Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

යුද්ධයට විරුද්ධ වූ මාධ්‍යවේදිනිය අතුරුදන්

රුසියානු මාධ්‍ය ආයතනයක් වන චැනල් 1 නම් රාජ්‍ය නාලිකාවේ මාර්තු 14 වන දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අතරතුර ” යුද්ධය එපා ” යැයි සඳහන් පුවරුවක් ඔසවමින් විරෝධතාවයේ නිරතවූ මාධ්‍යවේදිනිය ආගිය අතක් නැති බව බටහිර මාධ්‍ය වාර්තා කරයි.

“යුද්ධය එපා, යුද්ධය නවත්වන්න, ප්‍රචාරණ විශ්වාස නොකරන්න. ඔවුන් මෙහි ඔබට බොරු කියනවා.” යනුවෙන් සටහන් වූ පුවරුවක් ප්‍රදර්ශනය කරමින් රුසියාවට මෙලෙස විරෝධතා දක්වා ඇත්තේ මෙම නාලිකාවේම ප්‍රවෘත්ති සංස්කාරකවරියක ලෙස කටයුතු කරන මරිනා ඔව්සන්නිකෝවා මාධ්‍යවේදිනියයි.

රුසියානු රූපවාහිනී ප්‍රවෘත්ති, රුසියානු රජය විසින් දැඩි ලෙස පාලනය කරන අතර, දැන් එම මාධ්‍ය ආයතන කටයුතු කරන්නේ යුක්‍රේන ආක්‍රමණය පිළිබඳ රුසියානු මතය පමණක් පිළිඹිබු වන ආකාරයට ය. රාත්‍රී ප්‍රවෘත්ති වැඩ සටහන අතර සජීවීව සිදුකළ මෙම විරෝධතාවට පෙර, ඇය යුක්‍රේනයේ සිදුවීම පිළිබඳව වීඩියෝවක් නිකුත් කර ඇත. ඒ රුසියානු රජයේ මතවාදය ප්‍රචාරණය සඳහා වැඩ කිරීමට සිදු වීම පිළිබඳව ලැජ්ජා වන බව ප්‍රකාශ කරමින් ය. එහිදී ඇය රුසියානු ජනතාවගෙන් යුද්ධයට විරුද්ධව නැගී සිටින ලෙස ඉල්ලා ඇති අතර පවතින මෙම අර්බුදය විසඳිය හැක්කේ රුසියානුවන්ට පමණක් බව ද ප්‍රකාශ කර ඇත.

මෙම සිදුවීමෙන් පසු ඇයගේ නීතිඥවරයා අදාළ රූපවාහිනී මධ්‍යස්ථානයට ආසන්න සියලුම පොලිස් ස්ථානවල ඇය සොයා ඇති අතර, මේ වන විට ඇය පොලිස් අත්අඩංගුවේ පසුවනු ඇතැයි විශ්වාස කරන බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඇයගේ මෙම ක්‍රියාව නිසා ඇයට ඉතා දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු විය හැකි බව පවසන විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, රුසියානු රජය අනුමත නොකරන විරෝධතාවලට සහභාගි වන පුද්ගලයින්ට එරෙහිව වසර අටක් දක්වා සිරගත කිරීම ආදී ඉතා දරුණු දඩුවම් මේ වන විට පනවා ඇති බවය.

කෙසේවෙතත් මෙම මාධ්‍යවේදිනියගේ අනන්‍යතාව දැනගත් මොහොතේ සිට ඇයට ස්තූති කරමින් විවිධ භාෂාවලින් ඇයගේ ෆේස්බුක් පිටුවට අදහස් විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බව සඳහන්ය. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ රුසියානු යුක්‍රේනය ආක්‍රමණය ආරම්භ වූ දා සිට සෑම දිනකම රුසියාවේ විරෝධතා අඛණ්ඩව පවතින අතර 15,000කට ආසන්න පිරිසක් මේ වන විට එම විරෝධතාවලට සහභාගී වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

 

හේෂානි කරුණාරත්න

Translate »
Scroll to Top