Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

“සම්මුතීන් කඩදාසි වලට සීමා කරන්න එපා” ජාත්‍යන්තර කම්කරු සංවිධාන රජයෙන් ඉල්ලයි!

 

කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  සම්මුතීන් කඩදාසි වලට පමණක් සිමා නොකරන ලෙස ජාත්‍යන්තර වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමු කරන IndustriALL ජාත්‍යන්තර වෘත්තීය සමිතිය අවධානය යොමු කොට  ඇත්තේ වතුපිටිවල නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ජාත්‍යන්තර වෙළෙඳපලට අත්වැසුම් අපනයනය කරන ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ATG ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ වෘත්තීය සමිති මර්දනය පිළිබඳවයි.

එම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය මෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥ්නප්ති උල්ලංඝනයක් බවද ජාත්‍යන්තර සමිතිය පෙන්වා දී තිබේ.

මේ කම්කරු ආරවුලට මැදිහත් වී විමර්ශන ක්‍රියාවලිය කඩිනම් කරමින් එය සමථයකට පත්කරන්නැයි IndustriALL ප්‍රධාන ලේකම් අට්ලේ හුයි කම්කරු ඇමැති වරයාගෙන් ඉල්ලා සිටී.

ජාත්‍යන්තර කම්කරු සම්මුතීන්  කඩදාසි වලට පමණක් සීමා නොකොට  ජාත්‍යන්තර ප්‍රජාවට ඇති කැපවීම  ශ්‍රී ලංකාව  පෙන්නුම් කරන ලෙස ද එම ලිපිය මගින් ඔහු ඉල්ලා තිබේ.

නව සමසමාජ පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතියක්ව පැවති වාණිජ හා කාර්මික සේවක සංගමයේ  සමිති ශාඛාවක්  පිහිටුවීම හේතුවෙන්  වතුපිටිවල ATG කම්හලේ කම්කරුවන් 16 දෙනෙකු පසුගිය අගෝස්තුවේ දී  අසාධාරණ ලෙස සේවයෙන් දොට්ට දමනු ලැබිණි.

සමාගමට එරෙහිව පැවරූ නඩු සමථයකට පත් කර ගන්නා ලෙස කම්කරුවන්ට බල කිරීම, වෘත්තීය සමිති පිහිටුවීමට එරෙහිව කම්හල තුළ වැඩමුළු පැවැත්වීම, COVID-19 සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කිරීම, වෘත්තීය සමිති නායකයින් අපකීර්තියට පත් කිරීම සහ දෙමළ ජාතික  වෘත්තීය  සමිති නායකයෙකුට එරෙහිව සෙසු කම්කරුවන් වාර්ගිකව උසිගැන්වීම, වැනි ATG පාලකයන් විසින් ගෙන ගිය කම්කරු විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ගම්පහ කම්කරු කාර්යාලයේ නඩු ගොනු කර තිබේ.

වාණිජ හා කාර්මික සේවක සංගමය චෝදනා කරන්නේ  කම්කරු දෙපාර්තමේන්තුව විසින් ATG  පාලකයන් සිදු කරන වැරදි සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ මෙතෙක්  නඩුවක් ගොනු කර නොමැති බවයි.

IndustriALL යනු පතල්, බලශක්ති සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 140 ක මිලියන 50 ක කම්කරුවන් නියෝජනය කරන ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනයකි.

Translate »
Scroll to Top