ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්! – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

 - April 30th, 2021 - 

හොඳට ගුටි කාලා, හොඳට හැදෙන මේ රටේ තවමත් අ‌පේ දරුවෝ සමාන කරලා තියෙන්නෙ කිරි හොද්දකට. අපි මේ කිරි හොද්ද හැඳි ගාමින් ඉන්න නිසා තමයි අපේ රටේ ප්‍රචණ්ඩත්වය, යොවුන් ප්‍රචණ්ඩත්වය, වැඩිහිටි ප්‍රචණ්ඩත්වය මේ තරම් වැඩි. ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ ළමා අපයෝජන වලින්, ශාරීරික දඬුවම් තමයි බහුලවම සිදු වෙන ළමා අපයෝජනය. ඒ අතින් ශ්‍රී ලංකාව ලෝකයේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් කළ රටවල් 196න් කෘරත්වයට එරෙහි ආරක්ෂාව අවම රටවල් 10 දක්වා පහත වැටිලා තියෙනවා. අපි ඇත්තටම මේ ගැන කණගාටු වෙන්න ඕනෑ. ලැජ්ජා වෙන්න ඕනෑ.

මෑතකදී මේ චක්‍රය මදක් නැවැත්වීමට අපේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික සහ ස්වර්ණමය තීන්දුවක් ලබාදුන්නා. ඒ 2017 දී පාසල් ගුරුවරයෙක්, දරුවෙකුගේ අපි ව්‍යවහාරයේ කියන ආකාරයට “කනපැලීම” සම්බන්ධයෙන්. එම නඩුවේ තීන්දුව ලබාදුන්නේ 2021 පෙබරවාරි. එම අවස්ථාවේදී එතුමන්ලා අංශ පහක් ඔස්සේ මේ නඩු තීන්දුව ලබා දුන්නා. එකක් තමයි මේ රටේ ව්‍යවස්ථාව. ඒක සාමාන්‍යයෙන් කරන දෙයක්. සෑම පුරවැසියෙකුටම ඇති ස්වෛරීව, ස්වාධීනව බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය. ඒක අලුත උපන් බිළිදෙකුට, අවුරුදු හතක දරුවෙක්ට, අවුරුදු 90 ක සීයා කෙනෙකුටත් එක වගේ. දෙවැන්න තමයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ අපේ චක්‍ර ලේඛන තියෙනවා.  දරුවන්ට ගහන්න එපා කියලා. එම චක්‍ර ලේඛන එක් දහස් නවසිය විසි ගණන්වල ඉඳලා අලුත් වෙමින් 2016 නවතම චක්‍ර ලේඛනය නිකුත් කරලා තියෙනවා. ඒක විධිමත් කළ යුතුයි කියන එක. තුන්වෙනුව සාමාන්‍යයෙන් නඩු තීන්දුවක් දෙන්නේ සමාජ මතයට අනුව. සමාජයේ ආකල්ප ඔස්සේ යන නඩු තීන්දුවක්. බොහෝවිට අපේ දරුවෙක්ට කරන අපරාධ අපේ සමාජමය වශයෙන් සාධාරණීකරණය කරනවා. අපිට ගහපු නිසා අපි හොඳින් ඉන්නවා කියන මතයක් තියෙනවා.  නමුත් මේ අවස්ථාවේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයත් හැඳි නොගා හදන හොද්දයි නොගහ හදන දරුවයි කියන ඒ යල් පැන ගිය මතය ප්‍රතික්ෂේප කරලා, මේ නඩු තීන්දුව සිංහලෙන්ම ලියලා දීලා තියෙනවා.මේක අපිට දැන් භාරගන්න බැහැ කියලා.

හතරවෙනි කරුණ සාමාන්‍යයෙන් රටක නීතිය. විශේෂයෙන් ළමා ආරක්ෂණය සම්බන්ධව අපේ රට තුළ නීතිය අපි සම්පාදනය කරලා තියෙන්නේ 1991 දී ළමා අයිතීන් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් කරපු නීතිය අනුව. එහිදී මුල් ඛණ්ඩයේම සඳහන්වෙනවා දරුවෙකුට එරෙහි හිංසනය අපිට පිළිගන්න බැහැ. එම හිංසනය කෙතරම් සියුම් වුණත් අපිට පිළිගන්න බැහැ කියලා. ඒ කියන්‌නේ කනට ගැහුවත්, එහෙම නැත්නම් කන පැලෙන්න ගැහුවත්, ටොක්කක් ඇන්නත්, නැත්නම් දණ ගැස්සුවත්, වේවැලකින් ගැහුවත් ඒ සියල්ල එක හා සමානයි කියන දේ. ඒ කිසිවක් පිලිගන්න බැහැ කියලා. ඒ වෙනුවට ධනාත්මක විනය පාලනය තමයි ඔවුන් නිර්දේශ කරලා තියෙන්නෙ. එම නිසා මේ අවස්ථාවේදී ගරු අධිකරණයත් එය අනුමත කළා.

අවසාන වශයෙන් බොහෝ විට වෙන්නේ අපේ රටේ නීතිය උල්ලංඝනය කරොත් මොනාහරි වුනොත්, එක එක ආණ්ඩු ඇවිල්ලා කියනවා ඒක ඒ කාලේ සිදු වුණ දෙයක්. ඒ ගොල්ලන්ගෙ කාලේ සිදු වුණ දෙයක් නෙවෙයි. කලින් ආණ්ඩුව කාලේ සිදු වෙච්ච දෙයක්. ඒ විදිහට මග හරිනවා. නමුත් මේ අවස්ථාවේදී වග උත්තර පාර්ශවකරුවන් හැටියට 2017 හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් සහ එතුමාගේ ලේකම් ඒ වගේම ඒ ගුරුවරයා සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ඒ වගේම නඩු තීන්දුව ලබා දුන් 2021 දැන් සිටින අධ්‍යාපන ඇමති මහාචාර්ය මහාචාර්ය ජී.එල්. පීරිස්, එතුමාගේ ලේකම්තුමා මේකට වග උත්තර පාර්ශවය හැටියට යොදාගෙන තියෙනවා. මොකද ඒ තමන්ගේ වගකීම, වගවීම පැහැර හරින්න බැහැ කියන එක අවධාරණය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක අතිවිශිෂ්ට, සුවිශේෂී, ඓතිහාසික, නඩු තීන්දුවක්. අනිත් කරුණ තමයි ඒ ගුරුවරයාට පෞද්ගලිකව ගෙවන්න දඩ මුදලක් නියම කළා. ඒ වගේම ප්‍රථම වරට මෙහිදී අධ්‍යාපන අමාත්‍යංශයට රජය වශයෙන් රු. ලක්ෂ 5 ක දඩ මුදලක් ගෙවන්න නියම කළා. එහෙම කළේ ඇයි? ඔය දඩ මුදල ගෙවන්නේ පෞද්ගලිකව, අධ්‍යාපන ඇමතිතුමාගේ පොකැට්ටුවෙන් නෙවෙයිනෙ. අපේ බදු මුදල් තමයි මේ විදිහට ගෙවන්නේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ මෙහෙම දෙයක් සිද්ධ වෙන්න, මුළු සමාජයම වග කියන්න ඕනෑ, ඒ වගකීම තමයි එතුමන්ලා ඒ අවධාරණය කරන්නේ. මම හිතන්නේ අපි වඩාත් කැපවීමෙන්, බොහොම සහකම්පනයෙන්, ආදරයෙන් මේ දරුවන්ව රැක බලාගත යුතුයි. මේ ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි.

Advertisement

Videos

Featured Video Play Icon

දරුවෙකුගේ කන පැලූ ගුරුවරයාට අධිකරණයෙන් දුන් තීන්දුව

Featured Video Play Icon

Lasantha Jagath Kumara Torture | පොලීසියේ අවම බලය බිලිගත් ජගත් කුමාර

Facebook Page