Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

හදිසි නීතිය වැඩ කරන ජනතාවට එල්ලවුණු විශාලම මර්දනීය ලියවිල්ලක් – කම්කරු අරගල මධ්‍යස්ථානය

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය වැඩ කරන ජනතාවට මරන වරෙන්තුවක් බවත් , සූරා කන්නන්ට පෙම්හසුනක් බවත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්, දුමින්ද නාගමුව මහතා පවසයි.

ඒ් මහතා පවසන්නේ  හදිසි නීතිය ක්‍රියාත්මක කර බඩු මිල පාලනයට මැදිහත් වනවා යයි කියමින් පසුගිය අගෝස්තු තිස් වෙනිදා නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනය හරහා මේ රටේ වැඩකරන ජනතාවගේ වෘත්තීය සමිති අයිතිය සම්පූර්ණයෙන්ම උදුර ගන්න ආණ්ඩුව කටයුතු කර ඇති බවය.

එමෙන්ම ඒ ගැසට් නිවේදනය හරහා ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ ආකාරයට බඩු මිල පාලනය කරනවා කියන කතාවත් සම්පූර්ණ පුස්සක් බවට පත් වී ඇතැයිද ඔහු චෝදනා කර සිටියි.

මෙම ගැසට් නිවේදනය හරහා වරාය අධිකාරිය, තෙල් සංස්ථාව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ගමනාගමන මණ්ඩලය, අත්‍යවශ්‍ය නඩත්තු හා ආරක්ෂක කටයුතු වලට අදාළ ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශී ලේකම් කාර්යාල වල කටයුතු කරන සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාරවරු, ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් , ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම බැංකු හා රක්ෂණ ආයතන, පළාත් පාලන ආයතන වල සේවය කරන කසල කලමනා කරන කටයුතු කරන සේවකයින්, සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සමුපකාර සමිති හා වී අලෙවි මණ්ඩලය, සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගම, පළාත් සභා යටතේ වැඩ කරන සියලුම කාර්යාල සේවකයින්,සෞඛ්‍ය සේවය අදාළව කටයුතු කරන සියලුම සේවකයින්, තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරන සේවකයින් ඇතළු සියලු දෙනා ට මෙම අත්‍යවශ්‍ය සේවා නියෝග බලපා ඇති බව දුමින්ද නාගමුව මහතා පවසයි.

එම ගැසට් නිවේදනයේ සඳහන් වෙන ආකාරයට යම් පුද්ගලයෙක් සේවයට නොපැමිණියහොත්, යම්කිසි කාර්ය කොටසක් ප්‍රතික්ෂේප කළහොත්, පැහැර හැරියොත් හෝ සේවයෙන් බැහැර ගියහොත්, නිවාඩු දිනයක වුවත් සේවයට කැඳවු විට එය ප්‍රතික්ෂේප කළහොත්, එමෙන්ම වැඩවර්ජනයකට හෝ සංවිධානාත්මක ක්‍රියාමාර්ගයකට සාමූහික අරමුණින් යුතුව ඉහත සේවයෙන්  බැහැර වූවොත්, සේවයට නොපැමිණෙන අරමුණින් යුතුව ඉහත සේවයෙන් බැහැර වූවොත්, සේවයට නොපැමිණියහොත් හෝ වර්ජනයකට සම්බන්ධ වුවහොත් එම පුද්ගලයින් ඒ මොහොතේ සිට සේවය අවසන් කර රැකියාවෙන් නෙරපනු ලබයි. ඊට අමතරව ඔහු වරදකට වරදකරු ලෙස සඳහන් වේ.

ඒ් මහතා පවසන පරිදි වෘත්තී සමිති නායකයින් හා ක්‍රියාධරයින් දඩයම් කිරීම සඳහා මෙහි තවත් තැනෙක සඳහන් වෙන්නේ යම් පුද්ගලයෙක් සේවයට පැමිණීම අවහිර කිරීම සඳහා වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට හෝ යම් ක්‍රියාමාර්ගයකට පෙළඹවීම, උනන්දු කිරීම, දිරිගැන්වීම් ඒ පිළිබඳ යම් කිසි ලියවිලි ඉදිරිපත් කිරීම, සියල්ල දඬුවම් ලබන වැරදි බවට මෙම ගැසට් නිවේදනය හරහා කියා ඇත.

එහිදී එම වැඩ වර්ජනය සිදු වුවත් නොවුනත් ඉහත එයට මැදිහත් වෙන අය වරදකරුවන් වන බවටත් මෙහි සඳහන් වීම , මේක මෑත ඉතිහාසයේ මෙරට වැඩ කරන ජනතාවට එල්ලවුණු විශාල ම මර්දනීය ලියවිල්ල ලෙස සැලකිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ හරහා සියළුම රාජ්‍ය සේවකයන් මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන බව වැඩකරන ජනතාව අවබෝධ කරගත යුතුව ඇතැයිද ඒ් මහතා අවධාරණය කර සිටියි.

මහජන සාමය ආරක්ෂා කිරිම සඳහා ගබඩාවල තිබෙන ආහාර ද්‍රව්‍ය රජයේ සහතික මිලට හෝ රේගුවේ සඳහන් මිලට මිලදී ගැනීමට ආණ්ඩුව කැපවී සිටින බව පැවසුවත් වැඩකරන ජනතාවගේ රස්සාව අහිමි කරද්දී මහජන සාමයක් ගැන හිතන්න නැති ආණ්ඩුව මේ රටේ මහජනතාව පීඩාවට පත්කරන තොග ව්‍යාපාරිකයන්ගේ දේපළ අත්පත් කර ගනිද්දී එය මලකින් රොන් උරනවා වගේ බොහොම සියුම්ව කරන්න, උනන්දු වෙන බව පේන බවද  ඔහු වැඩිදුරටත් කියා සිටියි.

දුමින්ද නාගමුව මහතා මේ බව කියා සීටියේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදීය.

Translate »
Scroll to Top