසිසියෙන් එළියට ගියාට පස්සේ මා කූඩුවෙන් එළියට අරගෙන, තෙලිජ්ජවිල අංශයට ගෙන ගිහින් මේසයක් මත හාන්සි වෙන්න කියලා යටි පතුල්වලට පොලුවලින් ගැහුවා. ඉන්පස්සේ මා නැගිට්ටවලා උරහිස්වලටත් පොලු 3කින් ගැහුවා.

එක පොල්ලක් කැඩිලා, ඒ පොල්ලේ තුඩක් වම් කකූලේ දණහිසට පහළින් ඇණිලා එතැන සිදුරු වුණා. ඒ කකූලෙන් ලේ ගලාගෙන එද්දීත්, විනාඩි 40 ක් විතර එක දිගට මගේ යටි පතුල්වලටයි, උරහිස්වලටයි දිගටම පහර දුන්නා. ඉන්පස්සේ මට නැගිටින්න කිව්වා. ඒ වෙද්දීත් මට නැගිට ගන්න බැරි විදියට කකූල් ඉදිමිලා තිබුණේ. නැගිටින්න ගිහින් මාව වැටුණා. නැගිටපන් උඔව දැන් උඩ එල්ලන්න යන්නේ කිය කියා විජේතුංග මහත්තයා මට ගැහුවා.

ඔහු ලඟ හිටපු නිලධාරීයෙකුට මුදල් දුන්නා කඹයක් ගේන්න කියලා. ඒ වෙනකොටත් ගහපු පහරවල් දරාගන්න බැරිව මට එතනම මුත්‍රා ගිහින්.

මා ආපහු තෙලිජ්ජවිල පොලිසියට ගෙනිච්චා. එතන හිටපු නිලධාරීන් වතුර බෝතල්වලින් සහ අත්වලින් මගේ කණට ගැහුවා. හිටගෙන ඉන්නවත් බැරිව හිටිය මට කිව්වා උඩ පැනපන් කියලා. ඒ අවස්ථාවේදී අපේ නීතිඥයා ආවා. ඔහු දැක්කා පොලිසියෙන් මට පහර දීලා තුවාල වෙලා තියෙන බව. නීතීඥ මහත්තයා එක්ක මගේ අක්කාත් ආවා. ඇය පොලිස් නිලධාරීන්ගෙන් ඇහුවා ඇයි මල්ලිට ගහන්නේ කියලා ඔවුන් කීවේ මම වයින් ස්ටෝර්ස් එකෙන් මුදල් සොරකම් කරලා, ඒකට සාක්ෂී සීසීටීවී වීඩියෝ තියෙනවා කියලා. ඇය ඉන්පස්සේ කීවා වීඩියෝ තියෙනවා නම් ඇයටත්, ඒවා පෙන්වන්න කියලා.

පොලිස් නිලධාරීන් ඒ විඩියෝ පෙන්වන කොට මගේ පවුලේ හැමෝමයි, යාළුවෝ ටිකයි එතනට ආවා. හැමෝම විඩීයෝ එක බලමින් සිටිය වෙලාවේ මාලිම්බඩ පොලිස් ස්ථානයේ තෙලිජ්ජවිල අංශයේ සථානාධිපතිවරයා මගේ දූරකථනයයි, හෙල්මට් එකයි අරන් ඇවිත් විජේතූංග මහතාට භාර දී ගියා. ඒ වෙලාවේ මගේ ගෙදර අයයි, යහළුවෝ ටිකයි පොලිසියෙන් ප්‍රශ්න කළා මගේ හෙල්මට් එකයි, සීසීටීවී විඩීයෝවේ තියෙන හෙල්මට් එකයි වෙනස් කියලා.

වීඩියෝව දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා, ඔවුන් තේරුම් ගත්තා මා සහ ඒ කෙනා සමාන නැති බව. ඊට පස්සේ විජේතුංග මහත්තයා මගේ අම්මාට වැන්දා. එයා අතින් ලොකූ වැරදීමක් වුණා. මේක එයාගේ ජීවිතේට සිදුවුණ දෙවනි වැරැද්ද කියලා සමාව ඉල්ලුවා. මගේ පවුලේ අය මාව රෝහල්ගත කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒත් ඔහු කිව්වා රෝහල් ගත කරන්න ඕනෑ නැහැ, හැමදේම බලාගන්නම් කියලා. ඉන්පස්සේ 1990 සුවසැරියක් ගෙන්වා ගිලන් රථයේ තියාගෙන තුවාලවලට බෙහෙත් දැම්මා. විජේතුංග මහත්තයා මගේ යාළුවෙක්ට සල්ලි දීලා. බෙහෙත් ගෙන්න ගත්තා. තෙලිජ්ජවිල අංශයේ නිලධාරීන් තමයි තුවාලවලට බෙහෙත් ගෑවේ. මගේ අම්මා ඒ වෙලාවේ ඇහුවා පුතා ගෙදර එක්කගෙන යන්නද කියලා එතකොට විජේතුංග මහත්තයා කිව්වා දැන්ම යවන්න බැහැ. දූරකථන ඇමතුම් විස්තර ටිකක් එන්න තියෙනවා. ඒවා ආවාට පස්සේ යන්න පුළුවන් කියලා. හවස ගෙදර අය ගියා.

අගෝස්තු 28 වෙනිදාත්, මගේ තුවාලවලට බෙහෙත් කරමින් පොලිසිය ඇතුලේම හිටියා. 29 වෙනිදා මා ගෙදරට එක්කගෙන ආවා. අම්මාට පොලිස් නිලධාරීන් කීවා කකුල්වල ඉදිමුම බහින්න ටිකක් තවන්න කියලා. විජේතුංග මහත්තයා කිව්වා ඕනෑ නම් පොලිස් නිලධාරීයෙක් ගේ ඉස්සරහා නවත්වලා යන්නම් කියලා.

පසුවදා පවුලේ අය එක්ක මාතර පොලිස් අධිකාරී කර්යාලයට ගිහින් මට පොලිසියෙන් සිදු වුණු පහරදීම් සහ අසාධාරණය ගැන කියා එම සිද්ධියට පැමිණිල්ලක් විභාග කරන්න ඕනෑ කිව්වා. ඒ අවස්ථාවේදී එතැන සිටි පොලිස් අධිකාරීවරයෙකු අපිට තරහින් බැන වැදුණා. ඔහු කීවේ මින් ඉදිරියට කිසිම පොලිසිකට ගිහින් මේ ගැන කියන්නත් බැහැ, රෝහල් ගත වෙන්න ඕනෑත් නැහැ කියලා. පොලිසියේ හැටි දන්නවා නේද, ගොරකත් දඩමස් කරන්න පුළුවන් අපිට කියා ඔහු තර්ජනය කළා.

ඉන්පස්සේ සමුපකාර රෝහලට දින කිහිපයක් තුවාලවලට බෙහෙත් දාන්න මාතර පොලිස් ස්ථානයේ නිලධාරීන් මා එක්කගෙන ගියා. ඒත් 31 වෙනිදා රෝහලට යද්දී මගේ පපුවේ වේදනාවක් ඇති වුණ නිසා සමුපකාර රෝහලෙන් එක්ස්රේ එකක් ගත්තා. වෛද්‍යවරයා කිවේ තැලීම් නිසා වේදනාව ඇවිත් තියෙන්නේ කියලා. ඉන්පස්සේ දිනයක දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට දූරකථන ඇමතුමක් දීලා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගියා. ඒ අවස්ථාවේදී මගේ තුවාල පෙන්නුවාම ඔහු කීවේ විජේතුංග මහත්තයා හැමදේම බලාගනීවී. මින්පස්සේ පොලිස් නිලධාරීන්ගෙන් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. අවශ්‍යතාවක් වුණොත් ඔහුට දූරකථන ඇමතුමක් දෙන්න කියලා.

සතියකට ආසන්න කාලයක් ගත වුණත් මගේ කකුල්වල ඉදිමුම බහින්නේ නැති නිසා, සැප්තැම්බර් 14 වෙනිදා පොලිස් නිලධාරීන් මා ආපහු සමුපකාර රෝහලට අරගෙන ගියා. මගේ කකුල් දෙකේ එක්ස්රේ ගත්තා. ඒ එක්ස්රේ බලපු වෛද්‍යවරයා කිව්වේ කකුල් දෙකේම යටිපතුල්වල අස්ථි කැඩිලා කියලා. ඒත් මා ගෙදරට ගෙනල්ලා බස්සලා පොලිස් නිලධාරීන් අම්මාට කිව්වේ පොඩි ඩැමේජ් එකක් වෙලා තියෙන්නේ, ඒක පෙන්නමු කියලා. සැප්තැම්බර් 16 වෙනිදාත් රෝහලට යන්න කලින් විජේතුංග මහත්තයා කිව්වා වෛද්‍යවරයා ඇහුවොත් කියන්න තාප්පෙකින් වැටිලා තූවාල වුණේ කියලා. මම පොලිසියට තියෙන බයට වෛද්‍යවරයාට කිසිම දෙයක් කිව්වේ නැහැ. එදා මම ගෙදර ආවේ කිහිලිකරු දෙකකින්. පොලිසියේ මහත්වරු කිව්වා රෝද පුටුවක් ගෙදරට එවන්නම්, බය වෙන්න එපා කියලා.

කිසිම පොලිසියකින් මට වුණු අසාධාරණය ගැන අහන්නේ නැති නිසා මම මේ සිද්ධිය ගැන විස්තර ලියලා අගෝස්තු 26 වෙනිදා පොලිස් කොමිෂන් සභාවට ලිපියක් යැවුවා. ඒකට කට උත්තරයක් ගන්න මාතර පොලිස් අධිකාරි කාර්යාලයට එන්න කියලා සැප්තැම්බර් 29 වෙනිදා අපිට ලිපියක් ආවා. කටඋත්තරය දෙන්න මමයි, අම්මයි ඒ කාර්යාලයට ගියාම අපිට හොදටම පොලිස් නිලධාරීන් බැන්නා. කියන දේ අහන්නේ නැතිව ඉහළට පැමිණිලි කරලා කියලා.’

ඒ දිල්ෂාන්ගේ අත්දැකීමේ සංක්ෂිප්ත කොටසකි. මේ පිළිබඳ පොලිස් කොමිසමට කළ පැමිණිල්ල පිළිබඳ කටඋත්තරයක් ගනු ලැබුවත්, විභාගයක් හරිහැටි කර තිබුණේ නැත. පොලිස් කොමිෂන් සභාවේ මහජන පැමිණිලි විමර්ශන නියෝජ්‍ය අධ්‍යක්ෂ එල්.එච්.කුරේ මහතාගේ අත්සන සහිතව නැවත මාතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්්‍යාලය වෙත 2021 පෙබරවාරි 15 වන දින ලිපියක් යොමු කරමින් නියෝග කර ඇත්තේ එම විමර්ශනයේ වාර්තා පෙබරවාරි 28 දිනට පෙර පොලිස් කොමිෂන් සභාව වෙත එවන ලෙසය. ඒ නියෝග අනුව විමර්ශන වාර්තා පොලිස් කොමිසමට යවා ඇතිදැයි මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ගෙන් අපි විමසීමක් කළෙමු. ප්‍රතිචාර ලෙස කීවේ විමර්ශන වාර්තාවක් යවා ඇති බවත්, වැඩි විස්තර අවශ්‍ය නම් තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කරන ලෙසය. පොලිස් කොමිෂන් සභාවෙන් මේ ගැන විමසීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.

දැන් දිල්ශාන් ඉන්නේ වේදනාවෙනි. ‘මම දන්නේ නැහැ මගේ ඇඟේ මොන ප්‍රශ්න තියෙනවාද කියලා. මට බයයි මගේ ජීවිතය ගැනත්. මගේ දූරකථන අලෙවිසැලේ වැඩ කරගෙන යන්නත් මට අමාරුයි. හිටගෙන ඉන්න බැහැ. වම් කකුල හැම තිස්සේම රිදෙනවා. වම් අතේ මැණික් කටුව ළගින් අත ඇද වෙලා. දකුණු අත සැරින් සැරේ රිදෙනවා.’ ඔහු එසේ කීවේ වේදනාවෙනි.

දිල්ශාන්ගේ මේ කතාව පිලිබඳ තවත් වචන කුමකටද? ඔහුගේ මේ කතාව සහ ඡායාරූපවලින් පෙනෙන්නේ ඔහුගේ කතාවේ තරමය. මේ ගැන විමර්ශන කළේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියෙන් වීම හොරාගෙන්ම පේන ඇසීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත්, දිල්ශාන් ඉන්නේ යුක්තිය ගැන බලාපොරොත්තු තබාගෙනය.■

උපුටා ගැනීම – anidda.lk

Advertisement

Videos

Featured Video Play Icon

දරුවෙකුගේ කන පැලූ ගුරුවරයාට අධිකරණයෙන් දුන් තීන්දුව

Featured Video Play Icon

Lasantha Jagath Kumara Torture | පොලීසියේ අවම බලය බිලිගත් ජගත් කුමාර

Facebook Page