Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

එස්කුවෙල් කම්කරුවන් දින දහයක වර්ජනයෙන් ජය ගනී.

දිනෙන් දින ඉහල යන ජීවන වියදම හමුවේ, ජීවත්වීමට දුෂ්කර නිසා  තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දින දහයක  අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවූ පෞද්ගලික අංශ කම්කරුවන් පිරිසක් තම ඉල්ලීම් දිනාගෙන තිබේ.

වැඩ වර්ජනයේ නිරත වූ  ජා-ඇළ එස්කුවෙල් ලංකා  කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 කින් වැඩි කිරීමටත්, පැමිණීමේ දීමනාව රුපියල් 2500 ක් ලබා දීමටත් පාලකයන් එකඟ වූ බව වර්ජනය මෙහෙයවූ වෙළඳ කලාප හා පොදු සේවා සංගමය නිවේදනය කරයි.

“මාස එක හමාරක බෝනස් දීමට අමතරව වැඩ වර්ජනයේ සිටි කිසිවකුගෙන් පලිගැනීමට හෝ විනය ක්‍රියාමාර්ග ගැනීමක් නොකරන බවට සමාගම එකඟ වූයේ,” යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් පවසයි.

මේ අතර වැඩවර්ජනයේ යෙදෙන ලෙස සේවකයන්ට අඩම්තේට්ටම් කරමින්, බිය වද්දමින්, තර්ජනය කරමින් සහ කර්මාන්ත ශාලාවේ දේපල වලට අලාභානි කළ බවට එස්කුවෙල් සමාගම විසින් නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සංගමයට හා එහි ජා ඇළ ශාඛාවේ සභාපතිනි එස්.ඒ.කේ.මංගලිකා ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාධරයන් එකළොස් දෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබේ.

දිසා විනිසුරු අරුණ අලුත්ගේ ඉදිරියේ ඊයේ විභාගයට ගත් විට විනිසුරු නියෝග කළේ අදාළ වෘත්තීය සමිතියට හා එහි නිලධාරින් එකළොස් දෙනාට ජනවාරි 4 වැනිදා දක්වා වාරණ නියෝගයක් පනවන බවය.

ජනවාරි 4 වැනිදා අදාළ පිරිස උසාවියට කරුණු දැක්විය යුතු බව ද දිසා විනිසුරු අලුත්ගේ  නියෝග කර තිබේ.

අගමැති මහින්ද රාජපක්‍ෂ අතින් ශ්‍රමාභිමාන සම්මාන ලාභියකු වන ඇන්ටන් මාර්කස් නායකත්වය දෙන නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සංගමය විසින් එස්කුවෙල් සමාගමෙන් ඉල්ලා සිටියේ රුපියල් 3000 කින් වැටුප් ලබා දෙන ලෙසය.

ඊට අමතරව මාස දෙකක ප්‍රසාද දීමනා හා පැමිණීමේ දීමනාවක් ද ලබා දෙන ඉල්ලීම් කර තිබිණි.

එහෙත් සමාගම කියා සිටියේ තමන්ට නිෂ්පාදන  ඇණවුම් නොමැති නිසා වැඩි කළ නොහැකි බවත් මාස එක හමාරක ප්‍රසාද දීමනා ලබා දිය හැකි බවය.

හොංකොං ආයෝජන සමාගමක් වන එස්කුවෙල් ලංකා පාලකයෝ විසින් වර්ජනයේ නිරත කම්කරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයන්ට එළඹීමත් සමග වර්ජකයන් 250 පමණ නැවත සේවයට වාර්තා කර තිබේ. පසුව වෘත්තීය සමිතිය එකඟතාවට පැමිණියේ  සමාගම විසින් එකඟ වූ මාස එකහමාරේ ප්‍රසාද දිමනාවටත්, රුපියල් 3000 වැටුප් වැඩිවීම වෙනුවට රුපියල් 1750 කින් සෑහීමට පත්වීමටය.

කලින් පොලිටෙක්ස් ලංකා ලෙස පැවති මෙම සමාගම පසුව කළමනාකාරිත්වය වෙනස් වීමත් සමග එස්කුවෙල් ලංකා නම් විය.

හොංකොං ආයෝජකයෙකුට අයත් අපනයනය සඳහා නිමි ඇඳුම් නිෂ්පාදනය කරන මෙම සමාගමට ඒකල ට අමතරව කොග්ගල සහ කෑගල්ලේ කර්මාන්තශාලා පවත්වා ගෙන යන අතර යක්කල පිහිටි කර්මාන්ත ශාලාව මිට වසර දෙකකට ඉහතදී වසා දැමිණි.

4000 කට වැඩි කාන්තා හා පිරිමි කම්කරුවෝ මේ කර්මාන්ත ශාලා තුනේ සේවය කරති.

ඒකල සහ කොග්ගල නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය සමගත්  කෑගල්ල එස්කුවෙල් කම්කරුවෝ වෙළෙඳ, කර්මාන්ත හා පොදු සේවක සංගමය සමගත් සංවිධානය වී සිටිති.

ඒකල කර්මාන්ත ශාලාවේ දිගු කලක් වෘත්තීය සමිතියක් ලෙස පැවතියේ සී.එම්.යූ. නියෝජනයකි.

පසුව ඇන්ටන් මාර්කස් ගේ නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සංගමය විසින් ඒකල කර්මාන්ත ශාලාවේ වෘත්තීය සමිති බලය අල්ලා ගත් අතර සාමාජිකයන් 70 වකට ආසන්න සංඛ්‍යාවක් සමග සී.එම්.යු සමිතිය ද මෙහි ක්‍රියාත්මකය. වර්ජනය මැද අඩම්තේට්ටම් හා තර්ජනයන්ට ලක්ව ඇත්තේ ඔවුන්ය.

චීනයෙන් අමුද්‍රව්‍ය ලබා ගෙන, අඩු වැටුපට චීන සිරකරුවන් මගින් නිමි ඇඳුම් නිපදවූ චෝදනා නිසා එස්කුවෙල් ජාත්‍යන්තරය  ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල කළු සමාගම් ලැයිස්තුවට ඇතුලත්ව තිබේ.

එස්කුවෙල් සමාගමට වැඩි ඇණවුම් නොලැබෙන බැවින්  ඔවුන් බ්‍රැන්ඩික්ස් සමාගමෙන්  උප කොන්ත්‍රාත් ක්‍රමයට ඇණවුම් ලබා ගන්නා අතර ඒ සඳහා වන ගිවිසුම ද එළඹෙන ජනවාරියේදී අවසන් වීමට නියමිතය.

Translate »
Scroll to Top