ලංකාවේ බන්ධනාගාර තුල මැන්ඩෙලා ප්‍රමිතීන් තියා මූලික ප්‍රමිතීන්වත් නෑ – අම්බිකා සත්ගුණනාදන්

 - September 5th, 2021 - 

2018 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිලිබඳව  ජාතික අධ්‍යයනයක් සිදු කළේය. මෙයට පාදක වූයේ බන්ධනාගාර, සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන්වය. ඊට අමතරව රාජ්‍ය ආයතන හා ස්වාධීන ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වලද මෙහිදී සහාය කර ගන්නා ලදි.  මෙම ජාතික අධ්‍යයන වාර්තාව  මෙහෙය වුයේ එවකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සිටි  අම්බිකා සත්ගුණනාදන් මෙනෙවිය විසිනි.

ඇය සිය අත්දැකීම් ශ්‍රී ලංකා බන්ධනාගාර මැන්ඩෙලා ප්‍රමීතීන් අනුගමනය කරන්නේද? යන මැයෙන් අයිතිය වෙබ් අඩවිය හා කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි.

බන්ධනාගාර වල තත්ත්වය කෙබඳුද?

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල මැන්ඩෙලා ප්‍රමීතින් වලට හෝ මූලික මානව හිමිකම් ප්‍රමීතින්ටවත් අනුගත නොවන බව  අප කළ ජාතික අධ්‍යයනයේදී අප සොයා ගත්තා.

සිරකරුවන් සිටින ගොඩනැගිලි ඉතාමත් පරණයි. ඒවා ජරාවාස වුණු, කඩා වැටෙන්නට ආසන්න, වතුර කාන්දු වෙන ගොඩනැගිලි. මේවායේ සිරකරුවන් පිරිලා.

ඒ වගේම ඔවුන්ට ජල පහසුකම් සීමිතයි. දවසේ එක වෙලාවකට විතරයි ජලය ලැබෙන්නේ. ඔවුන්ගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් ජලය ලබා ගැනීමට සිය සිරකුටි වල සිට පහලට යාමට සිදු වෙනවා. සනීපාරක්ෂක කටයුතුද සීමිතයි. බොහෝ සිරකරුවන්ට එකම නාන කාමරය භාවිතා කිරිමට සිදු වෙනවා. ඒවාට දොරවල් නැහැ. ඒ නිසා ඔවුන්ට පෞද්ගලිකත්වයක් නැහැ.

අනෙක් දේ තමා සිරකරුවන්ගේ ආහාර. ඒවායේ කිසිම ගුණාත්මකභාවයක් නැහැ. මේ සිරකරුවන් ඔවුන්ට ලැබෙන මාළු ගැන උනන්දු වෙනවා. ඔවුන් පවසා සිටියේ ශිත නොකළ මාළු පිසින බවත් ඒවා ආහාරයට ගත් විට සමේ පළු මතු වෙනවා කියලා.

මේ බන්ධනාගාර වල තියෙන රෝහල් /ඩිස්පෙන්සරි ඉතාම කුඩා ඉඩක තියෙන්නේ. බරපතල රෝගාබාධ අවස්ථාවකදී ඔවුන්ට ඒවායේ ප්‍රතිකාර ලබා දීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ළඟම ඇති රජයේ රෝහල් වෙත මේ සිරකරුවන් රැගෙන යාමට සිදු වෙනවා. නමුත් මේ සඳහා බන්ධනාගාර වල ප්‍රවාහන පහසුකම් නැහැ.

පහුගිය දිනවල බන්ධනාගාර වලට බස් රථ විශාල සංඛ්‍යාවක් ගත්තා. මම හිතනවා ඒ ගැටලුව ඒ නිසා ඉදිරියේදි විසඳෙයි කියලා. නමුත් තවමත් නිලධාරීන්ගේ නම් හිඟයක් තියෙනවා.

ගොඩක් සිරකරුවන් නඟන චෝදනාවක් තමයි ඔවුන්ව සායන වලට රැගෙන යන්නේ නැහැ කියලා. විශේෂයෙන් සි.ටී ස්කෑන් එකකට හෝ එම්.ආර්.අයි. ස්කෑන් වලට මාසයකට පෙර දින ලැබුණත් ඔවුන්ව රැගෙන ගොස් නැහැ.

බන්ධනාගාර වල පැය 24 ම වෛද්‍යවරයෙක් නැහැ. හදිසියේ අසනීප වුනොත් රෝහලටම තමා ගෙනියන්න වෙන්නේ. එතකොට සමරවිට ඔවුන් මිය යන්න පවා ඉඩ තියෙනවා.

බන්ධනාගාර වල තදබදය විසඳන්නේ කෙසේද?

මෙය අපි සාකච්ඡා කළ යුතු දෙයක්. මේ තදබදය අවම කරන්න නම් තව බන්ධනාගාර ඉදි කළ යුතුයි කියනවා. මම නම් ඒ අදහසට විරුද්ධයි. මම හිතන්නේ අපි වැඩ කළ යුත්තේ මේ බන්ධනාගාර සියල්ල වැසෙන  තැනටයි. ඒක ගොඩක් ආකාර වලින් කරන්න පුලුවන්.

ගොඩක් මිනිස්සු හිරේ ඉන්නේ දඩ ගෙවා ගන්න බැරි නිසා. ඒ නිසා මම කියන්නේ දඩ ගෙවා ගන්න බැරි මිනිස්සු සිරගත නොකළ යුතුයි කියලා.  ඒ වගේම රණ්ඩු සම්බන්ධව පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. මම හිතන්නේ ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ යුතුයි කියන අදහස සමාජයේ තියෙනවා. මේ නිසයි බන්ධනාගාර පිරෙන්නේ.

ප්‍රජා විශෝධන පනත අනුව බන්ධනාගාර ගත නොකර දඬුවම් කළ හැකියි. ඒ විදිහට අප ක්‍රියාත්මක විය යුතුයි. මේ ආකාරයේ ක්‍රම ගණනාවක් තියෙනවා. මේ විදිහට බන්ධනාගාර වල පිරිස අඩු වුණොත් අපට මැන්ඩෙලා ප්‍රමීතීන් අනුගමනය කිරිමටත් බොහෝ වියදම් අඩු කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

ඒ නිසා අපි හැකි තරම් මේ බන්ධනාගාර ගත වන පිරිස අවම කර ඒවා වසා දැමිය යුතු තැනට කටයුතු කළ යුතු වෙනවා.

සෞඛ්‍ය ගැටලු වලට හේතු මොනවාද?

මේ බන්ධනාගාර වල අධික ලෙස සිරකරුවන් පිරීම නිසා පිරිසිදු වාත්‍රාශ්‍රයක් ලැබෙන්නේ නැහැ. කඩා වැටෙන ගොඩනැගිලි, අඳුරු වතුර කාන්දු වෙන සිරකුටි, මීයෝ, කැරපොත්තෝ ආදිය නිසා සිරකරුවන්ගේ සෞඛ්‍ය කෙසේවත් යහපත් වෙන්නේ නැහැ.

වැලිකඩ චැපල් වාට්ටුවක  මරණ දඩුවම හිමි වු විශාල පිරිසක් ඉන්නවා. එතැන අඳුරුයි. තෙතමනය සහිතයි. එහි සිටින අය පවසන්නේ ඔවුන් අවුරුදු ගාණක් එහි සිටින නිසා මේ වන විට ඔවුන්ගේ ඇස් පෙනීම පවා දුර්වල වී ඇති බව.

සමාන්‍යයෙන් බන්ධනාගාර ගත වන අයෙකුට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. මේවායේ වෛද්‍ය පහසුකම් ඉතාම සීමිතයි.

කොවිඩ් නිසා මතුව ඇති ගැටලු?

ඔවුන්ට දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් නැති නිසා ඔවුන්ගේ සෞඛ්‍ය ඉතාම අවදානමක වැටෙනවා.. ඔවුන්ට ජලය සීමිත බැවින් නිතර අත් සෝදන්න බැහැ. ප්‍රමාණවත් මුඛ ආවරණ නැහැ. ඒ නිසා ඔවුන්ගේ සෞඛ්‍ය අර්බුදයක පවතින්නේ. මොවුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තු නැති නිසා රෝගීන් පිරි ඇති අවස්ථාවක මොවුන්ට ඇඳක් ලැබේවි කියා සිතන්න බැහැ.  බොහෝ විට මොවුන් ඉන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවේ අන්තිමට.

රජය පහුගිය මාස 7-8 කාලය තුල සුලු වැරදි වලට බන්ධනාගාර ගත වු අය හා දඩ ගෙවා ගැනීමට නොහැකිව සිටි බොහෝ දෙනෙකු නිදහස් කළා. ඒක හොඳ ක්‍රියාවක්. ඒ වගේම ඇප ලබා ගැනීමට නොහැකිව සිටි අයට ඇප ලබා දුන්නා. ඒ නිසා බන්ධනාගාර වල සිටි 25000 ක පමණ පිරිස 18000 පමණ අඩු වුණා. නමුත් තවමත් තදබදයක් තියෙනවා.

තවමත් තදබදය ඇයි?

ඒ මිනිසුන් තවමත් රිමාන්ඩ් කිරිම නිසයි. රක්ෂිත බන්ධනාගාර ගත කිරිම නීතියක් බවට පත් වෙලා. ශ්‍රි ලංකාවේ ඇප ලබා දිය හැකි වුවත් ඇප ලැබෙන්නේ නැහැ. ඇප ලබා දීම ව්‍යාතිරේකයක් වී තියෙනවා. මේ වන විට බන්ධනාගාර වල සිරකරුවන් 19000 ක් පමණ දක්වා වැඩි වී තියෙනවා.

බන්ධනාගාර වල හිංසාවන්ට බලපාන කරුණු?

ඒවා තුල ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමා නීතිය, විනය රැකිම සහ දඬුවම් කිරිමේ ක්‍රමවේදය ප්‍රචණ්ඩත්වය තුලින් කියලා බන්ධනාගාර නිලධාරින් සිතිම. පැහැදිලිවම ඒ සියල්ලම නීති විරෝධියි. ඒවා අපේ නීතියට, ප්‍රඥ්ඥප්තීන් වලට අනුගත නැහැ. නමුත් තවමත් ඒවා සිදු වෙනවා.

අතීතියේ මානව හිමිකම් කොමිසමේ බන්ධනාගාර පිලිබඳව සොයා බැලීමක් සිදු වුණේ නැහැ. ඔවුන්ට පැමිණිලි කිරිමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඔවුන්ට බාහිර ලෝකය සමඟ සන්නිවේදනයක් තිබුනේ නැහැ. වැලිකඩ බන්ධනාගාරයේ පමණයි දුරකථන පහසුකම් තිබුණේ. සෑම කෙනෙකුටම  විනාඩි 20 ක් දුරකථනය භාවිතා කළ හැකියි.

මේ නිසා ඔවුන්ට මානව හිමිකම් නිලධාරින් ගියහොත් පමණයි පැමිණිලි කිරිමට හැකි වුනේ. බන්ධනාගාර නිලධාරීන්ටද මේ ගැන වගවීමක් නැහැ. ඔවුන්ට පසුතැවිලි වීමකුත් නැහැ. ඒ නිසා ඔවුන් දිගින් දිගටම ප්‍රචණ්ඩත්වයේ යෙදෙනවා.

වාර්තාව අනුව ඉදිරිපත් වූ යෝජනා මොනවාද?

වදහිංසාව වැලැක්විමේ එක ක්‍රමයක් තමා මානව හිමිකම් නිලධාරින් වැඩි වශයෙන් බන්ධනාගාර තුල සංචාරය කිරිම. පුද්ගල අයිතීන් කඩ කළ පුද්ගලයෙක් ගැන වාර්තා වු විට ඔහුට එරහෙිව කටයුතු කළ යුතුයි. වදහිංසාවට එරෙහි පනත යටතේ කටයුතු කළ යුතුයි.

ඒ වගේම රජය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වදහිංසාවෙන් තොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවට සහතික කළ යුතුයි. වදහිංසාව කියන්නේ නීති විරෝධි, පාපකාරී, අමානුෂික සහ සිදු නොකළ යුතු දෙයක්.

Advertisement

Videos

Featured Video Play Icon

කන්දෙකැටිය පොලීසිය ඝාතනය කළ “සඳුන් මාලිංග” | Sandun Malinga

Featured Video Play Icon

අපිත් ණයයි, රටත් ණයයි, දෙවි පිහිටයි! | Microfinance crisis

Facebook Page