Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට එරෙහි උතුරේ නිවෙස් තුල විරෝධතාවක්!

දොළොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද  සිය  සමීපතමයන් වෙනුවෙන් යුක්තිය  ඉල්ලා උතුරේ මව්වරුන් අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනයේදී විරෝධතා දක්වා තිබේ.

මාරාන්තික වසංගතය පාලනය සදහා රජය විසින්  මුළු දිවයිනම අගුලා ලා තිබීම හේතුවෙන්  මුලතිව් දිස්ත්‍රික්කයේ මව්වරුන් සිය නිවෙස් තුළ ඊයේ ( 30)  දිනයේ විරෝධතා දියත් කර ඇත.

සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ අරගලයක යෙදී සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ  මව්වරුන්  2017 වසරේදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට  අද වන විට දින 1635 ක් සම්පුර්ණ වී තිබේ.

මිය ගිය සමීපතමයන් සිහි කරමින් ඉටි පන්දම් දල්වා ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ලියන ලද පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය දියත් කර තිබේ.

අතුරුදහන්ව සිටින පිරිස් අතුරින් ඇතමුන්  විදෙස්ගතව සිටින බවට රජය නියෝජනය කරන ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකුම  පසුගිය සමයේ ප්‍රකාශ කර තිබු  බව සිහිපත් කරන මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් ප්‍රබාකරන් රංජනී මාතාව මාධ්‍ය හමුවක් පවත්වමින්   රජයෙන්  ඉල්ලා තිබුනේ එසේ විදෙස්ගතව පිරිසක් සිටීනම් ඔවුන්ගේ නම් හෙළි කරන ලෙසයි.

බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සමීපතමයන් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් විසින්ම ආරක්ෂක අංශ වෙත බාර දුන් පිරිස් බව ඇය එහිදී  වැඩි දුරටත් පවසා තිබුනි.

අම්පාර  දිස්ත්‍රික් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ  නායිකා ටී. සෙල්වරාණි අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කර තිබුනේ සිය සමීපතමයන් සොයා දීම වෙනුවෙන් පසුගිය වසර 12 තුළ බලයට පත් කිසිම ආණ්ඩුවක් කටයුතු කර නැති බවයි.

අතුරුදහන් වුවන්ට යුක්තිය ඉටු කිරීම සදහා රජය යෝජනා කරන දේශිය යාන්‍ත්‍රණයක් සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව පවසන ඇය තව දුරටත් සදහන් කර තිබුනේ සිය සමීපතමයන්ට අත්වු ඉරණම සොයා ගැනීම සදහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අත්‍යවශ්‍ය බවයි.

ඉරණම නොදැන අවසන් ගමනේ

බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ  දියත් කර ඇති අඛණ්ඩ අරගලයට  එක්ව සිටි දෙමාපියන් 90 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර තිබේ.

අවුරුදු  තුන  හමාරත්  පසුකළ OMP කාර්යාලය

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර තුන හමාරක්  පිරි තිබේ.

මෛත්‍රී රනිල්  ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද කාර්යාලය සම්බන්ධයෙන් කෝපයෙන් යුතු ඥාතීන් සිටින බව හිටපු  OMP ප්‍රධානියාද පිළිගෙන තිබුනි.

“අතුරුදහන්වීම් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව කෝපයට හා ශෝකයට පත් පවුල් වල සාමාජිකයින් දහස් ගණනක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අපට මුණගැසී ඇති අතර, අතුරුදහන් වීම් සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලියට එරෙහිව විරෝධතාවන්ට සහභාගී වූ, රාජ්‍ය ආයතන කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යනත්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන පිරිස් මේ අතර සිටිති,” යි OMP දෑවුරුදු සමරුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ගේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම ඥාතීන්ට හෙළිකර දීම සඳහා ආණ්ඩුවට “නෛතික හා සදාචාරාත්මක” වගකීමක් ඇතැයි හිටපු  OMP ප්‍රධානියා සිය කාර්යාලයේ දෙවර්ෂ පූර්ණ සංවත්සර නිවේදනයේ සඳහන් කර තිබේ.

කෙසේ නමුත් යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 වසරේදී  එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.

ඉන් පසුව ඔහු පවසා තිබුනේ “අතුරුදහන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් පැවසූ බවයි.

අරමුදල් නැවැත්වීමේ ජාත්‍යන්තර මෙහෙයුමක්

යුද සමයේ හිටපු පොලිස්පතිවරයා ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශයට පත්කිරීම, පසුගිය ආණ්ඩුව යටතේ ස්ථාපිත කරන ලද සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ යාන්ත්‍රණය මිලිටරීකරණය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමක් ලෙසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් 2021 ජුනි මාසයේදී  පෙන්වා දී තිබුනි.

මැයි 20 වැනිදා පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් අනුමත කිරීමෙන් පසුව, හිටපු පොලිස්පති හපු ආරච්චිගේ ජයන්ත ශාන්ත කුමාර වික්‍රමරත්න හෙවත් ජයන්ත වික්‍රමරත්න  එම තනතුරට පත් කිරීමට තීරණය කර තිබුනි.

Scroll to Top