Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

කොවිඩ් වසංගතයත් සමඟ ළමා අපයෝජන ඉහළට !

සුහුරු ජංගම දුරකථන පරිහරණයත් සමග කොරෝනා වසංගත සමයේ  උතුරු මැද පළාතේ බාල වයස්කාර දැරියන් පෙම්වතුන් සමග පැනයාමේ සිද්ධීන් ඇතුළු ළමයින් ට සිදුවන අපයෝජන  හා  හිංසාවන් ඉහළ ගොස් ඇතැයි  පොලිස් කාන්තා හා ළමා කාර්යංශය සහ පරිවාස දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ගත වූ මාස 7 තුළ පමණක් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පෙම්වතා සමග රහසින් පලා යාම,ළමා අපයෝජන ඇතුළු ළමා හිංසන පිළිබදව පැමිණිලි 150ක් පමණ අධිකරණය ට ඉදිරිපත් කිරීමට සිදු වූ බව පරිවාස දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.මෙම අගය දෙගුණයක් පමණ විය හැකි බවත් පොලිස් කාන්තා හා ළමා කාර්යංශ තොරතුරු සමග ගැලපීමෙන් පෙනී යන බව ද එම ආරංචිමාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.

මෙම තත්ත්වය නිසා උතුරු මැද පළාතේ ළමා නිවාස හා පාළක මණ්ඩල යටතේ ‍රැකවරණය සලසන ‍රැදවුම් මධ්‍යස්ථානවල රදවා සිටින ළමයින් සංඛ්‍යාව ද 400 ඉක්මවා ගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් හෙළි කරයි.

“ළමයින් නිවෙස්වලට ම කො‍ටු වී සිටීම නිසා තමන්ගේ ළමග ඥාතීන්ගෙන් සිදුවන අතවර හා හිංසන ඉහළ ගිහින් තියෙනවා.ඒ වගේම ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කියලා ළමයින් ට ස්මාර්ට් ජංගම දුරකථන ලැබීමෙන් ද ගොඩක් අපයෝජනයන්ට ලක්වෙලා තිබෙන සිද්ධීන් වාර්තා වෙලා තියෙනවා.මේ නිසා අඩු වයස් ගැහැණු ළමයින් භාර කාරත්වයෙන් අපහරණය කිරීම් ඒකියන්නේ බාලවයස්කාර ගැහැණු ළමයින් පෙම්වතුන් එක්ක පැනලා ගිය සිද්ධීන් ටිකක් වැඩි වෙලා තියෙනවා.අධිකරණයට වාර්තා කළ සිද්ධීන් මේ ගත වෙච්ච  මාස 07ක පමණ කාලයට 150ක් පමණ වෙනවා.එය පසුගිය වසරවලට වඩා ගොඩක් වැඩි වීමක් විදිහට සලකන්න පුළුවන්.”යැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් හෙළි කරයි.

බාලවයස්කාර දැරිවියන් හොර රහසේ පෙම්වතුන් සමග පැන යාම ඇතුළු ළමා හිංසනයන් ඉහල යෑම පිළිබදව  උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස් ටී..එස්.සී.පෙරේරා මහත්මියගෙන් විමසීමක් කළෙමු.එහි දී ඒ මහත්මිය මෙසේ පැවසුවා ය.

“සමහර කොට්ටාශවල ගැටලු තිබුණත් කොට්ටාශ වශයෙන් ගත්තාම එහෙම යම් වැඩි වීමක් පෙන්නුවත් සමස්තය ගත්තාම එහෙම ලොකු වැඩි වීමක් පෙන්වන්නේ නැ.නමුත් අපට වාර්තා වන තොරතුරුවලට වඩා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත,පොලිස් ස්ථාන වෙත ලැබැන තොරතුරු හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත ලැබෙන තොරතුරු අනුව තමයි මේ වැඩි වීම බලන්න ඕන.

අපේ යටතේ පවතින ළමා නිවාස හා පාළක මණ්ඩල යටතේ පවතින ළමා නිවාසවල රදවා සිටින ළමයින් සංඛ්‍යාව අද වෙනකොට 429ක් වෙනවා.පොලොන්නරුවේ එම සංඛ්‍යාව 98ක් වෙනවා.අපේ නිලධාරින් මේ අමයින් ගේ සුභ සාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා.ගරු අධිකරණයේ නියමයන් මත අප භාරයේ සිටින ළමයින් වගේම සමහර සිද්ධීන්වල දී භාරකාරත්වයෙන් අපහරණය වූ දරුවන් දෙමවුලියන්ගේ කැමැත්ත මත දෙමවුපියන් භාරයට පත් වෙනවා.එහෙම භාර කළත් අපේ නිලධාරින්ගේ අධීක්ෂණය හා සුපරික්ෂණය සිදුවෙනවා.” යැයි ද ඒ මහත්මිය පැවසුවා ය.

ඊෂා  මුදියන්සේ- පොලොන්නරුව

Translate »
Scroll to Top