ඔබත් නවීන ක්‍රමයට ළමා අපචාර සිදු කරන්නේ ද?

 - May 30th, 2022 - 

දිනය- 2021/පෙබරවාරී

ස්ථානය – අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු අංක 63

දරුවාගේ නම : XX

දරුවාගේ වයස : අවුරුදු 10

රෝගය – දීර්ඝ කාලීන බඩේ කැක්කුම

 

දිනය – 2021/මාර්තු

ස්ථානය – අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු අංක 63

දරුවාගේ නම : YY

දරුවාගේ වයස: අවුරුදු 9 මාස 7

රෝගය : හිටිවනම ඇති වන දණහිස් කැක්කුම

ඉහත මා ලියා ඇති රෝගීන් දෙදෙනාම  ඉතා හුරු බුහුටි අපූරු දරුවන් දෙදෙනෙකි.

පලමු දැරිය අප වෙතට පැමිණෙන්නේ ඇගේ මව සමඟය. ඒ දීර්ඝ කාලීනව ඇති බඩේ කැක්කුමක් පැමිණිලි කරමිනි.. මාස ගණනක් තිස්සේ සිදු කල පරීක්ෂණ සියල්ලෙන් මුත්‍රා ආසාදන, මලබද්දය, යනාදි  කිසිම රෝග විනිශ්චයක් ඇයට ලබා දිය නොහැකිව ඇත.

ඈ පිලිබඳ විස්තර මගේ සහෘද වෛද්‍යවරියක විසින් සටහන් කරන තැන මම වාඩි වී සිටියෙමි. සියලුම විස්තර අවසානයේ

“දුව පංතියේ වැඩ ටික කරනවද? ” මගේ මිතුරු වෛද්‍යවරිය ඇසුවාය.

එයට පිළිතුරු දුන්නේ දූව නොවේය. අම්මා ය

“අනේ ඔව් ඩොක්ටර් .

මේ අවුරුද්දේ ශිෂ්‍යත්වයනේ. මෙයා හරිම දක්ෂයි. අපි සේරම බලන් ඉන්නේ මෙයා දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙනකන්.. මං නම් කීවා දෙසීයෙන් දෙසීයම ගන්න පුළුවන් කියලා මෙයාට. ටීචර් ලත් ඉස්කෝලෙ හැමෝමත් හරිම බලාපොරොත්තු තියන් ඉන්නේ ” එසේ කියන විය අම්මාගේ දෑස් දිලිසිණි. අර පොඩි එකීගේ මූණ අදුරු වී ගියේය.

දෙවෙනි දරුවා අපට මුණගැසුනේ මේ බොහෝ මෑතකදීය. ඔහු  පැහැපත් උස, අපූරු කොලු පැටියෙකි. ඔහුට ඇත්තේද මහා අත්භූත දණහිස් කැක්කුම ක් ය. කිසිම ආකාරයකින් රෝග විනිශ්චයක් ඔහුටද ලබා දීම අපහසු විණි. ඉතින් අපේ විශේෂඥ වෛද්‍යතුමා දරුවාගේ පාසැල් ජීවිතය ගැන අම්මාගෙන් විපරම් කලේය.

“අනේ ඩොක්ටර් උදේ ගියාම හවස 4  වෙනකන් ඉස්කෝලේ පංති. දවස් දෙකක් උදේ 6 ට ඉස්කෝලේ පටන් අරන් 4 ට ඉවර වෙන්නේ. ළමයා හෙම්බත් වෙලා ගෙදර එන්නේ”

“ඉතින් අම්මලා විරුද්ධ උනේ නැද්ද? ”

” විරුද්ධ වෙන්න බෑ ඩොක්ටර්, ළමයා කොන් කරයි. අනික ඉස්කෝලේ ප්‍රතිපල හදාගන්නනෙ කරන්නේ.. නැත්නම් මම නම් කැමති නෑ”

ඉතින් ඔය දරුවන්ට බඩේ කැක්කුම දණිස් කැක්කුම හැදී නැවතුන එකම පුදුමය..

ඒ පුංචි ඔලුගෙඩි වලට දරාගන්නට බැරි තරම් පීඩනයක් දී ඒ පුංචි අතපය  අමානුශික ලෙස හෙම්බත් කොට දෙමාපියන් සහ ගුරුවරුන් තම තමන්ගේ සිහින ඉටු කරගන්නට තැනීම කෙතරම් අසාධාරණ ද?

අපිට හිමි වූ සෙල්ලම් පිටියේ ගෙවුනු සදෑ වරු, බෝනික්කන් නැහැවූ, ක්‍රිකට් ගෑසූ ඉරිදාවන් මේ තරම් දරුණු ලෙස ඔවුන්ගෙන් උදුරාගැනීම කොයි තාක් දුරට යුක්ති සහගතද..

ශිෂ්‍යත්වය අවසන් වන විට අවුරුදු ගණනකට සෑහෙන්න හෙම්බත් වී සිටින පොඩි උන්ට සාමාන්‍ය පෙල උසස් පෙල පංති වලට යන විට ඉගෙන ගන්නට පාඩම් කරන්නට ශක්තියක් හෝ උනන්දුවක අංශු මාත්‍රයක් ඉතිරිව නැත.

අවසානයේ ඔවුන් ගේ හැකි කම් දක්ෂකම් සියල්ල ශිෂ්‍යත්වයෙන්ම කෙළවර වී යන්නේය..

Butterfly යනු එළදෙන බව සාඩම්බරයෙන් ලියා ගෙදර අවුත් ශිෂ්‍යත්වයට ලකුණු 160ක් පමණක් ගත් මම අද වෛද්‍යවරියක් වී සිටින්නේ නම් ඒ විභාගය වෙනුවෙන් දරුවෙකුගේ ළමා කාලය නැති කර දැමීමට වටින්නේ දැයි නුඹෙන් අසනු කැමැත්තෙමි.

“දන්න දේ හරියට පුළුවන් විදියට  ලියලා එන්න පුතේ.. ” වෛද්‍ය විද්‍යාලයේ අවසන් විභාගය දක්වාම එපමණක් කී මගේ අම්මා ගැන ඇති ගෞරවය සිය දහස් ගුණයකින් වැඩි වන දින මේවාය..

අහේතුක බඩේ රුදා, හිසේ කැක්කුම් කියාගෙන රෝහලට එන මානසික පීඩනයට ලක්වූ අහිංසක දරු පැටවු ගැන හිත බොහෝ සේ කම්පා වන දවස් මේවාය.

ඉතින් නුඹ දැන හෝ නොදැන නවීන ක්‍රමයකට ඔබේ දරුවාව, ඔබේ සිසුවාව අපචාරයට ලක් කරන්නේ නම් , අදම නවතින්නට කියමි..

ඔවුන්ගේ ළමා කාලය ඔවුන්ට ආපසු දෙන මෙන් අයැද සිටිමි.

 

– සුදන්ති අනුරුද්ධිකා සූරියහෙට්ටි –

( ප.ලි. විශේෂ ස්තූතිය ” modern ways of child abuse ” සංකල්පය හිසට ඇතුල් කල ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය Shammi Srimal Rathnasiri  සර්ට)

උපුටා ගැනීම : ෆේස්බුක්

Advertisement

Videos

Featured Video Play Icon

අපි හම්බකරගත්තත් අපිට කන්න නෑ ඩොලර් ඕන

Featured Video Play Icon

දහම්රත්නගේ ඔලුකට්ට කුඩුකල කළුතර පොලිසිය

Facebook Page