Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

මහර වෙඩි තියන්න ගිනි අවි 53 ක් භාවිතා කරලා?

මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධියේ උණුසුම තවමත් අප අතර ඇත්තේය. මෙහිදී රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු මිය යාම සම්බන්ධයෙන් මේ වන විටවත් කිසිවෙකුට සාධාරණයක් ඉටු වී නොමැත. තවමත් සියල්ල පවතින්නේ විමර්ශන මට්ටමේය.

නමුත් මේ ගැටුම පිලිබඳ සෙවීමට අධිකරණ අමාත්‍ය අලී සබ්‍රීමහතා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව නම් පහුගිය දිනෙක අමාත්‍යවරයා වෙත භාර දී තිබුණි.

එහිදී පැහැදිලිව සඳහන් කර තිබුණේ රැඳවියන්ගේ ආරක්ෂාව පතා සිදු කළ  මෙම උද්ඝෝෂණය සාධාරණ බවය. ඊට  හේතු ලෙස සඳහන් කර තිබුණේ රැඳවියන් අතර කොවිඩ් ව්‍යාප්තිය, බන්ධනාගාර තදබදය, ආහාර ගැටළුව, පානීය ජල ගැටලුව, ඇප ලබා නොදීම, ඇප ලබා දී තිබියදීත් බන්ධනාගාරයෙන් මුදා නොහැරීම ආදී කරුණුය.

එමෙන්ම මෙම වාර්තාවේ තවදුරටත් පැහැදිලිව සඳහන් කර තිබුණේ මේ කිසිඳු රැඳවියෙකු අත ගිනි අවි නොතිබි ඇති බවත් ගිනි අවි භාවිතා කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් පමණක් බවය.

මේ සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශන සිදු කරන අතර ඔවුන් විසින් මෙම ගැටුමේදී  බන්ධනාගාර නිලධාරීන් භාවිතා කරන ලද ගිනි අවි  53 ක්  පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ගිනි අවි සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂඥ මතයක් ලබා ගැනීමට නියමිතව ඇත. කෙසේ නුමුදු මේ වන විට මේ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ 544 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගෙන ඇත. ඒ අතර බන්ධනාගාර රැඳවියන්, නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙද මණ්ඩලය හා එදින ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශ වේ.

පහුගියදා පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ මෘත දේහයන් හතර සම්බන්ධයෙන්ද අනාවරණය වී තිබුණේ වෙඩි වැදීමෙන් තුවාල ලබා මිය ගොස් ඇති බවය.

මේ අතර මිනුවන්ගොඩ, නිල්පනාගොඩ පදිංචිව සිටි අතුල කුමාරද මිය ගිය රැඳවියන් අතර සිටින පුද්ගලයෙකි. මොහු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත වී ඇති අතර පසුව බිරිඳ විසින් ඇප තැබීමෙන් අනතුරුව අධිකරණය ඔහුව මුදා හැරීමට නියෝග කර ඇත.

නමුත් බන්ධනාගාරය මඟින් ඔහුව නිදහස් කර නොමැති බවත් පහුගියදා බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ඔහුද මිය ගොස් ඇති බවත් මීට වගකිව යුත්තේ බන්ධනාගාර නිලධාරීන් බවටත් ඇය චෝදනා කර සිටියි.

Translate »
Scroll to Top