Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

මනුෂ්‍යයින් අමනුෂ්‍යයින් කරන ලංකාවේ බන්ධනාගාර!

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිවසේ රැඳී සිටියදී 2021- 06-26 දා රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි පිරිසක් නිවසට කඩා වැදී නිවසේ බඩු භාණ්ඩ කඩා බිඳ දමා අසේල සම්පත් මහතාව පැහැර ගෙන ගොස් තිබුණි.

මේ පැහැර ගැනීමත් සමඟ ඔහුගේ දියණිය ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර තිබුණි. පසුව හෙළි වුයේ අසේල සම්පත් මහතාව ගෙන ගොස් තිබුණේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් බවය. ඒ මොහුට විරුද්ධව ලැබී තිබු පැමිණිල්ලක් සම්බන්ධයෙනි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අසේල සම්පත් මහතාව පසු දින ඇප මත මුදා හැර තිබුණි. මේ ආකාරයෙන් පොලිස් අත්අඩංගුවට ඔහු මීට පෙරද කිහිප වරක්ම ගෙන තිබුණි. 2021- 04-13 දිනද ඔහු පොලිස් අත්අඩංගුවට පත් වු අතර එම අවස්ථාවේදී නම් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පොලිස් අත්අඩංගුවේදී මෙන්ම බන්ධනාගාරය තුලදීද ඔහු ලැබු අත්දැකීම් රැසකි. ඔහු ඒ පිලිබඳව පොදුවේ මෙසේ කියා සිටියේය.

04-13 අත්අඩංගුවට ගෙන 04-14 දින දක්වා තබාගෙන නඩු දෙකක් සඳහා අමාව අධිකරණයට ඉදිරිපත් කර 04-19 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළා. මාව කොළඹ මැගසින් බන්ධනාගාරයට රැගෙන ආවේ. ඇතුල් වෙනකොටම මෙරට පුරවැසියෙකුට කිසිදා ආමන්ත්‍රණය කළ නොහැකි භාෂාවකින් තමයි ඇතුල් කර ගන්නේ. නිරෝධායනය සඳහා කියලා එදිනම රාත්‍රි 7.30 ට පමණ මාව පල්ලන්සේන කඳවුරට රැගෙන ගියා. ඒ වෙද්දි රෑ 11.30 ට විතර ඇති. එකේ ඇතුලටම ගන්නකොට ගලවපන් ඇඳුම් කියලා, කියන්නේ. එහෙම ඇඳුම් ගැලව්වහම පරික්ෂා කරන්නේ වෛද්‍යවරයෙක්වත්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්වත් නෙමේ. අච්චු විඳින සුදු ඇඳුමින් සැරසුනු දෙදෙනෙක්. ඔවුන් මට කායිකව හිරිහැරයට ලක් කර වද දුන්නා.

පසුව අඩි 20x 10 වැනි කූඩුවකට දැම්මා. ඒකේ ඉන්නවා 65 ක් විතර. නාන්න තියෙන්නේ එක ටැංකියයි. එක ටොයිලට් එකයි. සියලු දේ කරන්න ඔනේ මිනිස්සු බලන් ඉද්දි. නිදිය ගන්න පැදුරක් නැහැ. හෙරොයින් නැතුව වමනේ දාලා කෑ ගහනවා. තනිකර අන්ත අපායකට මාව ගිහින් දැම්මේ.

පොඩි පාන් කෑල්ලක් එක්ක පොල් සම්බෝල ටිකක් දෙනවා. පාන් කෑල්ලේ වාටිය විසික් කරනකම් තව 10 දෙනෙක් විතර බලන් ඉන්නවා. ආයේ දවල් 1.00 වෙනකම් මොකුත්ම නැහැ. 1.00 ට කෑම දිලා හවස 4.00 ට ආයේ රෑ කෑම එක දෙනවා. සිරකාරයෝ මනුෂ්‍යයෝය කියලා ගහලා තිබුණට සිරගෙය පට්ට අපායක්.

19 වෙනිදා කොටුව අධිකරණයෙන් මට ඇප ලැබෙනවා මම දන්නේ නැහැ. මට 20 උදෑසන  බන්ධනාගාර නිලධාරියෙක් හොඳටම ගැහුවා. ආයේ රාත්‍රි මුරයේ සිටින නිලධාරීන් ගණන් කරන්න පැමිණි විටත් ඔහුගේ අතේ තියෙන පොල්ලෙන් ගහලා බලනවා.

22 දා නිවසට ඇමතුමක් ලබා ගන්න දුන්නා. ගෙදර අය ඒ වෙනකම් දන්නේ නැහැ මම මොන දිහාවේද ඉන්නේ කියලා. ඔවුන් තමා මට කිව්වේ ඇප දිලා තියෙන්නේ කියලා.

මෙහිදී අදහස් දැක් වු සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා,

 prisoners rights in sri lanka asela sampath

බන්ධනාගාරය  නම් ආයතනය තුලට ඇතුලත් කරනු ලබන්නේ යම් වැරැද්දක් සිදු කළ නඩුවකට අදාල  පුද්ගලයෙකු මෙන්ම අධිකරණයකින් දඬුවම් නියම කළ පුද්ගලයින්වයි. රක්ෂිත බන්ධනාගාර ගත කිරිම නීතියේ සඳහන් වන්නේ එය කිසිවිටෙකත් දඬුවමක් ලෙස සලකන්නේ නැති බවයි. නමුත් අද සිදු වෙන යම් යම් දේවල් දිහා බැලු විට එය දඬුවමක්ද යන ප්‍රශ්නය තියෙනවා.

ලංකාවේ බන්ධනාගාර පද්ධතිය විශාල වශයෙන් ප්‍රතිසංස්කරණය වීමට සිදු විය යුතුයි කියා මා සිතනවා. සිරකරුවන්ට ආමන්ත්‍රණය කිරිමේ සිටම බන්ධනාගාර තුල බොහෝ වදහිංසාවන් සිදු වෙනවා. මෙය කායික සහ මානසික යන දෙයාකාරයෙන්ම සිදු වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරකරුවන්ට සැලකීම පිලිබඳ අවම ප්‍රතිමිතියක් තිබෙනවා. එකේ සඳහන් වෙන්නේ එක සිර මැදිරියක් තුල රඳවා තැබිය හැක්කේ එක සිරකරුවෙක් පමණයි කියලා. ඒ වගේම  ඔවුන්ට ලබා දිය යුතු පහසුකම් ගැනත් එහි සඳහන් වෙනවා. නමුත් ලංකාවේ බන්ධනාගාර ගත් විට තියෙන ගැටලුව තමා ආහාර පාන, ඒ වගේම කාන්තා රැඳවියන්ගෙන් නම් සනීපාරක්ෂක කටයුතු.

රක්ෂිත බන්ධනාගාර ගත කරද්දි අධිකරණයෙන් බන්ධනාගාර නිලධාරීන්ට ඒ සැකකරුව රඳවා ගැනීමේ බලපත්‍රයක් දෙනවා. ආයේ නියමිත දිනට ඔවුන් සැකකරුව අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ඇප ලැබිලා අධිකරණයෙන් ලිඛිතව දැනුම් දුන් පසු ඒ සැකකරුව මුදා හැරිය යුතුයි. නමුත් ඇප ලබා දුන්නද එළියට දැමීමේ විශාල ප්‍රමාදයක් තියෙනවා. එදා මහර සිද්ධියේදි මිය ගියේ මෙවන් ඇප ලබා එළියට නොදා හිටපු පුද්ගලයින්. .

ලංකාවේ බන්ධනාගාර පුනරුත්ථාපනයට වඩා සිදුවන්නේ සිරකරුවන් තවත් සිරකර තබා ගැනීමක්. ඒ නිසා අපි වහා ජාත්‍යන්තර බන්ධනාගාර ප්‍රමීතීන් සමඟ වැඩ කළ යුතු තැනට යා යුතුයි.

Translate »
Scroll to Top