Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

රොකට් තාක්ෂණයේ සිට බරකරත්ත දක්වා – පිලිප් දිසානායක

යහපාලන රජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කර ආසියාවේ ආශ්චර්ය වෙත යන්නට පිය නැගුවේ සෞභාග්‍යයේ දැක්මද අතේ තබා ගනිමිනි. ඒ සදහා රටේ සැලකිය යුතු ජනතාවක් ඒකාවන්නව පෙල ගැසුනේය. ඊට මහගු දායකත්වයක් අපේ ගරුතර සංඝරත්නය විසින් ලබා ලබා දුන් අතර, ඒ හා සමාන දායකත්වයක් ව්‍යාපාරිකයින්, ජනතා කලකරුවන්, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද, රාජ්‍ය සේවකයින් ද ලබා දෙන ලදී. විදෙස්ගතව සිටි ශ්‍රී ලංකිකයින් අතින් වියදම් කරගෙන පැමිණ මේ මහා පුන්‍ය කටයුත්තට දායක වීම මෙහි ඇති තවත් විශේෂත්වයක් වූවාය.

එහි ප්‍රතිඵලය වුයේ 69 ලක්ෂයක් ජන වරමක් සහිත ජනාධිපතිවරයෙක් හා 150කට ආසන්න මන්ත්‍රීධූර සංඛ්‍යාවක් සමගින් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සහිත ඉතා ශක්තිමත් ස්ථාවර රජයක් ගොඩනැගීමට හැකියාව ලැබීමයි. එම රජය තවත් ස්ථාවර කර ගැනීම සදහා ආණ්ඩුවේ ප්‍රධාන ධුරයන් මෙන්ම, අමාත්‍යංශ සියල්ල සදහා තම පවුලේ සෘජු සමාජිකයින් පත්කර ගන්නා ලදී. ඉන් සෑහීමකට පත් නොවූ නිසා අමාත්‍යංශ හා අනෙකුත් ප්‍රධාන ධුරයන් හි ලේකම් ධුරයන් සදහා තම ලගම ඥාතීන් ද පත්කර ගැනීමට ද කටයුතු කළාය.

ජනපති මල්ලීට සහාය වීමට අගමැති අයියා සහ ඇමති අයියලා හා මල්ලිලා ද, ඇමති පුතාලා ද, ආණ්ඩුවේ අනෙක් බොහෝ ස්ථායන් සදහා ලේ ඥාතීන් ස්ථානගත කරමින් ජන වරම තවත් ශක්තිමත් කළාය. ඊට අමතර අවස්ථාවන් සදහා තමන් සමග ක්‍රියාන්විතයේ සිටි මිතුරු හමුදා නිලධාරීන් ද පත්කරමින් ජන වරමට තවත් මිලිටරි ආරෝපනයක් ද ලබා දුන්නාය. අවසානයේ මේ ආකාරයෙන් ගොඩනැගුණු ශක්තිමත් ආණ්ඩුවක් වර්තමානයේ නොව රජ කාලෙවත් ලෝකයේ කිසිදු රටකින් සොයා ගැනීමට නොහැකි තරම්ය.

පවුලේ සමාජිකයින්, ලේ ඥාතීන්, හමුදා නිලධාරීන් හා සමාන තවත් සත්ව කොට්ඨාශයක් වත්මන් ආණ්ඩුවට විශාල දිරියක් දුන්නාය. එය නමින් වියත්මග වූවාය. අලුත් ආණ්ඩුව ආ සැනින් මේ වියත්තු විසින් සැකසූවා යැයි පැවසෙන සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවට නැන්වීම ආරම්භ කළේය. පළමු පියවර වුයේ එතෙක් පැවති බදු ක්‍රමය සම්පුර්ණයෙන් උඩු යටිකුරු කර රජයේ බදු ආදයම සැලකිය යුතු මට්ටමකින් කපා හරිනු ලැබීමයි. මේ අතර තුර කෝවිඩ් වසංගතය පැමිණි අතර ඊට ප්‍රථිකාර සදහා දේශීය ප්‍රථිකාර ක්‍රම කිහිපයක් මේ වියතුන් විසින් ලෝකයට හදුන්වා දුන්නාය. ඉන් පසුව මේ වියතුන්ගේ උපදෙස් මත ඒකවරම මුළු රටම කාබනික ගොවිතැනට යොමු කළ අතර, පොහොර, කෘමි නාශක ඇතුලු සියලු ද්‍රව්‍ය ආනයනය සම්පුර්ණයෙන් නතර කර දැමුවාය. මේ හේතුවෙන් අස්වැන්න 50% කට වැඩි ප්‍රමාණයකින් අඩු වූ අතර, ඒ අඩුව පිරිමසා ගැනීමට අත්‍යාවශ්‍ය ආහාර ආනයන කිරීමට සිදු විය. මේ අතර කොවිඩ් වසංගතයට අනවශ්‍ය ලෙස බිය වී ප්‍රතිචාර දැක්වීම නිසා රට අවස්ථා කිහිපයකදීමට අගුළු දැමීමට සිදු වීමෙන් අපගේ අපනයනයන් මෙන්ම, සංචාරක කර්මාන්තයට මරු පහරක් ඒල්ල විය. මෙම හිගය පියවීම රුපියල් මුද්‍රණය වේගයන් සිදු වූ අතර, වැඩි වූ උද්ධමනය පාලනය කිරීම සදහා අපගේ සංචිත භාවිතා කිරීමත් සිදු කරන ලැබීය. එමෙන්ම, ඩොලරය බලහත්කාරයෙන් රදවා තබා ගැනීමට අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ ගත් උත්සාහය නිසා සංචිත අවසන් වී පැදුරෙනුත් බිමට පතිත විය.

ඩොලර් සංචිත වේගයෙන් කඩා වැටීමකට ලක් වෙන බවත්, ඉන් අනතුරුව ගෑස් ඉන්ධන, ‌ෙඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමත්, ණය වාරික ගෙවීමට නොහැකි වන බව දැන දැනත් සත්‍ය වසන් කරමින් වහසි බස් දෙඩු මහ බැංකු අධිපතිවරයෙක් මේ අතර අපේ පිනට පහලවී තිබුනි. රාජ්‍ය වැටුප් සදහා ට්‍රිලියන ගනනින් මුදල් මුද්‍රණය කිරීම උද්ධමනය වැඩි වීමට හේතුවක් නොවන බව මෙතුමා අපට කරුණු ඇතිව කියා දුන්නේය.

මේ ආර්ථික ඔස්තාර්ලා ලබා දුන් උපදෙස් අනුව රට බෙදීමට ලක්වීමට හැකි බව පවසා පවසා ඩො.මි 500ක වටිනාකමකින් යුත් MCC ගිවිසුම නේපාලය වෙත හරවා යැවීමට කටයුතු කලාය. ඒමෙන්ම, කොළඹ වරායේ නැගෙන ජැටිය හා සාමපුර් විදුලි බලාගරය ඇති කිරීම සදහා වූ ව්‍යාපෘති ඒක පාර්ශවීය නවතා දැමුවාය. ඒමෙන්ම, ජපානය සමග ඇතිකර ගෙන තිබූ ඩො.බි 1.4ක් වූ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය සම්බන්ධ ගිවිසුම නීති විරෝධී ආකාරයෙන් ඒකපාර්ශවීයව බිද දමා තවත් ඩොලර් මිලියන ගනනාවක් මුදලක් ජපන් රජය වෙත වන්දි වශයෙන් ගෙවීමට ද කටයුතු කළාය.

ඒ අතර චීන පෝර නැව ආපසු හැරවීම, ඒක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිද්ධිය වැනි සිද්ධීන් සම්බන්ධව මේ රජය ගත් අකාර්යක්ෂම, මෝඩ හා රාජ්‍ය තාන්ත්‍රික නොව ක්‍රියා මාර්ග හේතුවෙන්, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ද අපි විශාල ලෙස දෝෂාරෝපනයට ලක් වූවාය.

මේ සියලු වික්‍රමයන්ට පින්සිදු වෙන්නට ගත්තු ණය ගෙවා ගැනීමට නොහැකි බංකොලත් වූ රටක් බවට නිළ වශයෙන් ප්‍රකාශ කිරීමට ඉතා ඉක්මනින්ම සිදු විය. රොකට් තාක්ෂණය පවා අත්හදා බලමින් ආසියාවේ ආශ්චර්ය පෑමට ගිය ශ්‍රී ලංකාවට ඒහි ජීවත්වන මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය අහාර පාන, ‌ෙඖෂධ, ඉන්දන, ගෑස් ඉල්ලා ආසියානු රටවල් වෙත හිගමනේ යාමට සිදු වීමම ආශ්චර්යක් වී තිබේ.

මේ හේතුවෙන්, 69 ලක්ෂයක ජන වරමක්, පාර්ලිමේන්තුවේ 2/3ක බලයක්, ලේ ඥාතීන්ගෙන් පිරුණු කැබිනට් මණ්ඩලයක් හා ඒවැනි ඥාතීන් පුරවා ගත් රාජ්‍ය යන්ත්‍රණයක් සහිතව තිබූ, ඉතා ශක්තිමත් යැයි පැවසූ රජයක් බිද වැටීමට ගියේ පැය 24කටත් වඩා අඩු කාලයක්. මේ හේතුවෙන් දින තුනක් අර්ධ ආරාජිකත්වයක් රට තුළ ගොඩනැගුණ අතර, ගොඩ නැගී තිබූ ජන විරෝධය පාලනය කිරීම සදහා අගමැතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩය බිලි දී ජනාධිපති ධුරය රැක ගැනීමට ජනාධිපතිවරයාට සිදු විය.

අද වන විට රටේ සැලකිය යුතු පිරිසකට මේ වන විට අප මුහුණ දී ඇති ගැටළුවේ ඇති ගැඹුර පිළිබදව සැලකිය යුතු අවබෝධයක් ලැබෙමින් තිබේ. කිසියම් රටක් හෝ පුද්ගලයෙකු පැමිණ අපව බේරාගැනීම හෝ තාවකාලික විසදුම් තව දුරටත් නොමැති බව ඔවුන් ක්‍රමයෙන් වටහා ගනිමින් තිබීම මෙම ගැටළු විසදා ගැනීමට මහත් ප්‍රයෝජයක් වී තිබේ. ආණ්ඩුවේ මෙන්ම, අප රාජ්‍ය ව්‍යුහයේ පවතින අනවශ්‍ය නාස්තිකාර වියදම් සැලකිය යුතු මට්ටමකින් කපා හැර, පාඩු ලබන රාජ්‍ය ආයතන පද්ධතිය ප්‍රථිව්‍යුහගත කරමින් එහි කාර්්‍යක්ෂමතාව වර්ධනය කිරීමටත් මෙය අවස්ථාවක් කර ගත යුතුය.

ඒ සදහා අවශ්‍ය ශක්තිය හා ස්ථාවරත්වය හා ජන සහයෝගය ලබා ගැනීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පකෂයන්ගේ සහාය හා ඒකගත්වය මේ වැඩ පිළිවෙලට ලබා ගත යුතු අතර, ඒ හරහා සිදු කළ යුතු අත්‍යවශ්‍ය ආර්ථික හා ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ වහ වහා සිදු කල යුතුය.

පිලිප් දිසානායක

Translate »
Scroll to Top