කුල සාධකය රාජ්‍ය ප්‍රතිපත්තියක්..! – මංජුල ගජනායක

 - February 16th, 2021 - 

පහුගිය ආණ්ඩුවට එල්ල වෙච්ච විශාලම චෝදනාවක් තමයි මැතිවරණ කල් දැමීම, එදා චෝදනා ගොනුකළ පාර්ශවය අද බලයට පත්වෙලා ඉන්නවා. එහෙත් ඔවුනුත් පළාත් සභා ඡන්දය පවත්වන්න සූදානම් බවක් පෙනෙන්නේ නැහැ..

ලංකාවේ ප්‍රධානතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විදිහට කතා කිරීමේදී මේ වෙද්දි අපි පවත්වලා තියෙනවා මැතිවරණ 74 ක් 1947 පළමු මැතිවරණයත් එක්ක. එය 1947 ඉඳලා වර්තමානයේ දෙස බැලීමේදී  අපිට කියන්න තියෙන්නේ තියෙන්නේ මැතිවරණ විෂය කාරණාවේදී එක් පක්ෂයක්වත් අවංකව කටයුතු කරලා නැහැ . මැතිවරණයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මහා උත්සවයක් ලෙස හඳුන්වනවා, නමුත් 1977 න් පස්සෙ පත්වෙච්ච ලංකාවේ සියලුම පාලක පක්ෂ මැතිවරණ වලදී කටයුතු කරලා තියෙන්නේ තමන්ගේ දේශපාලන අභිමතාර්ථ සඵල කර ගැනීමට පමණයි .  බොහෝ වේලාවට එක් පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ අභිප්‍රායන් සපල කරගැනීමට මැතිවරණ කල් දමනවා. 2015ට කලින් එවකට ප්‍රධාන ආණ්ඩු පක්ෂය වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි පළාත් සභා මැතිවරණය කල් දැම්මේ, නමුත් 2015 බලයට පත්වෙලා ආපු යහපාලන රජයටත් පළාත් සභා ඡන්ද තියන්න එච්චර උවමනාවක් තිබුණේ නෑ. යහපාලන රජයට පළාත් සභා ඡන්දය තියන්න සුදුසු වාතාවරණයක් ඇතිවෙලා තිබුණු කාලයේ පවා ඔවුන් ඡන්දය කල් දැම්මා. ඒ වගේම තමයි වර්තමානයේ සිටින ආණ්ඩුවටත් පළාත් සභා ඡන්දය තියන්න කිසිඳු උවමනාවක් නෑ. මෙන්න මේ නිසා පැහැදිලි වෙනවා කිසිදු පක්ෂයක් මැතිවරණයකදී අවංක ලෙස කටයුතු කරන්නේ නැහැ කියලා. මැතිවරණ කල් දැමීම නිසාම තමයි යහපාලන රජය පරාජයට පත්වුණේ. ඒ වගේම වර්තමාන ආණ්ඩුව මේක නොපවත්වා කල් මරන්නේ ඔවුන් හොඳටම දන්නවා මේ වෙද්දි ඔවුන්ගේ ජනප්‍රියත්වය පහළ බැස ඇති බව. එනිසා ඔවුන් මෙම මැතිවරණය පවත්වන්නේ නැතුව කල් මරනවා, මොකද මේ මැතිවරණය පැවැත් වූවොත් ඔවුන්ට වාසියක් අත්වෙන්නේ නැහැ.

ඔබ සඳහන් කළ පරිදි මැතිවරණ පවත්වන්නේ ආණ්ඩු පක්ෂය ජනප්‍රිය කාලවලදී පමණක් ද එහිදී මැතිවරණ කාල වේලාවට නොපැවැත්වීමෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කඩවෙනවා නේද?

මෙය ඉතාම හොඳ ප්‍රශ්නයක්. නව මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේදී ඊට සහභාගි වුණා ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක්, ඒ අතරින් එක ස්වාමීන් වහන්සේ නමක් පැවසුවා මැතිවරණ වලට යන වියදම් පාලනය කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ සල්ලි තියෙන මනුස්සයා බලයට පත් කර ගැනීම නෙවෙයි කියලා. මෙය ඉතාම සතුටට කාරණයක් වුනත් මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් වුණත් ඔවුන්ට කෙලින් තීරණයක් ගන්න නොහැකි වෙලා තියනවා. 19 වෙනි වැනි ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන එකක් කරත් එය සමහර අවස්ථාවලදී ප්‍රායෝගික වුණේ නෑ. ඒ වගේම තමයි 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තිබුණ බලයත් කප්පාදු කරලා තියෙන්නේ, ඉතින් මේ ආකාරයට මැතිවරණ කොමිෂන් සභාවට තනි තීරණයක් ගැනීමට නොහැකි වන ආකාරයට කටයුතු යොදා තිබෙන තාක්කල්, මැතිවරණ නියමිත කාල වලදී වල දී පවත්වන්නට නොදෙන තාක්කල්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු වන්නේ නෑ. ඒ වගේම තමයි මේ රටේ පාලකයෝ මැතිවරණය තමන්ගෙ මෙවලමක් විදියට යොදාගන්නවා. ඒකත් ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල ප්‍රශ්නයක්.

මේ විදිහට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කඩවෙනකොට ඔවුන් ඒ පිළිබඳව දැනුවත් ද? ඔබලා සංවිධාන විදිහට ජනතාව දැනුවත් කළාද?

ඔබ අහනවා අපි මොනවද කළේ කියලා, අපි ලොකුවට අරමුදල් ලබා ගන්නා සංවිධාන නොවේ නමුත් අපට පුළුවන් ආකාරයට අපි සමාජය තුළ දැනුවත් කිරීම් සිදු කරගෙන යනවා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සුනිල් හඳුන්නෙත්ති මහත්මයා පරාජය වෙනවා ඒ වගේම තමයි ඩලස් අලහප්පෙරුම මහත්මයා ඡන්ද ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත් වෙනවා. මම මැතිවරණ නිරීක්ෂකයෙක් විදිහට බය නැතුව කියනවා එම ඡන්ද ලයිස්තුවේ පත්වෙච්ච පළවෙනි හා දෙවෙනි පුද්ගලයන් දෙදෙනාම මුදල් වැය කරලා තමන්ගේ ඡන්දය ලබා ගත්තා කියලා. ඒ වගේම මිනිස්සු පවසනවා මතර කියන්නෙ බුද්ධිමත් ජනතාව ඉන්න නගරයක් කියලා නමුත් බුද්ධිමත් ජනතාව සිටින නගරයක් වුවත් ඔවුන් ද තමන්ගේ බඩු මල්ලට තමන්ට ලැබෙන රුපියල් පන්දාහට තමන්ගේ ඡන්දය දීලා තිබෙනවා. මම මැතිවරණ නිරීක්ෂකයෙක් විදිහට කියන්නේ සුනිල් හඳුන්නෙත්ති වැනි මන්ත්‍රීවරයෙක් හිටියට කමක් නෑ පාර්ලිමේන්තුවේ ඒ වගේම තමයි ඩලස් අලහප්පෙරුම වැනි හොරකම් කරන්නැති මන්ත්‍රීවරයෙක් පවා ලයිස්තුවේ ඉහළින් හිටියට කමක් නෑ. නමුත් කිසිදු දවසක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වත් නොවෙච්ච කෙනෙක් පාර්ලිමේන්තු මැතිවරණයේදී එම ඡන්ද ලැයිස්තුවේ ඉහළටම පැමිණීම ආශ්චර්යයක් නොවේද? ඇත්තම පැවසුවොත් එය ආශ්චර්යයක් නොවෙයි, ජනතාවගේ පවත්නා අඩු දේශපාලන සාක්ෂරතාව තමයි ඒකට හේතුව.

මාතර ලැයිස්තුවේ පලවෙනියට ආවේ රාජපක්ෂ පවුලට සම්බන්ධ අයෙක් නේද?

ඔව් ඡන්ද ලයිස්තුවේ පළවෙනි ස්ථානය ගත්තේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ පවුලට සම්බන්ධ අයෙක්. අපි මැතිවරණ කාලයේ සමීක්ෂණයක් කළා දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පිළිබඳව, මෙහිදී අපි දැක්ක ඇත්තටම එක් දිනක් තුළ ඔවුන් කෙතරම් වැය බරක් දරනවාද කියලා. ඔවුන් එක අවස්ථාවක ජනාධිපතිතුමා සමග රැස්වීමක් කළා එහිදී බස්රථ 170 ට වඩා වැඩි ප්‍රමාණයක් යොදාගෙන තිබුණා, එහිදී ලක්ෂ විසි හතක් බස්රථ සඳහා පමණක් වැය කරලා තිබුණා . අපි දන්නේ නැහැ ඔහුට මේ සඳහා මුදල් කවර මූලාශ්‍රයකින් ලැබුණ ද කියලා, අඩුම තරමේ ජනතාව අහන්නෙත් නෑ, ඔබට මේ තරම් මුදල් කොහෙන්ද කියලා. මං හිතන්නේ මැතිවරණය සඳහා ඔවුන් කෝටි දහයක් පමණ වැය කරලා තිබෙනවා.

ගාල්ල මාතර  ඡන්ද දායකයන් පිළිබඳ කතා කිරීමේ දී ඔවුන් කුල සාධකය සලකා බලනවා, මැතිවරණය කියලා කියන්නේ රටක් ඉස්සරහට යන්න අවශ්‍ය කරන දෙයක්, මේ අවස්ථාවට ගෝත්‍රිකවාදය සම්බන්ධ වීම ගැන ඔබතුමා දරන අදහස කුමක්ද?

ඔව් ඔබ කියන එක හරි. ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයට විශාල අභියෝග රාශියක් තිබෙනවා. එක් අභියෝගයක් තමයි ගියවර ලියාපදිංචි ඡන්ද හිමියන් මිලියන දහසයක් පමණ හිටියා නමුත් මිලියන හතරක් තමන්ගේ ඡන්දය පාවිච්චි කළේ නැහැ. මෙහි දී මිලියන හතරක්ම තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්නෑ කියද්දී සිවිල් සංවිධාන මැතිවරණ නිරීක්ෂකයන් වගේම මැතිවරණ කොමිෂන් සභාව, ජනමාධ්‍යවේදීන් වගේම දේශපාලනඥයන්ද ලජ්ජවෙන්න ඕනෑ. මේ ඡන්දය නොදමන්න එක් හේතුවක් ලෙස කුල සාධකයත් බලපාලා තියෙනවා. බොහෝ වෙලාවට දකුණේ සහ උතුරේ තමයි මේ කුල සාධකය වැඩි වශයෙන් බලපාන්නේ. වර්තමානයේ තරුණ පරම්පරාව අතර මෙය එච්චර දකින්නට නොලැබුනත් ගමට ගිහාම ගමෙන් ඉල්ලන මන්ත්‍රීවරයා පවා තමන්ගේ කුලයට අයත් ඡන්ද ටික ඩැහැගැනීමට තමයි කටයුතු කරන්නේ.  ඒ වගේම සීමා නිර්ණය කොමිෂන් සභාවේ සීමා නිර්ණය කිරීම් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අතීතයේ කුල සාධකය පදනම් කරගෙන සීමා නිර්ණය කිරීම් දක්නට ලැබිලා තියෙනවා. ඉතින් මෙහිදී කුල සාධකය රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහටම දකින්නට පුළුවන්. නැතිනම් කුල අනුව සිමා නීර්ණය කරන්නේ නැහැ නේ.

මේ ක්‍රමය සමාජයෙන් මෙය ඉවත් කිරීමට නම් කුල සාධකය ප්‍රතික්ෂේප කරන පරපුරක් බිහි කරන්න ඕනෑ. ඒ සඳහා සුදුසු නායකත්වයක් හදන්න ඕනෑ. මේ නායකත්වය හදන්න පුළුවන් විශ්ව විශ්වවිද්‍යාල තුළ සිටින උගත් පිරිසට හා පූජ්‍ය පක්ෂයට, නමුත් අවාසනාවට කුල සාධකය ඔසවලා තබන අයවලූන් ලෙස සිටින්නේත් මේ පූජ්‍ය පක්ෂය හා  විශ්වවිද්‍යාලවල උගත් බුද්ධිමත් පිරිස්. මේ නිසා ලංකාවේ සංස්කෘතිකමය වෙනසක් ඇති කිරීම ඉතා අපහසු වෙනවා, මොකද සියලුම ක්ෂේත්‍ර වෙනස් විදියට හිතන්න පුරුදු වෙන්න ඕනෑ නිසා .

මාර්තු 12 ව්‍යාපාරය සහ ඔබලා මැදිහත් වෙලා ඡන්දය ඉල්ලන්න ඕනෑ මොනවර්ගයේ මිනිස්සුද කියලා යම් නිර්ණායකයන් ටිකක් ඉදිරිපත් කළා. මේ පාර්ලිමේන්තුව ගත්තොත් මිනීමැරුමකට වරදකරු වෙච්ච පුද්ගලයෙක් පවා පාර්ලිමේන්තුවේ සිටිනවා. ඇයි මේවා මැතිවරණ කාලයට විතරක් කතා කරන්නේ?

ඔව් මෙය මැතිවරණ කාලයේදී පමණක් නොවෙයි දින 360 පුරහම කතා විය යුතුයි. නමුත් අපිට විසිවන සංශෝධනය හා අලුත් අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම යන දේවල් ගැන කතිකාවක් ආව නිසා අපිට ඒ පිළිබඳව සැලසුම් කළ පරිදි මේ නිර්ණායක සමාජගත කිරීමට නොහැකි වුණා. නමුත් මාර්තු 12 කියන ව්‍යාපාරය ඔස්සේ ගොඩනඟපු සංවාදය නිසා යම් උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට හා දේශපාලනයට පිවිසීම සිද්ධ වෙලා තියෙනවා. නමුත් දැන් මේ වන විට සමාජයට මේ උගත් පිරිසත් එපා වෙලා තියෙනවා ඔවුන්ගේ හැසිරීම් රටා නිසා. අඩුම තරමේ  ඔවුන්ට යථාවාදී තථාකාරී ගුණය පවා තිබුනනම් හොඳයි. සමාජයේ උගත් පිරිසකට රට භාර දුන්නෙ යම්කිසි වෙනසක් දකින නමුත් මේ වෙද්දී කිසිදු වෙනසක් සිදු වෙලා නැහැ. ඉන්දියාව වගේ රටක නම් පක්ෂ ලේකම්වරයා හෝ පක්ෂ නායකයා මැතිවරණ නිලධාරීන්ට තමන්ගේ අපේක්ෂකයන්ගේ චර්යා රටා පිළිබඳ විස්තරයක් මැතිවරණයට කලින් ලබාදිය යුතුයි, නමුත් ලංකාවේ එවැනි දෙයක් සිදුකිරීමට නොහැකියි. අලුත් පද්ධතියක් ගොඩනැගීමට නම් සියලුම දෙනාම එක්වී සියලුදෙනාම ඒ සඳහා හඬක් නැගිය යුතුයි.

උපුටා ගැනීම – www.aithiya.lk

Advertisement

Videos

Featured Video Play Icon

කන්දෙකැටිය පොලීසිය ඝාතනය කළ “සඳුන් මාලිංග” | Sandun Malinga

Featured Video Play Icon

අපිත් ණයයි, රටත් ණයයි, දෙවි පිහිටයි! | Microfinance crisis

Facebook Page