Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

මනූශ්‍ය ඝාතන රාජ්‍ය පාලනයේ කොටසක් ද?

නීතිඥයකු මැදිහත්වෙද්දී, රටේ ප්‍රධානතම නීතිඥ සංගමය මැදිහත්වෙද්දී, ආණ්ඩුකාරයෙක් මැදිහත්වෙද්දී, මාධ්‍යවේදියකු මැදිහත්වෙද්දී, මේ අයගෙන් සමහරු සැකකරුවකු අත් අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස ඝාතනය කරන බවට සමාජ මාධ්‍ය තුළත් පළ කරලා තියෙද්දීත් මුළු ලෝකයක් ඝාතනය කිරීමට කලින් ඝාතනය කරන බව දැන ගෙන තියෙද්දීත් සැකකරුව පොලිස් අත් අඩංගුවේ සිටියදී මරා දමනවා නම් මොකද්ද ඒ රට…

නිදහස ලැබිල අවුරුදු 75ක් ගිහිල්ලා ගොඩ නගලා තියන රට මේකද? එක්කෝ ලංකාවෙ තියෙන්නෙ තමන්ගෙ අත් අඩංගුවේ ඉන්න සැකකරුවකු ආරක්ෂා කර ගන්න බැරි නෝන්ජල් පොලීසියක්. එහෙම නැත්නම් මිනීමරුවො ඉන්න තැනක් වෙන්න ඕන. අගුලානෙ පසුගියකාලෙ අහිංසක තරුණයෙකුත් ඊට කලින් තරුණයො දෙන්නෙකුත් මිනීමරු පොලිස් නිලධාරීන් විසින් බිලි ගත්තෙ ඔවුන්ට හිමිවුන මේ අනීතික බලයෙන් නෙමේද? නිලඇදුම් ඇදන් ඉන්න පුළුවන්ද පොලිස්පතිට? මේ සිදුවීම කෙටි කාලයක් තුළ සිදු වුන මෙවන්ම කී වෙනි සිදුවීමද?

රාජ්‍යය මැදිහත් වෙලා කඩිනමින් යුක්තිය ඉටු කරන පාරදෘෂ්‍ය ක්‍රමවේද ගොඩනගනවා වෙනුවට මේ කරන්නේ රාජ්‍යය මැදිහත් වී සත්‍යය යටපත් කිරීමක්. අවුරුදු 75 ක් තිස්සෙ අපේ රාජ්‍යය ගොඩ නැගිල තියෙන්නෙ මිනීමරුවො එක්ක.

ඔබේ දරුවට පාතාල ලේබල් එක අලවලා මරා දමනකම් බලන් ඉන්න එකද පුරවැසි ඔබ කරන්න ඕන. පාතාලය නැති මත්ද්‍රව්‍ය ජාවාරම් නැති සමාජයක් ගොඩ නගන්නනම් ඉස්සෙල්ලා මේවායේ සත්‍යය එළිදරව් වෙන සාධාරණ නඩු විභාගයන්ට ඉඩ සකසන්න ඕන නැද්ද.

කණගාටුව නම් මේ ක්‍රමය ගොඩනගන්න පුරවැසි ඔබත් විවිධාකාරයෙන් දායක වී තිබීමයි. ඔබ ගොඩනගපු රටයි මේ. ඒ ගැන සිතුවොත් පමණයි ලංකාව කියන රාජ්‍යයට ඉදිරියට යන්න පුළුවන්. ඔබ වෙනස් වෙන්න. වෙනස් වෙලා මේ මිනීමැරුම් යුක්තිසහගත කරන රාජ්‍ය ක්‍රමය වෙනස් කරන්න.   පශ්චත් නිදහසේ 75 වන වසර ඊට ආරම්භයක් කර ගන්න. අළුතෙන් හිතන්න.

මේවා දේශපාලඥයන්ගෙ විතරක් වැරදි නෙමේ. පුරවැසි ඔබ පුරවැසියො නොවී නිකම්ම් ප්‍රාණයන් පමණක් වීමේ ගැටළු. ඒ නිසා ඔබ පුරවැසියන් වෙන්න. එයා වෙනුවට මෙයා වෙනුවට පුරවැසි සමාජ පෙරළියකට පෙල ගැසෙමු.

-නීතිඥ දුලාන් දසනායක-

Translate »
Scroll to Top