Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

වසරකට පසු මහර ඝාතනය පිළිබඳව විමර්ශනයක්

මහර සිරගෙදර තුළ  සිදු කරන ලද සමූලඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවුරුද්දකට වැඩි කාලයකට පසු  විමර්ශන ආරම්භ කර තිබේ.

2020 වසරේ නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දිනවල මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්වය හමුවේ සිරකරුවන් එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ බවට චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් වෙතයි.

විමර්ශනය සදහා අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීම සදහා වින්දිත පවුල් වල සාමාජිකයන් පෙබරවාරි 2 වැනි බදාදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මුලස්ථානය වෙත කැඳවා තිබේ.

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවීමෙන් පසු පිටතට පැමිණි වින්දිතයන්ගේ ඥාතීන් ජනමාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීම  ප්‍රතික්ෂේප  කර ඇත්තේ මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීමෙන් තමන්ට අත්වන ප්‍රයෝජනයක් නොමැති බව පවසමිනි.

මහර සිරගෙදර සමුලඝාතන අපරාධය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවටත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පසුගිය කාලයේ බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල කර තිබුනි.

මහර බන්ධනාගාරයේ ගැටුමට තුඩූදුන්  උද්ඝෝෂණය හටගත්තේ කොරෝනා වෛරසය ආසාදිත රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරුකිරීම හේතුවෙන් බව ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව 2020 වසරේ දෙසැම්බර් මස මුලදී පවසා තිබුනි.

සිරකරු උද්ඝෝෂණය සහ ඉන් අනතුරුව හටගත් ගැටුමට ප්‍රධාන වශයෙන්ම එහි පැවති තදබදය ඇතුළු කරුණු තුනක් හේතු වී තිබෙන බව ද  එවකට කොමිසමේ මූලික නිගමනය වී තිබුනි.

එකොලොස් දෙනකු මරා දමමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කළ මහර බන්ධනාගාරයේ සමුලඝාතක ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනාගේම මරණ සිදුව ඇත්තේ වෙඩි පහරින් බව මේ වන විට අධිකරණය හමුවේ තහවුරු වී තිබේ.

Translate »
Scroll to Top