Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

අම්බිකා ගැන විදේශ අමත්‍යංශයේ ප්‍රථිචාර සිවිල් සංවිධාන හෙලා දකී

 

අම්බිකා සත්කුනනාදන් මෙනවිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හෙලාදකිමින්, සිවිල් ක්‍රියාකාරීන් 161, සංවිධාන 47ක් සහයෝගීතා ප්‍රකාශනයක් නිකුත් කළේය.

සම්පූර්ණ ප්‍රකාශනය

මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය වන අම්බිකා සත්කුනනාදන් මහත්මිය විසින් 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අනුකමිටුවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් 2022 පෙබරවාරි 4 වැනි දින විදේශ අමාත්‍යාංශයෙහි ප්‍රතිචාරය පිළිබඳව මෙහි පහත අත්සන්කර ඇති සිවිල් සමාජ සාමාජිකයින් සහ සංවිධාන දැඩි කනස්සල්ල ප්‍රකාශකර සිටින්නෙමු. සත්කුනනාදන් මහත්මිය විසින් ස්වකීය ඉදිරිපත්කිරීමේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ රටක් වශයෙන් එහි පුරවැසියන් සඳහා ජාත්‍යන්තර සහ ජාතික බැඳීම් පිළිබඳව විවේචනාත්මක ඇගයීමක් සිදු කළ අතර, යුරෝපා සංගමයේ සාමාජික රටවලට නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

ඉස්මතු කරන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් හරයාත්මකව කටයුතු කිරීම වෙනුවට, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම උදෙසා ප්‍රතිපත්තිමය පර්යේෂණ, උද්දේශන සහ රාජ්‍ය සේවය පිළිබඳව නිර්දෝෂී වාර්තාවක් ඇති පුද්ගලයකු කෙරෙහි දෝෂාරෝපණාත්මක ප්‍රතිචාරයක් දැක්වීමේ විකල්පය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තෝරාගෙන ඇත. දෙමළ ක්‍රියාකාරිනියකගේ සහ පර්යේෂකයෙකුගේ ස්වාධීන උද්දේශනය, එල්.ටී.ටී.ඊ.යේ ක්‍රියාකාරකම් හා බැඳි තත්ත්වයන් සමඟ සම තත්ත්වයෙහිලා සංසන්දයක් කිරීමට විදේශ අමාත්‍යාංශය විසින් ගන්නා උත්සහය හුදෙක් අසාධාරණ මෙන්ම දුෂ්ට හා බියකරුය. දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් කෙරෙහි රජයේ ප්‍රතිපත්ති, රාජ්‍ය ආයතන සහ ඒවායේ භාවිතයන් මඟින් ඇතිවන විවිධාකාරවු බලපෑම් පෙන්වාදීම යම් ආකාරයකින් ‘ප්‍රජාවන් අතර වෛරය ඉස්මතු කෙරෙන’ සහ එමඟින් ‘සමාජ සංහිඳියාවට’ හානිදායක බව ඇඟවීමද බරපතල ගැටලූකාරී තත්ත්වයකි. විවේචන ඉදිරිපත් කරන පුද්ගලයන් සහ සුළුතර ප්‍රජාවන්ගේ සාමාජිකයින් ඉලක්කකර ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය පිළිබඳ පනත මෑත අතීතයේදී ශ්‍රී ලංකාව තුළ භාවිතකර ඇති ආකාරය සැලකිල්ලට ගැනීමේදී මේ තත්ත්වය අනතුරුදායක ස්වභාවයක් ජනිත කරයි.

ප්‍රමුඛතාගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය හෙවත් GSP+ වෙළඳ වරප්‍රසාද රඳවාගැනීම හෝ අහිමිකර ගැනීම සම්පූර්ණයෙන්ම පදනම්වී ඇත්තේ කම්කරු අයිතිවාසිකම්, මානව හිමිකම්, පාරිසරික ආරක්ෂාව සහ යහපාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙහි ක්‍රියාකලාපය පිළිබඳ යුරෝපා සංගමයේ ඇගයීම මතය. මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටීම වූ කලී ශ්‍රී ලංකා ආර්ථිකයට තීරණාත්මක වන ප්‍රමුඛතාගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය හෙවත් GSP+ වෙළඳ වරප්‍රසාදය අනතුරේ දැමීමට හේතු වන්නේය යන තර්කය ඉතාම වංක අදහසකි.

රාජ්‍ය ආයතනයක් විසින් භයානක අන්දමේ ඉගි ලබාදෙමින් සෘජුව අදහස් ඉදිරිපත් කරන සිවිල් සමාජ සාමාජිකයින් ඉලක්කකර ගැනීම වු කලී හුදෙක් විරුද්ධ මත සහ ප්‍රකාශනයේ නිදහස යටපත් කිරීමට කරනු ලබන බියගැන්වීමක් වශයෙන් අපි සලකන්නෙමු. විදේශ අමාත්‍යාංශය විසින් කරන ලද මෙවැනි ප්‍රකාශයන් ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ස්වාධීන මැදිහත්කරුවෙකු ලෙස සිවිල් සමාජය සම්බන්ධවීම සීමාකිරීමට සහ බලපෑමට ලක්වූ ප්‍රජාවන්ගේ හා පුද්ගලයින්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටීම අඩපණ කිරීමට හේතුවන බවට අපි විශ්වාස කරන්නෙමු.

සත්කුනනාදන් මහත්මිය මෙන්ම සිවිල් සමාජයේ බොහෝදෙනෙක් සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරීන් සඳහා පවතින සන්දර්භය පිළිබඳව මෙන්ම සිවිල් ක්‍රියාකාරීත්වය යටපත් කිරීමේ අරමුණ සහිත නව නීතියක තර්ජනය සම්බන්ධයෙන්ද ස්වකීය කනස්සල්ල පළ කරති. වින්දිතයන්වී දිවි ගලවාගත් පුද්ගලයන්ට, මානව හිමිකම් ක්‍රියාකාරීන්ට, ජනමාධ්‍යවේදීන්ට සහ සිවිල් සමාජ සංවිධානවලට එරෙහිව රජයට සම්බන්ධ පාර්ශව විසින් දිගින්දිගටම සිදු කරනු ලබන හිරිහැරකිරීම් පිළිබඳව අපි දැඩි කනස්සල්ලෙන් යුතුව මෙහිදී සටහන් කරන්නෙමු. සිවිල් සමාජයට සුදුසු සන්දර්භයක් නිර්මාණය කිරීම සඳහා හුදෙක් සිවිල් සමාජය හවුල්කරුවෙකු ලෙස සලකන බවට ප්‍රකාශ කිරීම සහ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය නව අමාත්‍යාංශයක් වෙත මාරුකිරීමට වඩා පුඵල් ක්‍රියාදාමයක් අවශ්‍ය වේ. මේ පිළිබඳවත්, සත්කුනනාදන් මහත්මිය විසින් ඉස්මතු කරන ලද අනෙකුත් හරයාත්මක කරුණු පිළිබඳවත් රජය සමඟ අවංක, ප්‍රතිපත්තිමය පදනමක් මත සහ සාධනීය සංවාදයක නිරතවීමට අපි තවදුරටත් කැමැත්තෙන් සිටින්නෙමු. කෙසේවෙතත්, විදේශ අමාත්‍යාංශය විසින් මේ ආකාරයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඉලක්කකර ගැනීම විශ්වසනීයත්වයක් හෝ පැහැදීමක් ඇති නොකරයි.

විදේශ අමාත්‍යාංශයේ මෙම ප්‍රකාශය අපි හෙලාදකින අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සැබෑ සංහිඳියාව ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමේ ක්‍රියාවලීන්හි යෙදී සිටින අම්බිකා සත්කුනනාදන් මහත්මිය සහ අනෙකුත් සියලූ‍ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සහයෝගීතාවෙන් සිටින්නෙමු.

 

 

 

 

Translate »
Scroll to Top