Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

මත්ද්‍රව්‍ය චෝදනාව හෙතුවෙන් උසස් පෙළ අහිමි වු සිසුවා

පසුගිය ඔක්තෝබර් මස පැවති අ: පො: ස උසස්  පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි දොඩන්ගස්ලන්ද ප්‍රදේශයේ සිසුවෙකුව හරියටම ඊට දින දෙකකට පෙර ගංජා තබාගත්තා යයි චෝදනා කොට ගොකරැල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවුවද පසුදින එම සිසුවා උසාවියට ඉදිරිපත්කර ඇත්තේ හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බවට  සකස් කල පැමිණිල්ලක් මත එනම් 54 වගන්තිය අනුවය.

ඒ අනුව සිසුවා රිමාන්ඩ් බාරයට පත්කර ඇති අතර තව දින දෙකකින් ඔහු විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බව ඔහුගේ දෙමව්පියන් විසින් අදාල ප්‍රවේශ පත්‍රයද ⁣දක්වමින් පොලීසියට හා ඔහු වෙනුවෙන්  උසාවියේ පෙනීසිටි නීතීඥයාටද කරුණු පැහැදිළිකරදී  ඇතත් කිසිවෙකුත් ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නැත.

අනතුරුව  සිසුවා කෑගල්ල බන්ධනාගාරයටත් එතැනින් බෝගම්බරටත් යවා ඇති අතර එහිදී කොරෝනා රෝගය වැළඳී තිබේ. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුලත් කොට සුවය ලැබීමෙන් පසු ඔහු
මේ වනවිට කෑගල්ල බන්ධනාගාරයේ රඳවා  සිටී.

මෙහිදී සලකා බැලියයුතු ප්‍රධාන කාරණය වන්නේ මෙම සිසුවා ගංජා ළඟ  තබාගත් බවට චෝදනා කොට අත් අඩංගුවට ගෙන පසුව මත්ද්‍රව්‍ය ජාවාරම් කල බවට නඩු පැවරීම පිළිබඳවයි.

මෙම සිසුවා අත්අඩංගුවට ගත් පසු එම ස්ථානයට එක්රැස් වූ ගම්වාසීන් මෙම සිසුවා අහිංසකයෙකු බවට කරුණු ඉදිරිපත් කරමින් හා අල්ලාගත් ගංජා පෙන්වන ලෙස බලකරමින්  පොලීස් නිලධාරීන් සමඟ යම් වාදයකට පැටලී ඇති අතර ඊට පළිගැනීමක් ලෙස  ගංජා මත්ද්‍රව්‍ය බවට පත්කර ඇති බව පැහැදිළිව හඳුනා ගත හැකිය.
ඒ බවට ප්‍රභල සාක්ෂියක්  වූ වීඩියෝ පටයක් දැනට විත්ති පාර්ශ්වය සතුව පවතී.

මේ අවනඩුව පිළිබඳව සිසුවාගේ මව කුරුණෑගල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සහාය ලබා ගනිමින්  ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසමටත් ජාතික පොලිස් කොමිසමටත් පැමිණිලි කරන ලද අතර තම ආයතන ඒ පිළිබඳව  විමර්ශන කටයුතු ආරම්භ කර ඇතිබව ඔවුන් එම මවට ලිඛිතව දන්වා ඇත.

මීට අමතරව සිසුවාට ඇප ලබා ගැනීම සඳහා  මහාධිකරණයේ අභියාචනයක්ද ගොනුකොට ඇත.

ඥානවීර දිසානායක. 

Translate »
Scroll to Top