Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

පනාමුරේ ඉන්දිකට මොකද වුනේ?

පනාමුරේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් මේ වන විට එම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරිමට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත.

සිය 14 හැවිරිදි දියණියට පහර දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 16 වෙනි දිනය. 17 වෙනි දින අලුයම පොලිස් සිර මැදිරිය තුලදි ඔහු ඇඳ සිටි කමිසයෙන් ගෙල වැලදා ගැනීමට උත්සහ කර ඇති අතර එහිදි ඔහුව ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර ඇතත් ඒ වනවිටත් මිය ගොස් ඇති බව පැවසේ.

මෙසේ මිය ගොස් තිබුණේ පනාමුර, වැල්ලේපොතයාය පදිංචි කරලහින්ගේ ඉන්දික ජයරත්න නම් තිස් අට හැවිරිදි තිදරු පියෙකි.

මොහුට 14, 08 හා 03 යන වයසේ දියණියන් තිදෙනෙකු සිටින අතර පහුගිය කාලය පුරාවටම විවිධ පවුල් ආරවුල් ඇති කරගෙන ඇත. පොලිසිය පවසන ආකාරයට සැකකරු බීමත්ව පැමිණ පහර දෙන බවට බිරිඳ විසින් 2017 වසරේ පැමිණිලි 02 ක් සිදු කර ඇති අතර එක පැමිණිල්ලක් විමර්ශනය කර සැකකරුට අවවාද කර ඇත. අනෙක් පැමිණිල්ල බිරිඳ විසින් ඉල්ලා අස් කරගෙන ඇත.

2018 වසරේද පැමිණිලි 02 ක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන්ද අධිකරණයට ඉදිරිපත් කර සැකකරුට අවවාද කර මුදා හැර ඇත.

2020 වසරේද බිරිඳ විසින් පැමිණිලි 02 ක් සිදු කර එක පැමිණිල්ලක් ඉල්ලා අස් කරගෙන ඇත.

2021 අගෝස්තු මසදීද බිරිඳ විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඉල්ලා අස්කරගෙන ඇත.

මේ අතර පහුගිය 12 දා  සැකකරුගේ වැඩිමහල් දියණිය විසින් පනාමුර පොලිසියට පැමිනිලි කර ඇත්තේ ඇයට සිය පියා පහර දුන් බව පවසාය. ඇයව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර එහිදි සැකකරු සැඟවී ඇත. ඉකුත් 16 දින ඥාති නිවසක සිටින බවට බිරිඳ විසින් පොලිසියට ලබා දුන් තොරතුරුක් මත සැකකරුව පනාමුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි ඔහු මෙලෙස මිය ගොස් ඇත. මෙම මිය යාම සම්බන්ධයෙන් ඊයේ (17) පනාමුර වැසියන් පොලිසිය වටකොට විරෝධය දක්වා කියා සිටියේ පොලිසිය සිදු කළ පහර දිමෙන් මොහු මිය ගොස් ඇති බවය.

නමුත් මීට පෙරද දෙවතාවක් මෙම සැකකරු නිවසේදි ගෙලවැල දාගෙන සියදිවි හානි කර ගැනිමට උත්සහ දරා ඇති බව බිරිඳ විසින් ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

කෙසේ නමුදු මෙම සිද්ධියේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් තුනක් මේ වන විට යොදවා ඇත.

මේ සම්බන්ධව ඊයේ පාර්ලිමේන්තුවේද උණුසුම් කථාබහක් මතු වු අතර එහිදි මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ මෙය පොලිස් පහරදිමකින් සිදු වු මරණයක් නොවන බවය.

Translate »
Scroll to Top