Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්!

රටක නීතියේ පාලනය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා ස්ථාපිත ප්‍රධානතම ආයතනය පොලීසියයි. සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කිරීමද පුද්ගල නිදහස සමාජය තුළ ස්ථාපනය කර පවත්වාගෙන යාමද පොලීසියේ ප්‍රධාන කාර්‍යයන් ය. එහෙත් එවන් අරමුණකින් ක්‍රියාත්මක වියයුතු පොලීසිය තුළින්ද නිතර නිතර මිනිසුන් වධහිංසාවන්ට පාත්‍ර කිරීම් ද ඝාතනයන් ද වාර්තා වෙයි. වැටත් නියරත් ගොයන් කානම් කාට කියන්න ද ඒ දුක කියා නොසිට මෙම පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳව අප අපගේ හඬ අවධිකළ යුතුය. පුරවැසියාට තවතවත් ලංවූ පොලීසියක් හදාගැනීමට මෙම සංවාදය සහ අපගේ හඬ අවධි කිරීම අත්‍යාවශ්‍යය.

පොලිසිය විසින් සිදුකරන නීත්‍යානුකූල නොවන අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම මෙන්ම පොලිස් භාරයේ දී සිදුකරන අමානුෂික පහරදීම් හේතුවෙන් සැකකරුවන් මිය යන අවස්ථාවන් ද පොලිස් ඉතිහාසය තුළ විරල නොවේ. පොලිස් වධහිංසාව යන්නට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පහර දීම, තර්ජනය කිරීම්, බිය වැද්දීම්, බොරු කට උත්තරවලට බලහත්කාරයෙන් අත්සන් ගැනීම ආදී කායික, මානසික හිංසාව හෝ අවමන් සහගත සැලකිල්ල යන බොහෝ දේ අදාළ වේ.

හක්මන නීදර්ශනය

මෑතකදී හක්මන පොලිසියේ පහර දීමට ලක් වූ මධුශංකගේ කතාව ද එවැන්නකි. මුලින්ම මධුශංකගේ හඬට ඉඩ දෙමු. ” 2021 ජනවාරි මස 06 වෙනිදා රත්නපුරයේ හා ඇඹිලිපිටියෙ ඉන්නා මාගේ සහෝදරයන් දෙන්නා සහ ඥාතීන් කීපදෙනෙක් රෝගීව මා නිවසේ ඉන්න මාගේ අම්මා බැලීමට ආවා. එදා රැ මේ සියළු දෙනාම මගේ ගෙදර හිටිය නිසා අපි පොඩි සාධයක් පැවැත්තුව, අපි Drink එකක් ගනිමින් සිංදු කියමින් ඉන්න කොට අල්ලපු ගෙදර චන්දරේ මාමා රාත්‍රී 09.00ට විතර ඇවිත් අපිත් එක්ක මත්පැන් පානය කරමින් විනෝද උනා. මම රාත්‍රී 11.00ත් 11.30 ත් අතර කාලයේ බුදිය ගත්ත, අනෙක් අය සාදය පවත්වාගෙන ගියා. 2021.01.07 දින අළුයම 12.45ත් 01.00 ත් අතර කාලයේ විශාල ශබ්දයක් ඇහුන නිසා නින්දෙන් ඇහැරැනා, ඒ වෙලාවේ චන්දරේ මාමාලගෙ ගෙදරින් රණ්ඩුවන ශබ්දය ඇසුනා, මම එහෙට යනකොට චන්දරේ මාමලයි නැන්ද, මගේ සහෝදරයන්ට බැන වදිමින් හිටිය. මම ඇසුව අප‍ගේ පවුලේ අයගෙන් මොකද මේ කියලා. අපි චන්දරේ මාමට අරක්කු පොවලා කියා නැන්දා මාගේ සහෝදරයන්ට බැන වැදීම නිසා පොඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඊට පස්සෙ මම අපගේ පවුලේ සියළු දෙනාම මාගේ ගෙදරට එක්කගෙන ආවා. 2021.01.07 වනදා අළුයම 01.30 ට විතර හක්මන පොලීසියේ ජීප් එකෙන් උ.පො.ප. ශාන්ත කරැණාරත්න මහත්තය එක්ක පොලිස් නිළධාරින් 05ක් විතර මගේ ගෙදරට ආවා. ඒ අය අධික ලෙස මත්පැන් බීල හිටියේ. චන්දරේ මාමලාට ගැහුවේ කවුද කියලා කරැණාරත්න මහත්තය මගෙන් අහල, අපට හොදටම බැනල, මම අත්තඩංගුවට අරගෙන, මගේ අත් දෙකට මාංචු දාලා මගේ ගෙදර ඉස්සරහ නතරකරලා තිබුණ ජීප් එක ලගට අරන් ගිහින් උබ චන්ඩියෙක්ද කියලා මට කිතුල් පොල්ලකින් දිගින් දිගටම ගැහුව. පස්සේ මාව ජීප් එකට දාගෙන හක්මන පොලීසියට උදේ 02.00 ට විතර අරන් ගියා. ඒ ‍වෙලාවේ චන්දරේ මාමාත් එම නැන්දාත් පොලීසියෙ හිටියා. කරැණාරත්න මහත්තය චන්දරේ මාමට කථාකරල මූත් ගැහුවා නේද කියා අහල ඔහු අතේ තිබූණු කිතුල් පොල්ලෙන් මට හොඳටම ආයෙත් ගැහුවා. ඊටපස්සේ තවත් පොලිස් නිළධාරින් කන්ඩායමකට මාව භාර දූන්නා, ඒ නිළධාරින් මට අතින් පයින් පහර දූන්නා. මට කෙලින් හිටගෙන ඉන්න බැරි තත්වයක් උදා වුනා, ඊට පස්සෙ පොලීසිය මාව ඇල්ලවල රෝහලට අරගෙන ගියා, මට යන්න කළින් කිව්වා දොස්තර ඉදිරියේදී එක වචනයක්වත් කථා කරන්න එපා, කථා කලොත් එල්ලල ගහනව කියලා.”

මේ විදිහට කාන්තාවකට පහර දුන්නා කියන චෝදනාවට අත් අඩංගුවට ගන්නේ  හක්මන, මුරුතාමුරය, පිටකටුවනගේ වත්ත, අංක 112/2, පදිංචි අබේසිරිවර්ධන සමරවීර ධනුෂ්ක මධුරංග කියන පුද්ගලයා. කාන්තාවක් තමන්ට මෙම පුද්ගලයින් පහර දුන් පමණින් ඔහු අත් අඩංගුවට අරගෙන මෙලෙස සහාසික අන්දමින් ඔවුන්ට සලකන්නට පොලීසියට තිබෙන අයිතිය කුමක්ද? අප ප්‍රශ්න කළ යුතුය. ධනුෂ්ක මධුරංග කියන ලෙස මෙම වැටලීමට පොලීසිය අදාළ ස්ථානයට එනවිට ඔවුන් සිට ඇත්තේ බීමතින් ය. අරක්කු මතින් රාජකාරි කිරීම බරපතල වරදක් ය.

වෛද්‍ය වාර්තාවක් ගැනීමට රෝහලට ගෙනියන ධනුෂ්ක එම වාර්තාව ගෙන නැවත පොලීසියට ගෙන ආ පසුවද අමානුෂික ලෙස පහර දී ඇත. ” අළුයම 04.00ත් 04.30 ත් අතර කාලයේ පොලීසිය මගේ ගෙදර තිබූ, මාගේ යතුරුපැදිය ‍පොලීසියට ගෙනවිත් එම යතුරුපැදිය මට පෙන්වා මේක කාගෙද කොහේද තිබූනෙ කියලා ඇහුවා, කරුණාරත්න මහත්තයා මගේ ටී ෂර්ට් එකත් සමග කරකවා අත් දෙකින් අල්ලාගෙන සිටියදී  නාඳුනන [දූටුවොත් හදුනා ගැනීමට හැකි] පොලිස් නිළධාරියෙක් බිම අතුගාන ඉදල් මිටකින් මට අමාණුෂිකව පහර දූන්නා, පහර දෙන ගමන් මගේ සහෝදරයන් ගැන ප්‍රශ්න කලා. මේ පහරදීම් නිසා මාගේ මුළු ඇගම තැලී, පැලී, ඉදිමී, සීරී, මගේ කකුලටත් හානි වුණා. ඔළුවට ගහපු හින්දා වමනය ගියා දැනටත් ක්ලාන්ත ගතියක් එනවා. යටිබඩේ කැක්කුම, මුත්‍රා සමග ලේ පිටවීම, දකුණු අත හිරිවැටීම කියන රෝග දැන් මට තිබෙනවා. දෙයියන්දර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පස්සෙ මම අධිකරණයට කිව්වා මට පොලීසිය ගැහුවා කියලා. පහර දීම නිසා ඇතිවුණ තුවාලත් මම අධිකරණයේදී පෙන්නුවා, ඒ එක්කම මහේස්ත්‍රාත්තුමිය මාව පිස්කල් මගින් අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට නියෝග කළා.”  ඒ සමග ධනුෂ්ක මධුරංගට ඇප ලැබෙන්නේ ය. අසල්වැසි නිවෙස් දෙකක් අතර අඬදබරයකට මැදිහත්වෙන පොලීසිය මෙහිදී හැසිරී ඇත්තේ නින්දිත ආකාරයට ය. නීතිය රැකීමට සිටින පොලීසියම බීමතින් පැමිණ නීතිය කඩාබිඳ දමා තමන්ට අවශ්‍ය පරිදි සහාසික ලෙස හැසිරී ඇත. මෙවැනි හැසිරීම් සහිත පොලිස් නිළධාරීන් පිළිබඳව පොලීසිය මීටවඩා වැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතුය. මෙහිදී පොලිස් වධයට ලක්වූ ධනුෂ්කට සාධාරණය ඉටුවිය යුතුය.

-යසෝධරා වීරසිංහ-

Translate »
Scroll to Top