Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

පොලිස් හිංසන දරාගත නොහැකිව පවුල පිටින්ම පොලිසීය ඉදිරිපිට විරෝධතාවයක!

දොලොස් වසරක කාලයක් තිස්සේ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන්ගේ තාඩන පීඩන නිසා තමන්ට දරු පවුලට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය උල්ලංඝණය වී ඇති බව පවසමින් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය ඉදිරිපිට සිය දරු පවුල සමගින් අද  (1දා) උදෑසන විරෝධතාවක නිරත වූහ.

අනුරාධපුර පොලිස් වසමේ ශ්‍රාවස්තිපුර සින්නික්කුලම ලිපිනයේ පදිංචි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ව්‍යාපාරිකයෙකු වූ දැනට ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරන ඩබ්ලිව් ජී ඒ විජයරත්න (49) සිව්දරු පියා විරෝධතාවය පැවත්වූහ.

එම විරෝධතාවයට ඔහුගේ බිරිද වන සුදර්මා ශාන්තිලතා (47) පුතුන් වන අශේන් මලීෂ විජයරත්න අනුෂ මධුෂාන් අකිල මල්ශාන් යන පිරිසද එක්වි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතවූහ.

හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු හා වර්ථමානයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරන විජේරත්න මහතා තමන්ට දිගින් දිගටම පොලිසිය සිදුකරන අසාධාරණ ක්‍රියා සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය. වසර දොළහක් තිස්සේ මට අනුරාධපුර පොලිසිය වද දෙනවා. දරුවන්ට මට බිරිඳට නිදහසේ ජීවත්වෙන්න විදියක් නෑ. මගේ ගොවිපොලෙන් පාගාව විදියට මස් ටිකක් නොදුන්න එකේ වරදට තමයි මේ පළිගන්නේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාධීර තමයි මගේ සියළුම ව්‍යාපාර විනාශ කරමින් අපිට එදා ඉදන් වදදුන්නේ. දැන් සින්නික්කුලම මාර්ගය හදන්න නිරික්ෂණයට ආපු සභාපතිවරයා ප්‍රාදේශිය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් සමග අසල්වැසි කාන්තාවක් රණ්ඩු කරගත්තා.

ඒ රණ්ඩුව අතර තුරු ඒ කාන්තාවගේ සැමියාම ඇයට පොල්ලකින් ගහලා තුවාල කළා. දැන් මම ඒකටත් අල්ලගෙන. මගේ ළග ඒ සම්බන්ධ සියළුම වීඩියෝ පටි තියනවා. මම ඒවා පොලිසියට පෙන්නුවා නමුත් ඒවා බලලා සාධාරණව නීතිය ක්‍රියාත්මක කරලා නෑ.මට ආපහු නඩුවක් දාලා. මට නිදහසේ ජීවත් වෙන්න ඔය කාන්තාව මැරෙන්න ඕන. නැත්නම් මම ඇතුළු පවුලම මැරෙන්න ඕන.

මටයි බිරිදටයි නඩු පිට නඩු දානවා. මේ අසාධාරණය කරන්න එපා කියලා උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මුණ ගැහිලා කියන්න ගියා. කාර්යාලය පැත්ත පළාතේ යන්න බෑ. කොරෝනා නිසා එන්න එපා කියනවා. රණ්ඩු කළ සභාපතිලා කොහෙවත් මට දැන් අනුරාධපුර අධිකරණයේ නඩුවක් කවද මේ අසාධාරණ කම් ඉවර වෙන්නේ.

විරෝධතාවට එක්ව සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයා දැඩි ස්වරයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින්ට දොස් නගමින් මෙසේ පැවසුවේය. වැඩක් නෑ ඔය නීතිය අපිට තමයි ඔක්කෝම. ඔය පොලිසියේ කීදෙනෙක් මේ වෙන කොට බීලා ඉන්නවද? බැලුම් පුම්බලා බලයිද?

මමත් ඔය නිල ඇදුමම ඇන්දා. මට පගාකාරයින් එක්ක රස්සාව කරන්න බැරි නිසා මම අයින්වුණා. මට ලැබුණු සල්ලිත් තාම බැංකුවල ඇති. ඒ සල්ලි රජයට බැර වෙච්චාවේ. මම පගා ගහන්නෑ. පගාවෙන් කෑවේ නෑ. මගේ තාත්තා කවදාවත් පගා අරන් අපිව ජීවත් කරේනෑ. පගා ගහලා දරුවන්ට කන්න බොන්න දීලා වැඩක් නෑ.

නීතිඥයොත් ඒ වගේ අපෙන් සල්ලි අරගෙන නඩු පරද්දනවා. පොලිස්කාරයෝ නීතිඥයන්ට නඩු හදනවට හවසට ගතමනාව හම්බ වෙනවා. උසාවිට ගියාම පැමිණිල්ල පොඩි කාලේ සෙල්ලම් කරද්දි වෙච්ච තුවාලය නඩුකාරතුමන්ට පෙන්නලා ඇඩුවම නීතියත් ඒ පැත්තේ.

මම විතරක් නෙමෙයි මගේ අයියා ක්ෂනික විහිදුම් බලකායේ අනිත් අයියා විශේෂ බලකායේ එක අයියා කෙනෙක් මේ රට වෙනුවෙන් දිවි පිදුවා. මගේ ළග ආයුදයක් තියනව නම් මම අසාධාරනකම් කරන මේ පොලිස්කාරයොන්ව මරාගෙන මැරෙනවා. මගේ දරුවන්ටවත් නිදහසේ ඉගෙන ගන්න ඉන්න දීපල්ලා යනුවෙන් ඔහු පැවසුවේය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පොලිස්ථානය තුළටවී විරෝධතාකරුගේ විරෝධතාවය නරඹමින් සිටි අතර ඔහු විසින් පොලිස් දෙපාර්තුමේන්තුව දැඩි විවිවේචනයට ලක් කලේය. විරෝධතාකරු අවස්ථා කිහිපයකදීම අනුරාධපුර මූලස්ථාන පොලිසියට එරෙහිව විරෝධතාවන් දියත් කළේය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ අපි කිසිම කෙනෙකුට අසාධාරණයක් කරළා නෑ. අදාල පැමිණිලි වලට අනුව පාර්ශව අධිකරණයට යොමුකරළා තියනවා. ඒ නඩු කටයුතු අධිකරණයෙන් විසඳගන්න ඕන යනුවෙනි.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Translate »
Scroll to Top